ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර, එකක් දැනටමත් අත්සන් තබා ඇති සහ තවත් එකක් අත්සන් තබන්නට නියමිතව තිබෙන ගිවිසුම් දෙකක් අරබයා වන විරෝධය මේ වන විට ක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබේ.

පළමුවැන්න නම් පවරාගැනීමේ සහ හරස් සේවා සැපයීමේ (ඇක්සා) ගිවිසුමයි. වසර 2කට ආසන්න කාලයක් ගතව ඇතත් එය මේ දක්වාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර, ශ්‍රී ලංකා පුරවැසියන්ට ජාතික වශයෙන් වැදගත් වන්නේ වුවත්, එම ගිවිසුම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කිරීමට හෝ රජය කටයුතු කර නොමැත.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ඇමෙරිකානු ජාතික දින උළෙලේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලානියා බී ටෙප්ලිට්ස් මහත්මිය හමුවූ අවස්ථාව.

 

ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාව කිසිදු ආකාරයකින් මාධ්‍ය ආවරණයට හෝ ප්‍රසිද්ධියට හෝ ලක්නොවිය යුතුයැයි ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකා තානාපති අතුල් කෙෂාප් සිය කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබෙන බව අද සන්ඬේ ටයිම්ස් හට අනාවරණය කළ හැකිය. ගිවිසුම අත්සන් තැබීම සම්බන්ධයෙන් ඇමරිකා තානාපති කාර්යාලයෙන් හෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් නොකෙරුනේ මේ නිසාය. එක්සත් ජනපදය ගත්විට පවා, මෙම ගිවිසුම අත්සන් තැබීමේ කටයුත්ත සිදුව ඇත්තේ රහසේය.

ශ්‍රී ලංකාව සැලකූ විට ද, වසර 2කට ආසන්න කාලයක් ගතවන තෙක් ඇක්සා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් හෝ ප්‍රකාශයක් හරහා ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් හෝ සිදුනොවිණ. ඇමරිකා එක්සත් ජනපදය ලොව වෙනත් රටවල් ගණනාවක් සමග මෙවැනි ගිවිසුම් 90කට වඩා ඇතිකරගෙන සිටින බවත්, එම ගිවිසුම් අන්තර්ගතයෙන් එකිනෙකට වෙනස් බවත් සඳහන් කළ යුතුය. ඇක්සා මෙන්ම සෝෆා ගිවිසුමේ ද කටයුතු අවසානයක් කරගැනීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකළ හිටපු විදේශ කටයුතු අමාත්‍ය, වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගිය සතියේ මාධ්‍ය හමුවක දී කියා සිටියේ මෙම ගිවිසුම් දෙකෙන්ම රටට කිසිදු හානියක් සිදු නොවන බවය. නමුත් ඇක්සා සහ සෝෆා ගිවිසුම් අරබයා වූ සියලු කටයුතු පවත්වාගැනුනේ අතිශය රහසිගතවය.

ඇක්සා ගිවිසුමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අත්සන් තැබූයේ හිටපු ආරක්ෂක ලේකම් කපිල විද්‍යාරතන මහතාය. හෙතෙම හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු ද වේ. එසේ අත්සන් තැබූයේ ඇක්සා ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිවූ බවට කැබිනට් රැස්වීමක රැස්වීම් වාර්තාවක සඳහන්ව තිබූ නිසා බව ඔහු පසුව පැහැදිලි කළේ ය. ඒ අනුව ගත් කල ඔහු කැබිනට් රැස්වීමක ගැනුණු තීරණයක් අනුව කටයුතු කළ තිබෙනවා විනා, ඊට ප්‍රථමයෙන් දිගහැරුණු සිදුවීම් ගැන නොදැන සිට ඇත.ඔහුට පෙර සිටි ආරක්ෂක ලේකම්වරයා වූ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඇක්සා ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලට සහභාගීව ඇත්දැකීම් ඇතිව සිටියේ මුත්, ගිවිසුම අරබයා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගෙන් ලැබෙන්නට නියමිතව තිබූ අදහස්වලට පෙරාතුවම එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඔහුට දැඩි පීඩනයක් එල්ල විය. තමා එසේ ඇක්සා ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ එවක විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරගෙන් සහ හිටපු විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතාගෙන් එල්ල වූ පීඩනය නිසා බව හෙට්ටිආරච්චි පැවසුවේ ය.

එදා යන්තම් පිටු 7කින් සමන්විත වූ ඇක්සා ගිවිසුමට අත්සන් තැබුණු 2007 මාර්තු මස 5 වැනිදා වන විට ද පැවතියේ දුෂ්කර වාතාවරණයකි. ශ්‍රී ලංකාවට යුද උපකරණ අලෙවි නොකිරීමේ තීරණයක් ඇමරිකාව ගෙන තිබූ අතර, මේ නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඔවුන් සතුව තිබූ ඇමරිකාවේ නිෂ්පාදිත සී 130 හර්කියුලීස් වර්ගයේ පිරිස් ප්‍රවාහන යානය සහ ඊශ්‍රායලයේ නිශ්පාදිත කෆීර් ප්‍රහාරයක යානා භාවිතයට නොගෙන ගාල් කර තැබීමට සිදුව තිබිණ. එක්සත් ජනපදයේ පරම හිතවතෙකු වන ඊශ්‍රායලය ද, වොෂින්ටනයේ ප්‍රතිපත්තියම ශ්‍රී ලංකාව අරබයා අනුගමනය කළ අතර, මෙම යානාවලට අමතර කොටස් සපයාගැනීම ඒ නිසාම ගැටලුවක් බවට පත්විය. නිදහස් දින සමරු උළෙලට මෙම යානා එක් කරගැනීම සඳහා පකිස්තානයෙන් අදාළ අමතර කොටස් ලබාගැනීමටත්, පියාසැරියෙන් පසුව නැවත එම කොටස් එරට වෙතම ලබාදීමටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වරක් සිදුවිය. කෙසේවුව ද, ඇක්සා ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව ශ්‍රී ලංකාවට සහාය දක්වන බවට ඇමරිකාව සහතික විය. ඔවුන් ඒ අනුවම කටයුතු ද කළේ ය.

