සියවසකට ආසන්න කලක් ශ්‍රී ලාංකීය පුරවැසියා ආසක්ත කරන ලද යම් සමාජ කරුණක් වේ නම් එය නිසැකවම මැතිවරණයි. සීමිත නියෝජනයක් සහිතව වුවද මෙරටට සර්වජන ජන්ද බලය ලැබුණු දින පටන් එනම් වසර 1931 සිට අද දක්වා පවත්වා ඇති මැතිවරණ සංඛ්‍යාව 73 කි. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සුරැකීම හා සබැඳි නොසංසිඳෙන අර්බුද රැසක් හා පොරබදන සමයක මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ වාර්තාව අනභිබවනීය බව අවධාරණය කරනු වටී. ඉහත සඳහන මගින් ඉඟි කරන තවත් කරුණක්ද ඇත්තේය. එනම් මැතිවරණ කෙරෙහි ජනීජනයා වැඩි වැඩියෙන් ඇලෙන හා ගැටෙන පසුබිමක මැතිවරණ පැවැත්වීමේ බලය ලත් මෙරටේ මැතිවරණ කළමනාකරණ ආයතනය වන මැතිවරණ කොමිෂන් සභාවට එල්ල විය හැකි පීඩනයයි.

මෙරටේ ජන්දදායකයා බොහෝ විට තම සිතුවිලි හැඩගස්වා ගනු ලබන්නේ පාරම්පරිකවම තම සිත්ගත් දේශපාලන පක්‍ෂ එකක් හෝ දෙකක් මත්තේය. මෙලෙස ඉතා දැඩිව ධ්‍රැවීකරණය වූ සමාජ දේශපාලන වටපිටාවක මැතිවරණ කොමිසම පමණක් විවේචන විරහිත හුදෙකලා ගමනක් යනු ඇතැයි සිතිය නොහැකිය. දැන් දැන් බැලූ විට පෙනී යන්නේ අටලෝ දහමේ නීතිය නිසිලෙස ප්‍රගුණ නොකරන්නකුට මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු කරමින් සාර්ථකත්වයක් දිනාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇති බවයි. මෑත කාලීනව ඊට එල්ලවන චෝදනා පිළිබඳ විමසීමේදී පැහැදිලි වන්නේ බහුතරයක් දෙනා මැතිවරණ කොමිසමට හැකිතාක් අලාභය, අයස, නින්දාව හා දුක ජනිත විය හැකි දේ ඉස්මතු කරනවා විනා එහි යසස ට හේතුවියහැකි යමක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවයි. අවසන යමෙකුට සිතිය හැක්කේ මැතිවරණ කොමිෂන් සභාව ‘සියඹලා නම් ගෙනැවිත් නැත්තේමය’ යන්නයි.

ඊට කදිම නිදසුන නම් එහි සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් වෙත ලබාදුන් ප්‍රකාශයක අන්තර්ගතය පිළිබඳ මතුව ඇති සමාජ කතිකාවයි. මෑත කාලීනව මැතිවරණ කොමිෂන් සභාව හා ඒ ආශ්‍රිත කටයුතු පිළිබඳව රටෙහි ඇතිවී ඇති සංවාදය මෙම සිදුවීමත් සමඟ නව දිසාවකට පිවිස ඇත්තේය. සමහර විටෙක එය දේශපාලන පක්ෂයක හෝ දෙකක මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියේම එක් අංගයක් දෝයි සිතෙන තරමට සිදුකරන පක්‍ෂග්‍රාහී විවේචන ද අනන්තය. කොමිෂන් සභා යනු මෙරටේ නව අත්හදා බැලීමක් බැවින් ඒවායේ  යම් යම්දුර්වලතා  උළුප්පා දක්වමින් සිදුකරන නිෂේධනීය ප්‍රචාර ගැන අප තුළ ඇත්තේ සංවේගයකි. කෙසේ වෙතත් “ගෙදර ගියොත් අඹු නසී - මඟ හිටියොත් තෝ නසී” වැනි උභතෝකෝටික ගැටලු‍වකට මැතිවරණ කොමිසම මුහුණ දෙමින් සිටී. කවර තීරණයක් ගත්තද එය එක් පාර්ශ්වයකට හොඳ වන අතර අනෙක් පාර්ශ්වයට නරකය. හේතුව මැතිවරණ යනු බලය ලබා ගැනීමේ ප්‍රජාතාන්ත්‍රික මාර්ගය වීමයි. කෙසේ වෙතත් ආගමිකත්වය හා ජාතිකත්වය පවා දේශපාලන ව්‍යාපෘති සඳහා යොදාගෙන ඇති සමයක මහාචාර්යවරයා සිදුකර ඇති ආකාරයේ  ප්‍රකාශ පවා කොමිෂන් සභා සාමාජිකයකු විසින් සිදු කරනු නොලැබිය යුතු මාදිලියේ බව අපේ හැඟීමයි. කතා කිරීමද කලාවකි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා නම් එය කාලාන්තරයක් තිස්සේ අභ්‍යාස කරනුයේ අනෙකාගේ සිත් රිදෙන -නොරිදෙන සීමාවේ රැකෙමිණි.

