දෙසැම්බර් තිස් එක් වැනිදා මධ්‍යම රාත්‍රියේ ඇසුණු පිපුරුම් හඬින් නින්දෙන් අවදි වීමි. ජනවාරි පළමුවැනිදා උදාව කිසිදා නොවූ විරූ පරිදි අපගේ ගම්වල වෙසෙන ජනතාව ද සැමරුම් නිමිත්තක් කර ගෙන ඇත. එකිනෙකාට සුබ පතාගැනීම ද ඉන් අනතුරුව ගජරාමෙට සිදු විය. ප්‍රීති උත්සව පැවැත්වීම හෝ සුබ පැතීම කවදා කා හට කළ ද එහි වරදක් නැත. එහෙත්, ජනවාරි පළමුවැනිදා නිමිතිකරගෙන රඟ දැක්වෙන නාටකය පසුපස ඇති අන්ධානුකරණය හා ඉන් පිළිබිඹු වෙන ජාතික දේහයට වැළඳී ඔඩුදුවමින් ඇති විජාතික වෛරසය පිළිබඳව නම් පොදු ජනතා සන්තානය තුළ අපේකම රැඳීතිබීමේ වැදගත්කම තේරුම්ගෙන ඇති කිසිවකුට සතුටු විය නොහැකි ය.

මා කුඩා කල අප ගම් පියසේ ජනේරුව යැයි හැඳින්වුණු ජනවාරි පළමුවැනිදාට කිසිදු වෙඩි හඬක් ඇසුණේ නැත. රතිඤ්ඤා හඬ ඇසුණේ බක්මහේ දී එළැඹුණු සැබෑ වූ අපේ අලු‍ත් අවුරුද්දේ දී ය. එකල රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැතත් නව වසර උදාවට, ළිප ගිනි මෙළවීමට, ආහාර අනුභවයට මෙන්ම හිස තෙල් ගෑමට ද අදාළ නැකැත්වලට පන්සලේ ඝන්ඨා නාදයට අනුව යමින් රතිඤ්ඤා පත්තු කෙළෙමු. කුඩා අපි අවුරුදු ක්‍රීඩාවල යෙදුණෙමු. පන්සල් ගොස් නායක හාමුදුරුවන්ට බුලත් දී වැඳ ආශීර්වාද ලබා ගතිමු. අලු‍ත් ඇඳුම් ඇන්දෙමු. නෑදෑ ගෙවල්වල ගියෙමු. තරහ-මරහ දුරු කර ගතිමු. එකිනෙකාට සුබ පතා ගතිමු. අද ප්‍රීති උත්සව පැවැත්වෙන්නේ බක්මහට නොවේ. ජනේරුවට ය. ඒ ද සංස්කෘතික උත්සව නොවේ - සංකර බාල් නැටුම් ය. රූපවාහිනී තිරයේ වෑහෙන්නේ ද අඩ-නිරුවත් රැඟු‍ම් ය - යටිගිරියෙන් බෙරිහන් දෙන ළතෝනි සංදර්ශන ය.  වසර කීපයක් පුරාවට වසරින් වසර උද්දීපනය වෙන මෙම වෙනස සැලකිල්ලෙන් නිරීක්ෂණය කරන්නකුට මේ රතිඤ්ඤා හ‍ඬ සංක්‍රාන්තිය සහ ඒ පසුපස කියැවෙන සංස්කෘතික සෝදාපාළුවේ මෙන්ම වාණිජකරණ රැල්ලට හසුවීමේ ප්‍රවණතාව මනාව තේරුම් යා යුතු ය.

යම් සිරිතක් අපේ නොවුණ ද එය හොඳ නම් හා ඉන් හානියක් නැතිනම් එවන් සිරිතක් අනුගමනය කිරීමේ වරද කුමක්දැයි යමකු ප්‍රශ්න කළ හැකි ය. එහෙත්, අපේ අලු‍ත් අවුරුද්ද සැමරීම ක්‍රමයෙන් අභාවයට තල්ලු‍කරමින් ව්‍යාජ, අතාර්කික හා සංස්කෘතික වශයෙන් විජාතික සිරිතකට අපේ අනාගත පරපුරේ ජන සන්තානය නැඹුරු වීම එවන් සරල විග්‍රහයකට ලඝු කිරීම සුදුසු නො වන බව මගේ වැටහීමයි.  එබැවින් මෙහි දිග - පළල හා ගැඹුර මඳක් විමසා බැලීම සුදුසු බව යෝජනා කරමි.