එවක තවත් ගැටලුවක් මතු වූයේ මෙම ගිවිසුමට අත්සන් තැබූ පුද්ගලයින් දෙදෙනා අරබයාය. ඇමරිකා පාර්ශ්වය නියෝජනය කළේ ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකා තානාපති රොබට් ඕ. බ්ලේක්ය. ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. මෙම දෙදෙනාම ඇමරිකා පුරවැසියන් වීම එසේ මතු වූ ගැටලුව විය. නමුත් ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු බව පසුව පෙන්වා දෙනු ලැබිණ. කවරය සමග එදා ඇක්සා ගිවිසුම පිටු 8කට පමණක් සීමා විය. ඇමරිකාවේ ස්ථාපිත සියලුම ආරක්ෂක ව්‍යුහයන්ට ශ්‍රී ලංකාවට පිවිසීමේ අවසරය ලබාදෙන ඇමුණුම් කිසිවක් ඊට එක් කර නොතිබිණ.

පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් සවිස්තර අනාවරණයක් සිදුකළ සෝෆා ගිවිසුම මෙහි එන දෙවැනි ගිවිසුමය. කවුරුන් හොඳින්ම දන්නා ආකාරයට, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ගිවිසුමට අත්සන් නොතැබිය යුතු බවට අදාළ බලධාරීන්ට මේ වන විටත් උපදෙස් දී තිබේ. මෙම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ හමුවීමට පසුගිය මැයි මස වොෂින්ටනය බලා ගොස් සිටි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇමතූ ජනපතිවරයා, එම උපදෙස් ඔහු වෙතම ලබාදීමට ද පියවර ගත්තේ ය.

රුවන්ගේ ප්‍රකාශය

පසුගිය බ්‍රහස්පතින්දා ආරක්ෂක රාජ්‍ය ලේකම් රුවන් විජයවර්ධන මහතා මෙම ස්ථාවරය නැවත වරක් තහවුරු කළේය.

ජාතික ආරක්ෂාවට අහිතකර, අනිසි ඵලවිපාක ගෙන දිය හැකි කිසිදු ගිවිසුමකට අත්සන් තැබෙන්නේ නැහැ. ගිවිසුමක් අත්සන් තැබෙනවා නම්, ඊට ප්‍රථමයෙන් ආරක්ෂක අමාත්‍යවරයා වන ජනපතිවරයාගේ අදහස් විමසීම සහ අනුමැතිය හිමිවනවා නම් ආරක්ෂක ලේකම්වරයා යටතේ අත්සන් තැබීම සිදුවනවා, යැයි ඔහු පැහැදිලි කළේ ය.

විජයවර්ධනගේ මෙම ප්‍රකාශය අතිශය වැදගත්ය. සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් මින් පෙර සියලුම සාකච්ඡා පැවැත්වුණේ කොළඹ ඇමරිකා තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතරය. මෙහිදී ආරක්ෂක විෂය භාරව සිටින ආරක්ෂක අමාත්‍යාංශයෙක් කිසිදු අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් හෝ සිදුනොවිණ. දැන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා එම කරුණ අවධාරණය කරන අතර, එවන් ගිවිසුමක් ඇති කරගැනෙන්නේ නම් ආරක්ෂක අමාත්‍යවරයා වන ජනපතිවරයාගේ අනුමැතිය ඊට ලැබිය යුතු බව ද, ආරක්ෂක ලේකම්වරයා ඊට අත්සන් තැබිය යුතු බව ද, ඔහු පවසයි. තම විෂය පථයට ඔබ්බෙන් ගොස් කටයුතු කර තිබෙන විදේශ කටයුතු අමාත්‍යාංශය එසේ කිරීමෙන් වරදක් සිදුකර තිබෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වන අදහසයි. එක්සත් ජනපද පාර්ශ්වය සැලකීමේ දී ඇක්සා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව ඔවුන් අවබෝධ කරගත් දෙය වූයේ එවක විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඇමරිකා හිතවත් ක්‍රියාකලාපය බැඳුනු විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ගිවිසුම් අත්සන් තැබීමේ කටයුතු පහසුවෙන්ම සිදුකරගත හැකි බවය.

පසුගිය සඳුදා ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනී ඇලානියා ටෙප්ලිට්ස්, ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණ. ලන්ඩනය පදනම් කරගෙන ක්‍රියාත්මක වන වෙබ් අඩවියක පළව තිබූ පුවතක් ගෙන හැර දක්වා තිබූ ඇය, එහි සඳහන්ව ඇති කරුණු නිවැරදි නොවන බව ද, ශ්‍රී ලංකාවේ ඇමරිකා කඳවුරක් පිහිටුවීමේ කිසිදු අරමුණක් නොමැති බව ද, සිය පණිවුඩයෙක් අවධාරණය කර තිබිණ.

සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් උකහාගත් කරුණු කිහිපයක් මත පදනම්ව එම වාර්තාව පිළියෙළ කර තිබුණේ ඔවුන්ම වූ අතර, එය උපුටා දක්වමින් ට්විටර් ප්‍රකාශයක් නිකුත් කිරීමේ අරමුණ වී තිබුණේ ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් දැක්වීමක් සිදුකිරීමට අවස්ථාවක් ලබාගැනීමය. මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රකාශකයකුගෙන් විද්‍යුත් තැපෑල ඔස්සේ සිදුකරන ලද විමසීමකට ලැබණු ප්‍රතිචාරය මෙවැනි විය.