මෙරටේ කොමිෂන්  සභා අනාගතයේ වඩාත් ස්ථාපිත වනු ඇත්තේ මෙලෙස වරින්වර සිදුවන සිද්ධීන් මගින් ඉගෙන ගන්නා පාඩම් මතිනි. මැතිවරණ කොමිසම යනු මහාචාර්ය හූල් නොවේ. තනි පුද්ගල චර්යා යනු කොමිෂන් සභාවල ප්‍රගතිය තක්සේරු කළ හැකි යහපත් පරාමිතියක් ද නොවේ. කොවිඩ් 19 ව්‍යසනය හමුවේ මැතිවරණ කෙරෙහි පැවතිය යුතු ජනතා අවධානය උදාසීන වෙමින් පවතින සමයක මැතිවරණ  කොමිසමේ කාර්යභාරය විය යුත්තේ මැතිවරණ කෙරෙහි  ජනතා  ආකර්ෂණය ලැබෙන කාර්යවල වඩ වඩාත් නිරත වීමයි. පූර්ව මැතිවරණ ප්‍රචාරක සමයක් උදා වී ඇති බැවින් තම ප්‍රකාශ සිදුකිරීමේදී කොමිෂන් සභා සාමාජිකයන් දෙවරක් නොව තෙවරක් සිතා බැලීම වඩාත් වැදගත් බව අපගේ අදහසයි. එක්ව සාකච්ජා කොට තීරණ ගැනීම පහසු කාර්යයක් නොවේ. කොමිෂන් සභාවක විවිධත්වය වන්නේද අනේකවිධ අදහස් එකට ගැටීමයි. එහෙත් කවර කොමිසමක හෝ අනාගත පැවැත්ම රඳා පවතිනු ඇත්තේ තනි තනි සාමාජිකයන් කරනු ලබන ප්‍රකාශ මත්තේ නොවේ.

ඒවා බොහෝ විට නිවැරැදි විය හැකිය.  තවත් සමහරෙකුට නවෝත්පාදක අදහස් ද විය හැකිය. කොමිෂන් සභා ව්‍යුහය තුළට එක්වූ සිවිල් සමාජ හා ශාස්ත්‍රාලයීය පරිචයක් ඇති පිරිස් සාම්ප්‍රදායික රාජ්‍ය සේවකයාගේ රාමුවෙන් ඔබ්බේ සිට අදහස් ප්‍රකාශ කිරීම අපේක්ෂා කළ හැකි නමුත් එය නිසිලෙස සමෝධානය කරගත යුතු වෙනසකි.  සිදුවිය යුත්තේ තම  නිරවද්‍යතාව වෙනුවෙන්  ද්වන්ධ සටන් වැනි ආකාරයේ උණුසුම් සාකච්ජා අභ්‍යන්තරිකව සිදුකොට එකඟතාවක් ඇති කරගැනීමයි. අප වැනි පුරවැසියන් බලා සිටින්නේ කණ්ඩායම් හැඟීමෙන් ගන්නා අවසන් තීරණ දෙසයි. මැතිවරණ කොමිසමට තවමත් එකට එක්ව තීරණ ගෙන පුරවැසි අප තුටු පහටු කිරීමට අවස්ථාව ඇත්තේය. එතෙක් පුරවැසි අපේක්ෂා බිඳ නොදැමීමේ සම්මුතිය හා කොන්දේසිය මත්තේ රැඳෙමින් කොමිෂන් සභා සාමාජිකයන් තිදෙනා එකිනෙකා තදින් වැළඳ ගත යුතුම අවසන් හෝරාව එළඹී ඇතැයි පැවසිය යුතුමය. ඔවුන් තිදෙනාගේ කොමිෂන් සභා වගකීම නිමවීමට ඇත්තේද තවත්  දින 156 ක් පමණි.  

