මේ ලියැවෙන්නේ මෙවර ජනාධිපතිවරණය අළලා වූ ලුහුඬු සටහනකි. ගත යුතු හොඳම දේශපාලන තීරණය ශ්‍රීලනිපය ගෙන ඇත. පක්ෂයේ නායකයා වුවත් රටේ ජනාධිපතිවරයා ලෙස සිටිය යුතු මැතිවරණ මධ්‍යස්ථභාවය අතින් ස්වාධීනව සිටීමට ජනාධිපතිවරයා ගත් තීරණය අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදී ය. තනතුරු දරමින් මැතිවරණ කටයුතු මෙහෙයවන අගමැති ඇතුළු අයට එය එක්තරා ආකාරයක අභියෝගයකි.

එසේම ශ්‍රීලනිප නායකයා ලෙස ජනාධිපතිවරයා ඒ ගත් තීරණය අතිශයින්ම දේශපාලනිකය. එසේම ශ්‍රීලනිපය තම ස්ථාවරය පැහැදිලි කරමින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් වූ අදහස්, එකඟතා සහ වැඩපිළිවෙළ පිළිබඳ කෙටි හැඳින්වීම් ද පැහැදිලි ය, පුළුල් ය, ජාතික ය, එහි ප්‍රකාශිත වාම නැඹුරුව දේශපාලන සහ සමාජමය වශයෙන් රටට වැදගත් ය.
 
මෑත ඉතිහාසයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැර අනෙකුත් ‘පක්ෂ’ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවලට සාපේක්ෂව මේ මාධ්‍ය සාකච්ඡාව ඉතාම පිළිවෙළක් සහ විනයක් සහිත දේශපාලන පැහැදිලි කිරීම්වලින් යුත් එකක් වීම සුවිශේෂීය. නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ සහ පේෂල ජයරත්න එහි දී ශ්‍රීලනිප විනයකින් කටයුතු කළහ.
 
එය එසේ වුවත් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය සංකල්පගත කිරීම ඉතා අසීරු ය. මේ මොහොත ආකෘති ගත ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට හෝ  මාක්ස්වාදයට හෝ  වාමාංශික දේශපාලනයට හෝ පශ්චාත්-මාක්ස්වාදී වාමාංශයට හෝ එහි ප්‍රාමාණික බුද්ධිමත් දේශපාලන ක්‍රියාධරයකු වන මා මිත්‍ර සුමිත් චාමින්දට අනුව හෝ තේරුම් කළ හැකිද යන්නම උභතෝකෝටිකයකි. පන්ති පසමිතුරුතා නොව කල්ලි සහ පුද්ගල පසමිතුරුතා බලවත් වී ඇත. පන්ති සහයෝගිතා නොව කල්ලි එකඟතා සහ පෞද්ගලික ගනුදෙනු බලවත් වී ඇත. ජනයා සාමුහිකව නොව තනි පුද්ගල විමුක්තිය තනියෙන් සොයාගන්නා තැනකට පල්ලම් බැස ඇත. ජනරැලි ජනයා රැස්වන තාවකාලිකව ඔවුන්ගේ චිත්තවේග අවුස්සන සංදර්ශන බවට පත් වී ඇත. ජනයා ගේ දුක්ගැනවිලිවලට හැමදාම හැම දෙනාම ප්‍රතිචාර දක්වන්නේ පොරොන්දු සහ සටන්පාඨවලින් මිස විසඳුම් සහිත වැඩපිළිවෙළකින් නොවේ ය. කිසිදු වෙනසක් හෝ ප්‍රතිවිරෝධයක් නැති අය වෙන්ව තරග කිරීම සඳහා පමණක්ම පිහිටුවාගෙන ඇති බොල් පක්ෂ විසින් රටේ දේශපාලන ක්‍රමයත් පක්ෂ ක්‍රමයත් අර්ථ විරහිත කරනු ලැබ ඇත.
 
නොරැවටෙන්න, ජනයාගේ දුක් වේදනා, විලාප, අඳෝනා, නැති බැරිකම්, අසරණකම් සහ මෝඩකම් නමැති දිය රැලි මතින් සහ මගින් බලයට පත්වීමට, බලය අත්පත් කරගැනීමට මාන බලන කල්ලි මිස ජන දුක තමන්ලාගේ දුක යැයි සිතා මහජන සමාජය ඉන් ගලවා විමුක්තිය ලබාදීමේ මහජන ව්‍යාපාර තවම පක්ෂ බවට පත් වී නැත. ඒ ජන දුක් වනාහි ඒ දුක් විඳින ජනයාගේ බලය ලබා ගැනීම සඳහා ඒ ජනයා රැවටීම සඳහා ම වන බිලීපිත්තේ අමුණන කම්බිලි පණුවෙකි, ගැඩවිලෙකි. සමාජය පන්ති වශයෙන් හෝ ජන කණ්ඩායම් වශයෙන් දේශපාලනිකව සංවිධානයවීම සහ සංවිධානය කිරීම අතින් ජන සමාජයත්, එවැනි අරමුණු සහිත කණ්ඩායමුත් පෙන්නුම් කරන්නේ අන්ත අසරණ බවක් සහ අඥානකමක් ය. වමේ ප්‍රධාන පක්ෂය තම වාමාංශික අනන්‍යතාව මත වැටී ඇති දක්ෂිණාංශික කළු හෝ කොළ පැල්ලම මකා ගැනීමට දරන වෙහෙස තවමත් සාර්ථක වී නොමැත. එහෙත් එය සාර්ථක කරගත යුතුමය.