එම ට්විටර් පණිවුඩය එම වෙබ් අඩවියේ පළකර තිබෙන වාර්තාවට කළ ඍජු අදහස් දැක්වීමක්. හමුදා කඳවුරක් පිහිටුවන්නට යනවාය කියා සාවද්‍ය පුවතක් ඉතාම අවසනාවන්ත ආකාරයෙන් දිගින් දිගටම පැතිර යමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ එවැනි කඳවුරක් පිහිටුවීමේ කිසිදු අරමුණක් එක්සත් ජනපදයට නැතැයි කියන එක අවධාරණය කරන්නට අපට වුවමනායි.

ඉහත වෙබ් අඩවිය ද ඔවුන් පළකර තිබෙන එම වාර්තාවට සන්ඬේ ටයිම්ස් ලියුම්කරුගේ නම ඈදීමෙන් එයට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වීමට උත්සුක වී තිබිණ. ඇමරිකා තානාපති කාර්යාලය සාවද්‍ය යැයි කියා තිබුණේ එම වාර්තාවය. මෙය ඇත්ත වශයෙන්ම, පසුගිය සති කිහිපයේදී සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් සිදුකළ අනාවරණයන් හමුවේ ඊට ප්‍රතිචාරයක් දැක්වීමට ඔවුන් ගත් නිෂ්ඵල උත්සාහයකි.

මෙම ට්විටර් පණිවුඩයේ හඬ තවත් තැන්වල දෝංකාර දී තිබිණ. රජය යටතේ මුද්‍රණය වන ඬේලි නිවුස් පුවත්පතේ පසුගිය සදුදා සංස්කරණයේ මුල් පිටුවෙන් මෙම ට්විටර් පණිවුඩය අරබයා 12වන පිටුවේ පළකර තිබූ වාර්තාවකට අවධානය යොමු කර තිබුණු අතර, ඇක්සා සහ සෝෆා ගිවිසුම් සම්බන්ධයෙන් ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ද, ඇමරිකා තානාපතිවරියගේ ට්විටර් පණිවුඩයට එවැනි අවධානයක් අත්කරදීමට ඬේලි නිවුස් පුවත්පත උත්සුක වී තිබිණ. මෙම වාර්තාව අනුව යමින් එක්තරා රූපවාහිනී නාළිකාවක් සහ ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකා තානාපතිනියගේ ට්විටර් පණිවුඩය සන්ඬේ ටයිම්ස් හට එරෙහිව නිකුත් කර තිබෙන්නක් බවය. එම වාර්තා සම්පාදනය කළවුන්ට නිසි තොරතුරු ලැබී නොමැති බව පැහැදිලිය.

කොටින්ම එම ට්විටර් පණිවුඩය නිකුත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනිය මෙම ඇක්සා සහ සෝෆා ගිවිසුම් සම්බන්ධයෙන් මෙම තීරුවලින් අනාවරණය කළ කාරණා කිසිවක් අභියෝගයට ලක්කර නොමැත. ඇයගේ තර්කය වී තිබෙන්නේ සෝෆා ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට කිසිදු තර්ජනයක් එල්ල නොවන බව පමණකි. ලියුම්කරු ඇමරිකා තානාපතිනියගේ මෙම ස්ථාවරය හා එකඟ නැත. සෝෆා ගිවිසුම ශ්‍රී ලංකාවේ ස්වෛරීයත්වයට බලවත් තර්ජනයක් බව ඔහුගේ අදහසයි. කෙසේනමුත් තමන්ගේම අදහස් දැරීමට ඇමරිකා තානාපතිවරියට ද ඇති අයිතිය ලියුම්කරු පිළිගනී. වර්තමාන යුද මෙහෙයුම් කටයුතු සැලකීමේ දී කඳවුරු යනු තරමක් යල්පැන ගිය ව්‍යුහයක් වනු මුත්, ලොව පුරා එක්සත් ජනපදය අවුල් වියවුල් ඇතිකරගෙන තිබෙන ස්ථානයන් සැලකීමේ දී ඒ සියලු තැන්හි ඔවුන්ගේ කඳවුරු තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. එක් අතකින්, ලොව ගැඹුරුම ස්වභාවික වරායන්ගෙන් එකක් වන ත්‍රිකුණාමලය වරායට ඇමරිකා ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් පැමිණ නැංගුරම් ලෑම වැළැක්වීමේ කිසිදු සඳහනක් ඇක්සා ගිවිසුමේ නැත. එම යාත්‍රාවේ සිට යුද මෙහෙයුම් දියත් කිරීමට ඇමරිකාවට හොඳින්ම හැකිය. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට අයත් සම්පූර්ණ මුහුදු තීරයටම වලංගුය. සෝෆා ගිවිසුමෙන් ලැබෙන අවසරයෙන් සිය නිල ඇඳුමින් සැරසී ශ්‍රී ලංකාවට පිවිසීමට, අවි අතැතිව ගමන් කිරීමට, සන්නිවේදන උපකරණ භාවිත කිරීමට, ඇමරිකා ආරක්ෂක අංශ සාමාජිකයන්ට හැකියාව ලැබේ. සෝෆා ගිවිසුම යටතේ මෙරට ස්වෛරීයත්වය අවදානමට ලක්විය හැකි ආකාරය පිළිබඳ පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් කළ අනාවරණය අද වන විට දිවයින පුරා කතාබහට ලක්වෙමින් තිබෙන කාරණයකි.

පසුගිය සතියේ මා හා අදහස් දැක්වූ යුද, ගුවන්, නාවික හමුදාවල ප්‍රධානීන් සිටින්නේ සෝෆා ගිවිසුමේ සඳහන් කාරණා අරබයා අතිශය පුදුමයට පත්වය. කෙසේ නමුත් එවැනි දේ සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට අවසරයක් නැත.