වෙනත් සාමාන්‍ය කලෙක නම් මෙවන් පූර්ව මැතිවරණ ප්‍රචාරක කාල සමයක වඩාත් බලපැවැත්වෙන නීතිය වන්නේ වසර 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතයි. එහෙත් කොවිඩ් 19 ව්‍යසනය මඟින් ජනිත කොට ඇති අර්බුදයේ  පරිමාව කෙතරම්ද යත් මැතිවරණ පනත හා සමගාමීව නිරෝධායනය හා රෝග වැළැක්වීමේ අාඥා පනත කෙරෙහිද වැඩි අගයක් ලැබී ඇත්තේය. එළඹෙන පාර්ලිමේන්තු මහා මැතිවරණය, මැතිවරණ නීතිරීති පමණක් නොව නිරෝධායන නීති කඩකිරීම පිළිබඳ වාර්තා ද ඇතුළත් අභියෝගාත්මක මැතිවරණයක් බවට පත්වීමේ වැඩි සම්භාවිතාවක් ඇති මැතිවරණයකි. ඊට අදාළ මැතිවරණ බලධාරීත්වය දරන පාර්ශ්ව නිසිලෙස සූදානම් දැයි යන්න වෙනමම නිරීක්ෂණය කළ යුතු පැතිකඩකි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පාර්ශ්වයෙන් ගත්කල, මෙරටේ සියලු‍ ක්‍රියාකාරී නිරීක්ෂණ සංවිධාන මේ වනවිටත් නිරෝධායන නීතීන්ට අනුගත මැතිවරණ සඳහා තම ප්‍රතිඥාව පොදු ප්‍රකාශයක් මඟින් ප්‍රකාශයට පත්කොට  ඇත්තේය. ඊට අවැසි තාක්ෂණික සහාය නිදහස් මැතිවරණ සඳහා වූ ආසියානු ජාලය (ANFREL) මඟින් ලබා දී ඇත.