රාජ්‍යය යනුවෙන් කට පුරා සැකයක් නැතිව කිවහැකි ශිෂ්ට, ශීලාචාර, සංස්කෘතික සහ සංවිධිත ව්‍යුහයක් අපට නැත. එවැනි පසුබිමක ගෙවල් හදනවා, ආරක්ෂාව දෙනවා, හොරකම නැතිකරනවා යන සටන්පාඨ නොව දැන් අවශ්‍ය වී ඇත්තේ  ශිෂ්ට, ශීලාචාර, සංස්කෘතික සහ සංවිධිත රාජ්‍යයක් හදනවා යන සටන්පාඨය මත පදනම් වූ ඒකාබද්ධ, ජාලගත, ප්‍රයෝගික සහ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ය. ඒ වැඩපිළිවෙළ නම් හුදු මාධ්‍යය ඉදිරියේ කෑගසා අර්ථ විරහිත තර්ක, විහිර්‍ළු සහ අමන කතා කියන, යටි ගිරියෙන් කෑගසන, පෙර වැරැදි සහ දැන් වැරැදි කෝටියක් ඇති කතාකාරයන්ට කළ නොහැකි තරමේ අමාරු කටයුත්තකි. හෙණ ගසන විට එළියට දැමූ යකඩයක් සේ ජනාධිපතිවරණයෙන් පසු දැන් ඇති කියා මේ අය මුල්ලකට වීසි නොකොළොත් පැරණි ලංකාව මිස ශ්‍රී ලංකාව ශිෂ්ට, ශීලාචාර, සංස්කෘතික සහ සංවිධිත රාජ්‍යයක් බවට නම් පත් කළ නොහැකිය. එහෙත් ගැටලු වන්නේ ඊට සූදානම් සහ හැකියාව, කුසලතාව තිබෙන අපේක්ෂකයා කවුද යන්නය.

මෙවර ජනාධිපතිවරණයේ දී ජය ගන්නේ හෝ පරාජය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ හෝ එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගෙන් එක් අයෙකි. එහෙත් එය තීරණය වන බොහෝ කරුණු අතුරින් සාධක දෙකක් මූලිකය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලැබෙන්නේ කාටද කියන කාරණය ඉන් එකකි. ඒ පිළිබඳ තීරණය දැන් පැහැදිලිය. එහෙත් එහිදී  ශ්‍රීලනිපට වඩා මෛත්‍රීපාල සාධකය වඩාත් තීරණාත්මකය. මන්ද මේ මොහොතේ ශ්‍රීලනිපය යනු මෛත්‍රීපාල සිරිසේන ය. මෛත්‍රී සාධකය නොමැති ශ්‍රීලනිපය යනු හිස නැති කවන්ධයකි. ශ්‍රීලනිපය නැති මෛත්‍රී වනාහි හුදු හිටපු ජනාධිපතිවරයෙකි. වෙනත් ආකාරයකින් කියන්නේ නම් මෛත්‍රී නැති ශ්‍රීලනිපය ද, ශ්‍රීලනිපය නැති මෛත්‍රී ද තීරණාත්මක නොවන්නේ මේ මොහොතේ ඒ දෙක අතර ඇති වෙන් කළොත් විනාශ වන ආකාරයේ බැඳීම ය. එය හරියට පොජපෙ තුළ මහින්ද රාජපක්ෂ සාධකය බලවත් වී ඇති සේ ය. පොජපෙ-ශ්‍රීලනිප සන්ධානය යනු මහින්ද- මෛත්‍රී- බැසිල්- ගෝඨාභය සන්ධානගතවීම ය. කැමති වුවත් අකැමැති වුවත් හොඳ වුවත් නරක වුවත් ඇත්ත ඒකය. ඒ සාධක හතර ම එක සේ වැදගත්ය.

ඒ නිසාම මේ මොහොතේ ශ්‍රීලනිපය ගෙන ඇති දේශපාලන උපායමාර්ගය ඉන් පෙර ඒවාට වඩා සුවිශේෂී ය. එනම් පක්ෂයේ සභාපති ධුරයට ඉහළින් උපායමාර්ග තීරණය කිරීමට තීරණාත්මකව මැදිහත්වන නායකත්වයක් නිර්මාණයවීමයි. එය එක්තරා ආකාරයකට ශ්‍රීලනිපය ප්‍රතිපත්තිමය වශයෙන් නියාමනය කිරීමේදී ඉතා වැදගත් ය. එහි තවත් වැදගත්කමක් වන්නේ ඒ නායකත්වය ඒකාධිපති හෝ අසහාය එකක් නොවී පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නක් වීමය. මේ තත්ත්වය ශ්‍රීලනිපයේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයකි.