ජනවාරි පළමුවැනි දා නව වසරක උදාව ලෙස සැලකීම ව්‍යාජ වන්නේ මන්ද? පළමුකොටම, අලු‍ත් අවුරුද්දක් යනු හුදෙක් යම් දින දර්ශනයක කොළ මාරුවීමක් පමණක් නම් එය කිසිදු අර්ථයක් නැති ප්‍රලාපයක් පමණක් වෙයි. මේ තරම් වටිනාකමක් දෙමින් සමරන්නේ එවැනි තේරුමක් නැති දිනයක් නම් එය බරපතළ මෝඩකමකි. සමරන්නන්ගේ බුද්ධියට තමන් විසින්ම කරගන්නා සමච්චලයකි. බක්මහේ අපේ අලු‍ත් අවුරුද්දට නම් සැබෑ තේරුමක් ඇත. අපේ කලාපයේ වසන්තය එළැඹෙන්නේ බක්මහේ දීය. ගස්වල මල් පිපී ඵලවලින් හා පැණියෙන් බරවෙන්නේ බක්මහේ අවුරුද්දට විනා ජනවාරි පළමුවැනිදාට නොවේ. අප කෙතරම් රතිඤ්ඤා පත්තු කළ ද ජනවාරි පළමුවැනිදාට කොහා ලවා ගී ගයවා ගත නොහැකිය. ඒ අප නොදන්නවාට පරිසරයේ අලු‍ත් වන කාලවකවානුව ඌ හොඳින් දන්නා බැවිනි.

අලු‍ත් අවුරුදු කාලය යනු එළිමහනේ ගමන් යමින් අවුරුදු උත්සව පවත්වමින් හා ක්‍රීඩා කරමින් විනෝද විය යුතු වකවානුවකි. මෝසම් වැසි තුරල් වී තිබීම ඊට අවශ්‍යම සාධකයකි. අවම වශයෙන් රජරට- නැගෙනහිර - උතුර ප්‍රදේශවලටවත් තද ගංවතුර ගලන ඊසාන දිග මෝසම් කාලය මැද එළිමහනේ සැමරිය හැකි අවුරුද්ද කුමක් ද?  අවුරුදු උත්සව පැවැත්වීම උදෙසා ගැමියා ගේ අටුකොටු පිරී අතමිට සරු වී තිබිය යුතු ය. එසේ වන්නේ බක්මහටය. දෙසැම්බර් අග වනවිට ගැමියාගේ අතෙහි පිච්චියක් නැත. එසේ වන කල කුමන අලු‍ත් අවුරුදු උත්සවද?

හැරත්, ජනවාරියේ අලු‍ත් අවුරුද්දක් ගැනීම දක්ෂිණාර්ධගෝලයේ පිහිටි ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා ආර්ජෙන්ටිනාව වැනි දෙසැම්බර්-ජනවාරි වකවානුව ශිත ඍතුවෙන් බැහැරව තිබෙන රටවලට විනා ආසියාකරය ඇතුළු උත්තරාර්ධගෝලයේ කිසිදු රටකට නොගැළපෙයි. විශේෂයෙන්ම ජනවාරි අලු‍ත් අවුරුදු සැමරීමට පාදක වන කැලැන්ඩරය අපට දායාද කළ යුරෝපයට හෝ උතුරු අමෙරිකාවට, රුසියාවට, ජපානයට හෝ චීනයටද නොගැළපෙයි. සිරුරේ රුධිරය කැටි ගැහෙන දෙසැම්බර්-ජනවාරි වැනි සීතල කාලයක් තුළ නිවෙස් තුළට ගුලි වී ඒ රටවල සැමරිය හැකි අලු‍ත් අවුරුද්ද කුමක් ද? චීනයේ අලු‍ත් අවුරුදු සැමරීම පෙබරවාරි - මාර්තු අතර දිනයකට යෙදීමත්, තායිලන්තයේ අප්‍රේල් මාසයේ යෙදෙන සොංක්‍රාන් අවුරුදු සැමරීමත් මීට නිදසුන් සපයයි. 