මෙවර උද්ගත වියහැකි යැයි අනුමාන කරන එක් අභියෝගයක් වන්නේ දැඩි සීමාසහිත වපසරියක පැවැත්වීමට සිදුවන මැතිවරණ ප්‍රචාරයයි. හැකිතාක් බස්රථ කුලී පදනම මත රැගෙන දැවැන්ත ක්‍රීඩාංගණ සැණෙකින් හිස්ගෙඩි වලින් පුරවා එමගින් මැතිවරණ ජය පිළිබඳ ප්‍රතිපාක්ෂිකයන් වෙත ඔච්චම් කිරීමේ විලාසිතාවට මෙවර තිත තැබෙනු ඇත. මැතිවරණ කොමිසමේ නියෝජිතයන්ගේ ද සහායෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් සැකසූ මාර්ගෝපදේශ සංග්‍රහයෙහි ප්‍රකාශිත එක් උපදෙසක්  වන්නේ සාමාන්‍ය  ප්‍රචාරක රැලි සියදෙනකුට පමණ සීමා කළ යුතුය යන්න හා ගෙන්ගෙට යෑම තිදෙනකුට සීමා කළ යුතු බවයි. මෙරටේ මෑත කාලීනව ජනතාව තුළ පැතිරෙමින් පවත්නා එක් ප්‍රශ්නගත ක්‍රියාවලියක් පිළිබඳ කොවිඩ් 19 ව්‍යසනය යම් විසඳුමක් ලබා දී ඇත. එනම් අඩු වියදම් හා පරිසර හිතකාමී මැතිවරණයක් පවත්වන්නේ කෙසේද යන්නයි. අනුගමනය කිරීමට තරම් පරිසමාප්ත ක්‍රමවේදයක් නැතත් දේශපාලන පක්‍ෂවල වගකීම විය යුත්තේ අනියත බියක් ජනිත කොට ජන්දදායකයා මැතිවරණයෙන් ඈත් කිරීම හෝ මැතිවරණ ප්‍රචාරයේ සීමිත බව කෙරෙහි උකටලීව එකිනෙකාට  බැණ අඬ ගැසීම නොවේ. විකල්ප මැතිවරණ ප්‍රචාරක ක්‍රමවේද කෙරෙහි වැඩි වැඩියෙන් යොමුවීමයි. එහෙත් මෙරටේ විපක්ෂයේ ප්‍රධාන පක්‍ෂක මූලස්ථානයෙහි සිදුකරන වාග් සංග්‍රාම දෙස බැලූවිට පෙනී යන්නේ විකල්ප මැතිවරණ ප්‍රචාරක ක්‍රම පිළිබඳ සෙවීමට පළමුව විසඳා ගැනීමට අටෝරාසියක් ගැටලු ඇති බවයි. මෙරටේ මෑත කාලීනව පෙනී යන එක් කරුණක් වන්නේ සාමකාමී මැතිවරණ කෙසේ හෝ පවත්වා ගත්තද ප්‍රධාන පෙළේ විපක්ෂයක් ගොඩනඟා ගැනීම සියලු‍ අභියෝග පරදන කාර්යයක් වී ඇති බවයි.

මෙලෙස ඉදිරිපත්ව ඇති  නව මාර්ගෝපදේශ මගින් මැතිවරණයක නිරායාසයෙන්ම පැවතිය යුතු සමබිම නිර්මාණය කිරීම දුෂ්කර වනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයන් දක්වන අදහසකි. එහෙත් මැතිවරණ නිරීක්ෂකයන් ලෙස අපගේ අත්දැකීම නම් මෙරටේ කවර කලෙක හෝ පැවැත්වූ මැතිවරණයක සමබිමක් නිර්මාණය වී නොතිබුණේය යන්නයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  යටතේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පොදු දේපළ අවභාවිතය වැනි ක්ෂේත්‍ර විෂයෙහි ක්‍රියා කිරීමේ වැඩි බලතල ප්‍රමාණයක් ලැබී ඇති පසුබිමක වුව රටෙහි පාලන බලය හොබවන ආණ්ඩුව හා බද්ධ වූ  දේශපාලන පක්‍ෂය හෝ පක්‍ෂ මගින් සිදුකළ හැකි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පාලනය කිරීම එතරම් පහසු නැත. එහෙත් මැතිවරණයක් පැවැත්වෙන දිනෙක සිදුවිය හැකි කිසිදු මහා පරිමාණ මැතිවරණ දුෂණයක් සඳහා මැතිවරණ කොමිසම හෝ ශ්‍රී ලංකා පොලීසිය අවම ඉඩක් හෝ මෑත කාලීනව ලබා දී නැති බවද නොකියා බැරිය. මෙහිලා මතුකළ යුතු අනෙක් කරුණ නම් මෙවර අප තවත් ජාතික මට්ටමේ මැතිවරණයක් වෙත යොමුවන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී මතු වූ සංකීර්ණ ගැටලු විසඳා ගෙන ද යන්නයි.