අපි කොහෙත්ම එක්සත් ජනපදය කෝප ගැන්විය යුතු නැහැ. හැබැයි අපේ ජාතික වුවමනාවන් ඔවුන් වෙනුවෙන් පුදන්නට ඉස්සෙල්ලා, දෙගොල්ලන්ටම එකඟ වෙන්නට පුළුවන් පොදු තැනකට එන්නට කටයුතු කළ යුතු වෙනවා. මැරීන භට ඛණ්ඩයක් පිහිටුවන්නට එක්සත් ජනපදය අපට උපකාර කළා. ඒ වගේම සමුදුරු ආශ්‍රිත ආරක්ෂක ක්‍රියාකාරකම්වලදීත් ඔවුන් අපට සහාය දුන්නා. වෙරළාරක්ෂක හමුදාවට පුහුණුවක් ලබාදීමත් එයට ඇතුළත්, නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.

ශ්‍රී ලංකාවට අයත් නොවන මුහුදු සීමාවේ සිට පවා නාවික හමුදාව සමග නාවුක මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නට එක්සත් ජනපදයට හැකි වුවත්, ගුවන භාවිත කරනවා නම් ඔවුන්ගේ හමුදාවන් සහ බඩුබාහිරාදිය වෙනුවෙන් අපේ ගුවන්තොටුපළවල් ඇමරිකාවට භාවිත කරන්නට සිදුවෙනවා. ඒ කියන්නේ අපට සිදුවනවා අපේ ගුවන් හමුදාවේ සියලුම ඉදිකිරීම් සහ ගුවන් පථයන් යනාදිය විදෙස් රටක ගුවන් හමුදාව එක්ක බෙදා හදා ගන්නට. හදිසි අවස්ථාවක වගේ නොවෙයි මේ වගේ අවස්ථාවක දී ඔවුන් දිගින් දිගටම අපේ සම්පත් භාවිත කරන්නට ගත් විට නිසැකවම අපේ කටයුතුවලට බාධා පැමිණෙනවා. අපේ ගුවන් හමුදාවත් එක්ක තවත් ගුවන් හමුදාවක් ක්‍රියාත්මක වෙනවා බලාගන්න පුළුවන් වේවි. ඒක නම් කොහෙත්ම පිළිගන්නට බැහැ, ගුවන් හමුදා නිලධරයෙක් පැවසුවේ ය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ ස්ථාවරය

රටේ ආරක්ෂක අංශයේ ඉහළම නිලධාරියා වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩසටහනේ පස් අවුරුදු සැමරුම නිමිත්තෙන් පැවැති විශේෂ වැඩසටහනට පසුගියදා එක්ව සිටියේ ය. ඔහු එහිදී වැඩසටහන මෙහෙයවූ බන්දුල ජයසේකර මහතා සමග ඇක්සා සහ සෝෆා ගිවිසුම් සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකළේ ය.

ඇක්සා සහ සෝෆා ගිවිසුම් යනු ආන්දෝලනාත්මක ගිවිසුම් යැයි හඳුන්වාදුන් ඔහු, ඒවායේ ඇතැම් කාරණාවලට කිසිදු අයුරකින් එකඟවිය නොහැකි බව අවධාරණය කළේ ය. එසේ වුවත් අනෙක් රටවල් හා සංසන්දනාත්මකව සැලකූ විට ඇමරිකා ආර්ථිකයේ විශාලත්වය සහ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් වැය කරන මුදල් ප්‍රමාණය ද, මෙවන් ගිවිසුම් ඇතිකර ගැනීමේ දී සැලකිල්ලට ගතයුතුව තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ඔවුන් කියන හැම දෙයටම අපි එකඟ වෙන්නට වුවමනා නැහැ. 1993 වසරේ අපි අපේ විශේෂ බෝට්ටු බලඝණය පිහිටවූවා. 1996 වසරේ අපි එක්සත් ජනපදයත් එක්ක ක්‍රියාකාරකම්වල නියැලුණා. ඒ දවස්වල ඔවුන් මතුකරපු ගැටලු කිහිපයක්ම තිබුණා. නමුත් අපි කීවා, ඔවුන් පවසන දෙයත් එක්ක අපට එකඟවන්නට බැහැ කියලා. ඔවුන් එය අවබෝධ කරගත්තා. ගිවිසුමක් ඇතිකරගන්න නම් අපි මධ්‍යස්ථ තැනකට පැමිණිය යුතුව තිබෙනවා. ඔබ පැවසුවා මා නාවික හමුදාපතිව සිටි කාලයේ ඇක්සා ගිවිසුමට මම විරෝධය දැක්වූවාය කියා. ඇත්ත, මම එහෙම කළා. මම එහෙම කළේ ගිවිසුමේ සඳහන් වෙලා තිබුණු ඇතැම් කරුණුවලට එකඟවෙන්නට පුළුවන් කමක් තිබුණේ නැති නිසා. ගොඩක් වෙලාවට අනෙක් අයගේ අදහස් විමසන්න සාකච්ඡා පැවැත්වෙන්නේ නැහැ. ඔවුන් නිකන්ම ගිවිසුම් ඇති කරගන්නවා. අපි එහෙම නොකළ යුතුයි.

