පහුගිය දවසක අලුත් කවි පොතක් එළිදක්වන වැඩකදී මහවැලි කේන්ද්‍රයේදී මුණ ගැහුණු අපේ මිත්‍රයො කීප දෙනෙක් එක්ක පොඩි සාජ්ජයක් දාගෙන ඉන්න වෙලාවක කොළඹ නගරයේ කලාවට සම්බන්ධ තැන් පිළිබඳව කතාවක් ඇදිලා ආවා. ඒකෙදි ජෝන් ද සිල්වා එකත් මාතෘකාවක් වුණා. එතන ඉඳපු එක මිත්‍රයෙක් කිව්වේ “ඔය කලාභවනට පිටිපස්සෙන් හැදෙන එක නේද ජෝන් ද සිල්වා එක. හැබැයි ඒක බැලූ බැල්මට රඟහලක් වගේ නෙවෙයි ලොකු රෙදි කඩයක් වගේ කියලා. මේ කතාව කිව්වේ රුවන් නෙලූ කියන අපේ මිත්‍රයා. සමාජ මාධ්‍ය ඇතුළෙ ජනප්‍රිය චරිතයක් වෙච්ච රුවන් කවි එහෙමත් ලියන තරුණ ලේඛකයෙක්. පත්තරකාරයෙක්. රුවන්, කිව්වෙ ඒක දැන් ජෝන් ද සිල්වා වගේ නෙවෙයි දුමින්ද සිල්වා වගේ කියලා.

මෙන්න මේ කතාවත් එක්ක ජෝන් ද සිල්වා එක ගැන මතකය අලුත් වෙන්න ගත්තා. ඇත්තටම අපේ රටේ නාට්‍ය ප්‍රබෝධයේ මර්මස්ථානයක් වෙලා තිබුණු තැනක් තමයි ජෝන් ද සිල්වා රඟහල. මගේ මිත්‍රයා ජෝක් එකට කිව්වත් ඒ කතාව ජෝන් ද සිල්වා එක ගැන යළිත් යමක් හිතන්න මාව තල්ලු කළා. ජෝන් ද සිල්වා රඟහල ගියපු වාර ගණන මතක නැති තරම් වුණත් අද බොහෝ අයට අමතක වෙලා වගේ තියෙන ජෝන් ද සිල්වා එක ආපහු මතක් කරලා දෙන්න හිතුනා. අද අපේ රටේ සමහර නාට්‍යකාරයින්ටත් ජෝන් ද සිල්වා එකක් තිබුණද නැද්ද මතක නෑ. ඒක නිසාම අද ජෝන් ද සිල්වා එක මාතෘකාව කරගන්න කල්පනා කළා.

ජෝන් ද සිල්වා රඟහලේ ඉතිහාසය භූගෝලය ගැන ඉතිං අමතුවෙන් පැහැදිලි කිරීම් අවශ්‍ය නෑ. කවුරුත් දන්නව මේ රඟහල අපේ රටේ අත්කරගෙන තිබුණු තැන. මේ රඟහල ගැන අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි. අවුරුදු පහකට විතර උඩදි අලුත්වැඩියාවකට කියල වහගත්තු මේක තාමත් ඇරගන්න බැරුව මොන ලබ්බක් කරනව ද කියලා විතරයි. මේක අලුත්වැඩියාවකට කියල වැහුවෙ පහුගිය ආණ්ඩුව කාලේ. ඊට පස්සේ ආපු මේ ආණ්ඩුවෙත් දැන් යන්නේ අන්තිම ඩිංග. මේ යන විදියට මේ ආණ්ඩුව කෙළවර වෙන්න කලින් මේ රඟහල විවෘත කරලා නාට්‍යකරුවන්ට දෙන්න බැරි හැඩයි. එහෙම කරන්න ඒ හැටි ඕනකමකුත් නෑ වගේ.