 එවර අභිනවයෙන් පත් වූ ජනාධිපතිවරයා මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණි මොහොතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරමින් එහි සභාපතිවරයා තම කොමිසම මුහුණ දුන් අභියෝග හා ඉදිරිදැක්ම පිළිබඳ විශිෂ්ට ගණයේ අනාවරණයක් කළේය. එම කරුණු දැක්වීම මඟින් පැහැදිලි කළ පරිදි එම මැතිවරණයේ පාලනය කිරීමට අපහසු සංසිද්ධි රාශියක් පැවතිණි. ඒවා අතර රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය හැසිරීම, ආගමික පූජ්‍ය පූජක උතුමන් වහන්සේලාගේ අනිසි දේශපාලන මැදිහත්වීම් හා දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ මාණ්ඩලික නිලධාරීන් සුළු පිරිසකගේ  නීති විරෝධී දේශපාලන කටයුතු  ආදිය කැපී පෙනුණි. මෙවැනි කරුණු බලවත් සේ ඉස්මතු නොවන පරිසරයක් නිර්මාණය  කිරීමට නම් කරුණු දෙකක් කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇත. පළමුවැන්න එවැනි දේ මැඬලිය හැකි සේ පැහැදිලි නීතිරීති හා රෙගුලාසි පැනවීමයි.

පසුගියදා මැතිවරණ කොමිසම අංක 2178/29 දරන ගැසට්ටුව මඟින් ප්‍රකාශිත විධාන, අපේක්ෂකයන් සඳහා වන ආචාර ධර්ම පද්ධතිය මෙන්ම මාධ්‍ය උපමාන ද මෙලෙස සම්පාදිත අනගි චක්‍රලේඛ හා රෙගුලාසිය. එහෙත් අනපේක්ෂිත නව කොරෝනා ව්‍යසනය හා අදාළ බලධාරීන් මෙන්ම දේශපාලන පක්‍ෂ තුළ නිරතුරුව පැවතිය යුතු යහපත් අධිෂ්ඨානය අවම වීම නිසාදෝ ඉහත විවාදාත්මක කරුණු පිළිබඳ විධිමත් සංවාදයක් පැවැත්වීමට නොහැකි වීම බලවත් අඩුපාඩුවකි. ඒ අනුව මෙවර ද ඒකාකෘතික පන්නයේ මාධ්‍ය භාවිතයක් මෙන්ම පූජ්‍ය පූජක පක්ෂයේ උපක්‍රමික බලහත්කාරයක් මැතිවරණ ප්‍රචාරය හා මුසුවුවහොත් යළිත් වටයක් කරකැවී නැවතත් ස්ථානගත වීමට සිදුවන්නේ පරණ තැනමය. එනම් ජනාධිපතිවරණයේ මුහුණ දුන් අප්‍රසන්න අත්දැකීම් සමුදායටමය. මින් පැහැදිලි වන එක් කරුණක් ඇත. එනම් නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම යනු මැතිවරණ කොමිසන් සභාව පමණක් වෙහෙස වී උපද්ද විය යුතු ප්‍රාතිහාර්යයක් නොවිය යුතු බවයි. එහෙත් කොමිසම තමන් හට කළ හැකි හා අත්‍යන්තයෙන්ම කළ යුතු සමහර  අත්‍යවශ්‍ය කාර්ය පවා අතපසුකොට හෝ ඒ පිළිබඳ බැරෑරුම්ව නොසිතන්නේ ඇයි ද යන්න ද ගැටලු‍ සහගතය. ඊට අදාළ එක් නිදසුනක් නම් යම් බලපෑමක් කළ හැකි අපේක්ෂකයන් සුළු සංඛ්‍යාවක් තවමත් තම පළාත් පාලන ආයතන ධූර අතනොහැර අපේක්ෂකත්වයේ රැඳී සිටිමින් මැතිවරණ ප්‍රචාරයේ යෙදීමයි. එපමණක් නොවේ.

 ඔවුන් ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ අභියෝග කරනුයේ හැකිනම් තමන් අදාළ ධූර වලින් නෙරපන ලෙසයි. මෙවැනි අභියෝග හමුවේ මැතිවරණ කොමිසම නිහඬව සිටීම මගින් කියාපාන්නේ තමන් දරමිටියටම එක්කොට ගැටගසන කාන්තාව හමුවේ පෙණය පුප්පන්නට මැලිවන නාගයා සේම මැතිවරණ කොමිසමද  තම බලය පෙන්වීමට රුචියක් නැති බවක්ද?

(*** සටහන - බිඟුන් මේනක ගමගේ)