මේ සාකච්ඡාවලට ආරක්ෂක අංශත් අදාළ කරගත්තා නම් ඔවුන් එවැනි ඉල්ලීම්වලට එකඟ වෙන්නේ නැහැ. අනෙක් රටවල් හා සැසදීමේ දී අපේ රටේ ගොඩක් ලොකු ගැටලු තිබෙනවා. අපි හම්බන්තොට වරාය වසර 99ක කාලයකට චීනයට බදු දීලා තිබෙනවා. ඒ මත්තේ ඉඳන් ඇමරිකාව අපෙන් අහනවා, එහෙම චීනයට වරායක් බදු දෙන්න පුළුවන් නම් අපේ ගිවිසුමට එකඟ වෙන්න බැරි මොකද කියලා. ඒ අතරේ රුසියාව කියනවා ඇමරිකාව එක්ක ඔය වගේ ගිවිසුමක් ඇති කරගත්තොත් ඔයාලා අපිත් එක්කත් ගිවිසුමක් අත්සන් කළ යුතුයි කියලා. (සටහන - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මෙම සාකච්ඡාවට එක්ව සිටියේ ආරක්ෂක අංශ දූත පිරිසක් සමග රුසියාවේ කළ සංචාරයකින් පසුවය). මේ වගේ තත්ත්වයක අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ දේශපාලනඥයින්ට විශාල වගකීමක් පැවරෙනවා මේ ගැටලුව විසඳා ගන්නට. අපිට ඇමරිකාව අමතක කරන්නට බැහැ. ගාලු සංවාදයේ ප්‍රධාන ආරාධිතයා හැටියට අපි ආරාධනා කළේ එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර කලාපයේ අණදෙන නිලධාරී අද්මිරාල් හැරිස්ට. ශ්‍රී ලංකාව ඇමරිකාවට වැදගත් ඇයි කියා හැරිස් ඔහුගේ දේශනයේ දී සඳහන් කළා.

එහෙම වැදගත් වෙන්නේ අපේ පිහිටීම නිසා හැර වෙන කරුණක් නිසා නොවෙයි. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන ස්ථානය ඔවුනට ඉතාම වැදගත්. ඉන්දියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශකවරයෙක් වන ශිව ශංකර් මෙනන් පවා සඳහන් කර තිබෙනවා ශ්‍රී ලංකාව ගුවන්යානා ප්‍රවාහනය කිරීමේ නෞකාවකට සමාන කළ හැකි බව. ඉන්දියා සාගරය ශ්‍රී ලංකාවේ සිට පහසුවෙන්ම හැසිරවිය හැකියි. මේ වැදගත් පිහිටීම අපි අපේ ජනතාව සහ අනාගත දරුවන් වෙනුවෙන් රැකගත යුතුමයි. එය අපේ වගකීමක්. ඒ නිසාම, මේ රට අන්තර්ජාතික කණ්ඩායම්වල බල පොරයට නතුවන පිට්ටනියක් නොවිය යුතුමයි.

ජනපතිවරයා එහෙම කටයුත්තක නිරත වෙනවා නම් ඔහු අපට දැනුම්දෙනවා. නමුත්, සමහර වෙලාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ගන්න තීරණ ගැන අපට නම් මනාපයක් නැහැ. ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඔවුන් අදාළ කරගන්නේම නැති තරම්. ඇක්සා ගිවිසුමේදීත් වුණේ එයමයි. අනාගතයේ දී එවැනි වැරදි සිදුනොවිය යුතුයි. දශක 30 බෙදුම්වාදී යුද්ධයේ දී එක්සත් ජනපදය අපට උදව් කළා. 2006-2007 වසරවල දී ඔවුන් අපට උදව් කළා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාවෙන අවි ගබඩා විනාශ කරන්නට. වෙන කිසිම රටක් අපට එහෙම උදව් කළේ නැහැ. අනාගතයෙත් අපට එවැනි උදව් වුවමනාමයි. නමුත් අපි ගිවිසුම් ඇතිකරගත යුත්තේ මධ්‍යස්ථ තැනකට ඇවිල්ලා.

රටේ ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරියා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා දක්වන මෙවැනි අදහස්වලින් ඇක්සා ගිවිසුම කැබිනට් මණ්ඩලය හරහා ලහිලහියේ ගෙන ගොස් තිබෙන ආකාරය මනාව පැහැදිලි වේ. පෙර අවස්ථාවක දී අනාවරණය කළ ආකාරයට මෙම ගිවිසුමේ සිංහල පරිවර්තනයක් හෝ තිබී නොමැත. ඇක්සා ගිවිසුම අත්සන් කළ වහාම එක්සත් ජනපද පාර්ශ්වය ඉමහත් සැනසීමකට පත්ව තිබෙන අතර, එහි සිටි ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයකු ඔහු හමුවේ සිටි දේශීය මෙන්ම විදේශීය කාර්යමණ්ඩල සාමාජිකයින් අමතා අසා තිබෙන්නේ දැනට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කරනා නිලධාරිනියක ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරිය ලෙස පත්කිරීම ගැන ඔවුන් දරනා අදහස කුමක්දැයි කියාය. එසේ කළහොත් එවක විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රසාද් කාරියවසම් සමග එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමට ඇයට හැකිවනු ඇති බව ඔහු පෙන්වා දී තිබේ. වර්තමානයේ කාරියවසම් අන්තර්ජාතික කටයුතු පිළිබඳ කතානායකවරයාගේ උපදේශකවරයා ලෙස කටයුතු කරන අතර, ඔහුට ඒ සඳහා ගෙවීම් සිදුකරන්නේ එක්සත් ජනපද ආයතනයක් වන යූඑස්එයිඞ් ආයතනය යටතේ ගිවිසුම් පදනමේ සිට ක්‍රියාත්මක වන ඩීඒඅයි නම් ආයතනයක් හරහාය. මෙය මෑතක දී පැවැති පක්ෂ නායක රැස්වීමකදී ද අවධානයට ලක්ව තිබෙන අතර, දැනගන්නට හැක්කේ කාරියවසම්ට යූඑස්රයිඞ් මුදල් නොව වෙනත් ආකාරයකින් මුදල් ගෙවීම සඳහා මාර්ගයක් සකස් කළ හැකිදැයි සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බවය. මේ අනුව ඔහු ශ්‍රී ලංකාවට මේ සා විශාල හානියක් සිදුකර ඇත්තේ වුව ද, කාරියවසම් තවදුරටත් කතානායකවරයාගේ උපදේශකවරයෙක් ලෙස දිගටම රැඳී සිටිනු ඇත.