ජනාධිපතිවරණයේ ජය පරාජය සඳහා තරමකින් හෝ බලපාන තවත් සාධකයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ය. එනම් ජවිපෙ අතින් වැඩිපුර විවේචනයට ලක්වන්නේ ඉහත කී පෙරමුණු දෙකෙන් කවර පෙරමුණක් ද යන්න මත ය. එනම් ජවිපෙ අතින් වැඩිපුර විවේචනයට ලක්වන්නේ එජාපෙ නම් එහි අවාසිය පොදුජන පෙරමුණට ය. එහෙත් ඒ අවාසිය ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වැළැක්වීමට හේතු වේ යැයි කිව නොහැක. එය එසේ වන්නේ ශ්‍රීලනිපය ඒ අවාසිය මකා දමන නිසා ය. ජවිපෙ අතින් වැඩිපුර විවේචනයට ලක් වන්නේ පොදුජන පෙරමුණ නම් එහි අවාසිය එජාපෙ අපේක්ෂකයාට ය.

ඒක එහෙම වෙන්නේ එජාපෙ සහ එජාප අපේක්ෂකයා පිළිබඳ විරෝධාත්මක විවේචනය නිසා ජවිපෙට ලැබෙන්නේ ගෝඨාභයට ලැබීමට නියමිත එජාප සහ ප්‍රේමදාස විරෝධී ඡන්ද ය. එවිට එජාපය දිනවීමේ යටි අරමුණකින් ජවිපෙ කටයුතු කළාය යන මතය සමාජය තුළ තහවුරු වන්නේ 2015 සිට ජවිපෙ එජාපය සමඟ මිතුරුකමකින් සිටියාය කියන අපැහැදිලි සමාජ මතයකුත් තිබෙන නිසා ය. එසේම පොදුජන පෙරමුණ සහ එහි අපේක්ෂකයා පිළිබඳ විරෝධාත්මක විවේචනයක් මත පදනම්ව ජවිපෙ කටයුතු කළහොත් ඔවුන්ට ලැබෙන්නේ පොදුජන-ශ්‍රීලනිප විරෝධී ඡන්ද ය. එවිට පොදුජන- -ශ්‍රීලනිප අපේක්ෂකයා දිනවීම සඳහා එජාප ඡන්ද අඩු කිරීමට ජවිපෙ ක්‍රියා කළාය යන මතය සමාජය තුළ තහවුරු වනු ඇත. තම අපේක්ෂකයා නො දිනන බවත් එසේම මා ඉහත කී ආකාරයේ චෝදනාවකට ලක්වන බවත් ජවිපෙත් රටත් දන්නා පැහැදිලි කරුණකි. එබැවින් ජවිපෙ මේ අනතුරට නොවැටී ස්වකීය දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ඉතා සූක්ෂමව වැඩ කළයුතුය.
ඒ අතින් බලන විට ජවිපෙ හැසිරීම කොයි පැත්තෙනුත් ජවිපෙට අවාසිදායක ය. එය වළක්වා ගැනීමට නම් ජවිපෙ කළ යුත්තේ දෛනික ප්‍රතිචාරාත්මක දේශපාලනයෙන් මිදී ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් කේන්ද්‍රීයව ක්‍රියාත්මකවීමය යන්න මගේ අදහසය. එහිදී ජනාධිපතිවරණයට ජවිපෙ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ දේශපාලනමය වටිනාකම තහවුරු වනු ඇත. දුමින්ද නාගමුව, සිරිතුංග ජයසූරිය සහ  වජ්‍රපානි  යන අපේක්ෂකයන් වැදගත්වන්නේ ද එවැනි ප්‍රතිපත්තිමය දේශපාලන අවකාශයක් නිර්මාණය කිරීම අතින් ය. සමාජය ප්‍රගතිශීලී ලෙස වෙනස් විය යුතුය කළ යුතුය යන මතයේ ස්ථිරව සිටින ජන අවකාශය පුළුල් කිරීමට එය පිටුබලයකි. ‘මැතිවරණ සිවිල් සමාජය’ විහිළුවක් කිරීමටත් එය පිටුබලයකි. අනෙකුත් අපේක්ෂකයන් වනාහි දිනන්නෙත් නැති පරදින්නේත් නැති අදාළත් නැති අය ය.

ඉතින් මතුවට වැඩිපුර ලිවීමේ අරමුණින් මේ සටහන නිමා කරමින් මට කීමට ඇත්තේ දැන් විකල්පයක්, නායකයකු අවැසි වන්නේ පක්ෂවලට කල්ලිවලට නොව මේ  රටට බව ය. ආණ්ඩු නොව රට සහ රාජ්‍යය සාදන ප්‍රගතිශීලී විකල්පයක් අවැසිම ය. ඒ සඳහා අප කාගේත් අවධානය යොමුවිය යුතු ම ය.

ධම්ම දිසානායක