 ජෝන් ද සිල්වා රඟහලට තියෙන්නේ හරිම රසබර ඉතිහාසයක්. අපේ රටේ ජ්‍යෙෂ්ඨ නාට්‍ය කරුවොන්ගෙන් ඇහුවොත් මේ රඟහල හා බැඳුණු රස කතා අහගන්න පුළුවන් පොතකට. ඉස්සර නාට්‍යකරුවන්ට තිබුණු සමීපම තැනක් තමයි ජෝන් ද සිල්වා එක. නාට්‍යයක් නාට්‍යයක් විදියට හිරිහැරයක් නැතුව බලන්න තිබුණු තැන්වලින් ප්‍රධාන තැනක් මේක. මේක අලුත්වැඩියාවක් කිව්වට සම්පූර්ණ නවීකරණයක් වගේ තමයි පේන්නේ. ඒ කොහොම වුණත් මේ වගේ වැඩකට අවුරුදු පහක් ගන්නවා කියන්නේ රටේ සංවර්ධන වැඩවල වේගය හිතා ගන්න පුළුවන්. අපි දකිනවා දැන් කොළඹ නගරය පුරා ඉදිවෙන නිවාස සංකීර්ණ ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට තට්ටු විස්සෙ තිහේ මේ නිවාස සංකීර්ණ හැදිලා ඉවරයි. මේ ජෝන්ද සිල්වා කතන්දරේ මේ තරම් පරක්කු වෙන්නෙ ආණ්ඩුවෙ වැඩක් නිසා බව මේකෙන් හරි පැහැදිලියි. මේ ආණ්ඩුවට වගේම කොයි ආණ්ඩුවටත් කලාව ගැන මහ ලොකු හැඟීමක් නෑ. ඇඟේ ගැහුවත් සංස්කෘතික ඇමැතිකම නම් එපා කියන දේශපාලකයින් ඉන්න රටක ඒ අයට කලාව දියුණු කරන්න ඒ හැටි වුවමනාවක් නෑ.

මේ ආණ්ඩුවෙ සංස්කෘතික ඇමැතිලා මාරු වුණේ හරියට කෙල්ලො ඇඳුම් මාරු කරන ගාණට. අවුරුදු පහට ඇමැතිලාත් බර ගාණක්. දැන් වැඬේ අතට අරන් තියෙන්නේ සජිත් ප්‍රේමදාස. වැඩ කරනව කියල සද්දෙ නම් දානවා. සද්දෙ තරමට වැඩ කෙරෙනවද කියන එක හොයා බලන්න ඕන. නාට්‍යකාරයින්ට නාට්‍ය පෙන්න ගන්න කොළඹ තියෙන හෝල් දෙක තුන බේරල දෙන්න මේ අයට පුදුම අමාරුවක්. කාලයක් තිස්සෙ අලුත්වැඩියාවක් කියලා වහල තිබුණු එල්ෆින්ස්ටන් රඟහල යන්තන් ඇරගන්න හම්බ වුණේ ඊයේ 
පෙරේදා. හැබැයි වෙන වෙන ප්‍රොජෙක්ට් නම් පට් පට් ගාල ක්‍රියාත්මක කෙරෙනවා. සජිත් ප්‍රේමදාසට ඔය රට වටේ ගෙවල් හද හදා යන්න තියෙන උනන්දුවම ජෝන් ද සිල්වා රඟහල අරින්නත් තියෙනවා නම් මරු බලමු මේ ආණ්ඩුවෙ ආයුෂ ඉවරවෙන්න කලින් ජෝන් ද සිල්වා එක ඇරගන්න පුළුවන් වෙයි ද කියලා.

 සිනමාවේ ප්‍රශ්න ගැන තියෙන උනන්දුව නාට්‍ය කලාව ගැනත් දන්වන්න පුළුවන් නම් හොඳයි. තමන්ගේ චිත්‍රපටි පෙන්නන ක්‍රමවේදය ගැන චිත්‍රපටිකාරයෝ ළඟ තියෙන උනන්දුවත් තමන්ගේ නාට්‍ය පෙන්නගන්න තියෙන තැන් ඇහැරිලා තියෙද්දි නාට්‍යකාරයින්ට නෑ වගේ. මේකට අපිට වඩා බැහැලා කතා කරන්න ඕන 

නාට්‍යකාරයො. ඒත් ඒ අයගෙ ලොකු සද්දයක් නෑ. සමහරවිට ඒ අය බන්දේසියෙ තියලා දෙනකම් බලාගෙන ඇති.

ප්‍රියන්ත කොඩිප්පිලි