රාජ්‍යතාන්ත්‍රිකයෝ අනතුරුව තවත් යෝජනාවක් ගෙන ආවෝය. ගාලුමුවදොර පිටියට ඉහළ ගුවනේ එක්සත් ජනපද ගුවන්යානා සංදර්ශනයක් පැවැත්වීමට ඔවුහු යෝජනා කළහ. මේ සඳහා එම යානා දිවයිනේ දකුණු දිග පසුකරගෙන ඉදිරියට පියාසර කොට, නැවත හැරී ආ යුතුවිය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව දියත් කරන්නට යෝජනා කළ මෙම සංදර්ශනයට වැඩි කැමැත්තක් හිමි නොවිණ.
මෙම වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආසන්නයෙන් යාත්‍රා කළ න්‍යෂ්ටික බලයෙන් ජවගැන්වෙන නිමිට්ස් වර්ගයේ ගුවන්යානා ප්‍රවාහන සහ ප්‍රහාරක යාත්‍රාවක් වන ජෝන් ස්ටෙන්නිස් නෞකාවේ ස්ථානගත කර තිබෙන ගුවන්යානා මෙම සංදර්ශනය සඳහා යොදා ගැනීමට ඉහත රාජ්‍යතාන්ත්‍රිකයන්ට අවැසි විය. විදෙස් කාර්යමණ්ඩල සාමාජිකයන්ගෙන් අදහස් වූයේ ශ්‍රී ලංකාව එවැන්නට අවසර දිය යුතු බව වුවත්, දේශීය කාර්යමණ්ඩල සාමාජිකයන්ට තිබුණේ වෙනත් අදහසකි. ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වීමේ අදහස පසුව හකුළා ගැනිණ. ඇක්සා ගිවිසුම යටතේ ඉහත ප්‍රහාරක නෞකාවේ කාර්යභාරය කොළඹ ඇමරිකා තානාපති කාර්යාලය හඳුන්වා දී තිබුණේ ප්‍රවාහනය සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් කලාපීය මධ්‍යස්ථානයක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා වෑයම ප්‍රවර්ධනය කිරීම සඳහා, මහා පරිමාණ භාණ්ඩ ප්‍රවාහනය කිරීමක උදාහරණයක් ලෙස යොදාගන්නක් හැටියටය. ඒ හා අදාළව, එක්සත් ජනපද නාවික හමුදාව ඒ වන විටත් ගුවන් මාර්ගයෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට භාණ්ඩ කොටසක් ප්‍රවාහනය කර තිබිණ. එම භාණ්ඩ ජෝන් ස්ටෙන්නිස් නෞකාවට යා යුතු විය. කොළඹ ඇතැම් ආරක්ෂක නිලධරයන් දැරූ අදහස වූයේ ඇමරිකාව මෙවැනි ව්‍යායාමක යෙදෙන්නට ගන්නා උත්සාහය පසුපස තිබෙන්නේ ගුවන්යානා ගුවන්ගත කිරීම සඳහා කොළඹ ගුවන්තොටුපල භාවිත කිරීමේ දී ප්‍රතිසැපයුම් යනාදිය සඳහා ගතවිය හැකි කාලය වැනි කාරණා අවබෝධ කරගැනීමේ වෑයමක් විය හැකි බවයි. මෙවන් අවසරයක් සැබැවින්ම ඇක්සා ගිවිසුම යටතේ ඇමරිකාවට ලබා දී තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගිය බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවක ප්‍රධාන මාතෘකාවක් වූයේ ද ඇක්සා ගිවිසුම සහ අත්සන් තැබීමට යෝජිත සෝෆා ගිවිසුමය. ප්‍රමුඛත්වය දිය යුතු කාරණයක් ලෙස සලකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන ඉඩම් සම්බන්ධයෙන් වන නීතියක් පිළිබඳව ද මෙහි දී අවධානය යොමුවිය. ඇක්සා ගිවිසුමට විරෝධය දැක්වීමට සහ සෝෆා ගිවිසුමට අත්සන් නොතබා සිටීමට රජයට බල කිරීම සඳහා ඒකාබද්ධව ගතහැකි පියවර පිළිබඳ දෙපාර්ශ්වය අතර සාකච්ඡා විය. මෙම ගිවිසුම් දෙක සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකොට වාර්තාවක් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා දැනටමත් හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයකුට උපදෙස් දී තිබෙන අතර, එම වාර්තාව ලැබීමෙන් පසුව ඔහු මෙම ගිවිසුම් පිළිබඳව සිය ස්ථාවරය දන්වා නිල ප්‍රකාශයක් නිකුත් කරනු ඇත. එපමණක් නොව මෙම ගිවිසුම්වලින් රටේ නීතිය හා ව්‍යවස්ථාව කඩව තිබෙන අවස්ථා අධ්‍යයනය කොට හඳුනාගන්නා ලෙසට ඔහු නීතිඥ කණ්ඩායමකට ද උපදෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අඟහරුවාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින් ඇක්සා ගිවිසුමේ ආදීනව ගැන ජනතාව දැනුම්වත් කළ යුතුව තිබෙන බව පැවසුවේ ය. සෝෆා ගිවිසුම අත්සන් තැබීම ජනපතිවරයාගේ මැදිහත්වීම නිසාවෙන් නැවතී තිබීම සැනසීමක් බව කියා සිටි ඔහු, එක්සත් ජාතික පෙරමුණ එම ගිවිසුම ඉදිරියට ගෙනයාමට උත්සාහ දැරූ ආකාරය සැලකීමේ දී එය සතුටට කාරණයක් බව ද පැවසුවේ ය. 2007 අත්සන් තැබූ ඇක්සා ගිවිසුම 2017 වන විට වඩා පුළුල් ස්වරූපයකින් යුක්ත වූ බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බවත්, ජයසේකර කීවේ ය. සෝෆා ගිවිසුමට අත්සන් තැබුවහොත් ශ්‍රී ලංකාවට ඇයගේ ස්වෛරීභාවය අහිමිවිය හැකි යැයි ඔහු අනතුරු ඇඟවූයේ ය.

පාර්ලිමේන්තුවේ කටයුතු දියත් කිරීම සඳහා යැයි කියමින් කතානායක කරු ජයසූරිය මහතා එක්සත් ජනපදය සමග අත්සන් තබා තිබෙන ඩොලර් ලක්ෂ 270ක් වටිනා ගිවිසුමක් සම්බන්ධයෙන් ද ජයසේකර අවධානය යොමු කළේ ය. එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට බඳවාගෙන තිබෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ඔහු, රටට ලැබෙන විදෙස් මුදල් සියල්ලක්ම ලැබිය යුතුව තිබෙන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා බව අවධාරණය කළේ ය. කාරියවසම්ට කරන ලද සියලුම ගෙවීම්වල තොරතුරු අනාවරණය කළ යුතුව ඇතැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා පැවසුවේ ය.

මෙම ගිවිසුම්වලට විරෝධය දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්විණ. එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ මෙවැන්නකි.

නිදහස ලැබීමෙන් පස්සේ අත්සන් තබන්නට යන ලොකුම ගිවිසුම තමයි මේ සෝෆා ගිවිසුම. එහි ප්‍රතිවිපාකයන් බොහෝමයි. කොළඹ එක්සත් ජනපද තානාපතිනිය කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ ඇමරිකාවේ හමුදා කඳවුරු පිහිටුවන්නේ නැහැ කියලා. යෝජිත ගිවිසුමෙන් 
ශ්‍රී ලංකාවට සහාය දැක්වීමක් පමණයි වන්නේ කියලා ඇය කියනවා. අන්තර්ජාලයේ සෙවීමක් කළොත්, අපට හොයාගන්නට පුළුවන් ඇමරිකාව අනෙක් රටවල් සමග සෝෆා ගිවිසුම අත්සන් තැබීමත් සමග ඇතිවෙලා තියෙන ගැටලු. ඕනෑම රටක් එක්ක සෝෆා ගිවිසුම අත්සන් තැබුවොත් හමුදා කඳවුරක් පිහිටුවිය යුතුමයි. මේ ගිවිසුම් කෙටුම්පතේ ඒ ගැන අනාවරණයන් කිහිපයක්ම තිබෙනවා. හොඳින් පුහුණුව ලද, අත්දැකීම් බහුල, ලොවම හඳුනාගත්, ඕනෑම අවස්ථාවකට මුහුණදිය හැකි හමුදාවක් අපට සිටිනවා. අපිව ගත්තහම, අපි අපේ අසල්වාසීන් වන ඉන්දියාව, පකිස්තානය පමණක් නොවෙයි චීනය සමගත් සාමකාමීව කටයුතු කරනවා. ඒ නිසාම අපට වෙනත් රටකින් මිලිටරි සහායක් ලබාගැනීමේ කිසිම වුවමනාවක් නැහැ.

ඇක්සා - සෝෆා ආන්දෝලනය මෙසේ තවත් දලුලා වැඩෙමින් තිබෙන්නේ ඊයේ (8) තෙදින නිල සංචාරයක් සඳහා බි්‍රතාන්‍යය බලා යෑමට නියමිතව සිටි ජනපති සිරිසේන තවත් කරුණු ගණනාවක් අරබයා වන ගැටලු ගොන්නක පැටලී සිටින වාතාවරණයකය. මරණ දඬුවම නැවත හඳුන්වාදීමට ඔහු ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් හමුවේ දැන් ලබන ඔක්තෝබර් මස 30 වැනිදා දක්වා කල් ගොස් තිබේ. මවිතය දනවන කරුණ වන්නේ මරණ දඬුවම ලබාදීම අනුමත කරමින් ජනපතිවරයා අත්සන් තැබූ ලිපිය තමාට නොලැබුණු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.ඩබ්.ජේ.ඩබ්. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබීමය. මේ අතරවාරයේම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙන ජනපති සිරිසේන දිගින් දිගටම මාස ගණන් කල්යමින් තිබෙන සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

ජනපතිවරයා සැලකීමේ දී ඔහුට වඩාත්ම වැදගත් වන කාරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව තැනීමට යෝජිත පොදු සන්ධානයයි. පසුගිය සතියේ නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකරට යොමුව තිබූ අවධානය තමන් වෙත ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා, දෙපාර්ශ්වය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ නමින් නව සන්ධානයක් ගොඩනගා ගැනීමට කැමැත්ත පළකළ බව පැවසුවේ ය. මෙම කාරණය බොහෝ දෙනෙක් කලක පටන්ම දැන සිටියකි. මේ අරබයා දරදිය ඇත්තේ ජයසේකර බව කීමේ වරදක් නොමැති අතර, තමන්ගේම අදහස් දැක්වීම් නිසා බොහෝ විට සියලුදෙනාගෙන්ම දොස් අසන්නට සිදුවූයේ ද ඔහුටමය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සංවාදය

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග පොදු සන්ධානයක් ගොඩනගා ගැනීම සඳහා පසුගිය සතියේ පැවැත්වුණු තවත් සාකච්ඡාවකට ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පිරිසක් සමග සහභාගී විය. පෙර අවස්ථාවක දෙපාර්ශ්වය අතර ඇතිකර ගැනීමට යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිය අදහස් දන්වා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලියවිල්ලක් භාර දී තිබුණු අතර, මෙම රැස්වීම එහි පසුවිපරමක් විය. ඉක්මනින්ම එකඟතාවයක් ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන බවත්, මැතිවරණමය එකඟතාවයක් ඇතිකර ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡා ඉදිරියට ගෙනයෑමට අපේක්ෂාවෙන් සිටින බවත්, ජයසේකර සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය. පොදු සන්ධානයේ ලකුණ පොහොට්ටුව විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මතය වෙතත්, අනෙක් අයට අවශ්‍යව තිබෙන්නේ වෙනම ලකුණකි. තත්ත්වය මෙසේ වුවත් එකඟතාවයන් ඇතිකරගත යුතුව තිබෙන කාරණා බොහෝමයකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අත්වැල් බැඳගැනීම සමග නැගෙන වැදගත් පැනයක් ඇත. එසේ නම් මෙවර ජනපතිවරණයට ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් නොවනු ඇති ද? හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා වනු ඇති බවට වැඩි සැකයක් නැත. ඒ සම්බන්ධයෙන් ලබන මස 11 වැනිදාට යෙදී තිබෙන පක්ෂ ප්‍රථම ජාතික සම්මේලනයේ දී නිල වශයෙන් ප්‍රකාශයක් කෙරෙනු ඇත. සන්ධානයක් පිහිටුවා ගැනෙන්නේ නම් එම කටයුතු කල්තියාම සිදුකළ යුතුවන හෙයින් ජනපති සිරිසේනගේ දේශපාලන අනාගතය සලකා දෙපාර්ශ්වය නිල නොවන මට්ටමේ එකඟතාවයක් ඇති කරගැනීමට ඉඩ තිබේ. එක් තොරතුරු මූලාශ්‍රයක් පැවසුවේ අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොළොන්නරුව නියෝජනය කරමින් තරග වැද, ඔහුට වඩාත් සමීප මහවැලි සහ පරිසර අමාත්‍යාංශය භාරගැනීමට, ජනපතිවරයාට අවස්ථාවක් ලැබිය හැකි බවය. ඔහුම නිර්මාණය කළ අර්බුදයන් ගණනාවක් ආසන්නයේ ජනපති සිරිසේනට අනාගතයේ පෙනෙන්නට තිබෙන එකම ආලෝකය මෙය පමණක් විය හැකිය.

මේ සියල්ල මධ්‍යයේ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් දෙදෙනෙක් - විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවූහ. වසර 4ක කාලයක් පුරාවට සන්ධානගතවීමකින් තොරව ඔවුන් ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් ඔවුහු, සන්ධානයක් තනා ගත යුතුව තිබීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්හ. එය ඒකාබද්ධ විපක්ෂයට විරෝධය දැක්වීමක් ලෙස සිදු නොකරන්නක් බව ද දෙදෙන අවධාරණය කළහ. සන්ධානයක් තනා ගැනීමේ අරමුණ ද පැහැදිලි කළ දෙදෙන, එසේ කරන්නේ අවශ්‍යතාවක් ඇතිවුවහොත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහායැයි ද කීහ. එවැන්නක අවශ්‍යතාවක් නොමැති බව කියා සිටි රාජපක්ෂ, මෙම කාරණය පක්ෂ නායකයින්ගේ අවධානයට යොමු කරන බව පැවසුවේ ය. එම රැස්වීම අද (9) පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සැලකීමේ දී පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ගැටලු ගොන්නක් පැන නැගෙන්නට ගෙන තිබෙන ලකුණු දැනටමත් පෙනෙන්නට ඇත. පසුගිය සතියේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකළ මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ වික්‍රමසිංහගේ ආශිර්වාදය ඇතිව පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතුව තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවය. එය පක්ෂ නායකත්වයට එල්ල කළ මඩ ප්‍රහාරයක් බව ඇතැම් වික්‍රමසිංහ හිතවතුන්ගේ අදහසයි.

කැබිනට් රැස්වීමකට පෙර අරලියගහ මන්දිරයේ දී රජයේ අමාත්‍ය කණ්ඩායම සමග පැවැති හමුවක දී වික්‍රමසිංහ සිය අමනාපය පැහැදිලිව ප්‍රදර්ශනය කළේ ය. ඇතැම් අමාත්‍යවරුන් වාසි අපේක්ෂාවෙන් ජනපතිවරයා පසුපස යමින් සිටින බවට චෝදනා කළ ඔහු, සියලු අවස්ථාවන්හි දී තමා සමග සිටි බවට විශේෂයෙන්ම සඳහන් කළේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාවය.

හිටපු විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයකු වන ප්‍රසාද් කාරියවසම්ගේ බසට නතුව නොමගට ගියත්, පසුව සෝෆා ගිවිසුමට අත්සන් නොතැබීමට ජනපති සිරිසේන ගත් තීරණය අගය කළ යුතුය. රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එයමය. පැහැදිලිවම, මෙතැන ගැටලුව ඇත්තේ එක්සත් ජනපදය සමග නොව, විනිවිදභාවයකින් යුතුව මෙම ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතුවීමේ වැදගත්කම සහ රටේ ජාතික වුවමනාව අමතක කළ අමාත්‍යවරයකුගේ සහ නිලධාරීන්ගේ හැසිරීම සමගය. එක්සත් ජනපදය අමනාප කරගැනීමේ හැකියාවක් රජයට නැත. නමුත් එසේ යැයි රටේ ස්වෛරීයත්වය පාවා දීමට ද හැකියාවක් නැත.

පරිවර්තනය - කෝවිද ගුණසේකර