අප අලු‍ත් අවුරුද්ද සමරන්නේ මේ තරම් සමාජ-ආර්ථික-පාරිසරික කරුණු සලකා නොව හුදෙක් අප සුලබව භාවිත කරන ක්‍රිස්තුවර්ෂ පාදක කරගත් බටහිර කැලැන්ඩරයේ නව වසරක් සනිටුහන් කෙරෙන දිනයට බව කෙනෙකු විසින් අදහස් ඉදිරිපත් කරනු ලැබීය හැකි ය. ඒ අදහස පිළිගනිමින් සලකා බැලු‍ව ද ජනවාරි පළමුවැනි දා ඒ කැලැන්ඩරයේ පළමුවන දිනය ලෙස තෝරා ගෙන ඇත්තේ කවර පදනමකින් ද යන්න විමසා බැලීමට සිදුවෙයි. කාලයෙහි සන්තතික හා චක්‍රීය ගලා යාමක් හැර යම් තැනක නතර වී යළි ඇරඹුමක් දැකිය නොහැකි ය. එබැවින්, මෙම නිති කැරකෙන චක්‍රයේ ආරම්භක දිනය ලෙස ජනවාරි පළමුවැනිදා යොදා ගැනීමේ ඇති තාර්කිකත්වය කුමක් ද? වසරේ මුල් මාසය ලෙස ජනවාරි යොදා නොගෙන වෙනත් මාසයක් යොදා ගත්තේ නම් ඒ මාසයේ ආරම්භක දිනය අප විසින් අවුරුදු ඇරඹුම ලෙස සැලකෙනු ඇති ද? සාමාන්‍ය පෙළ විද්‍යා විෂයයන් හදාරන සිසුවකුගෙන් හෝ ග්‍රීක යෙදුම් පිළිබඳ යම් අවබෝධයක් ඇත්තකුගෙන් විමසුවහොත් සෙප්ටා යනු හත බව ද, ඔක්ටා යනු අට බව ද, නොවා යනුවෙන් යෙදෙනුයේ නවයට බව ද, ඩෙකා යනු දහය නිරූපණය කෙරෙන යෙදුමක් බව ද අසා දැන ගත හැකි ය. එසේ නම් සැප්තැම්බර් - ඔක්තෝබර් - නොවැම්බර් - දෙසැම්බර් පිළිවෙළින් සත්වැනි-අටවැනි-නවවැනි හා දහවැනි මාස විය යුතු නොවේ ද?  බටහිරයන්ගේ කැලැන්ඩරය අනුවම සලකා බැලූව ද මෙයින් පෙනී යන්නේ දෙසැම්බර් අග යනු දහවැනි මාසයේ අග විනා දොළොස්වැනි මාසයේ අග නොවන බව නොවේ ද?  ඒ අනුව බලන කල සුද්දාගේ දින දර්ශනයට අනුව වුවද ජනවාරි පළමුවැනි දා නව වසරක උදාව ලෙස සැලකීම අතාර්කික බව ද, දොළොස්වැනි මාසය පෙබරවාරි විය යුතු බව ද, ඒ අනුව නව වසර ඇරඹුම මාර්තු පළමුවැනිදා විය යුතු බව ද පැහැදිලි විය යුතුය. කාගේ හෝ වුවමනාවට කෘත්‍රිම ලෙස කාල චක්‍රය දෙසැම්බර් අගින් අතාර්කිකව කපා නිර්මාණය කර ඇති ජනවාරි පළමුවැනිදා නව වසර උදාව ලෙස අන්ධානුකරණයෙන් සැලකීම අපගේ බුද්ධියට අප විසින්ම කරගන්නා සමච්චලයක් නොවන්නේ ද?

බක්මහේ අපේ අලු‍ත් අවුරුද්ද සැබෑ ලෙසම අපේය. අපට මතක අතීතයේ පවා ඒ උත්සවයේ තිබුණේ සැබෑම වූ අපේකමකි. බුලත් අතේ පටන් ඥාති නිවසකට රැගෙන යන තෑග්ග තෙක් සහ කිරිබත් පිසීම සඳහා මිල දී ගත් මැටි මුටිටියේ පටන් අවුරුද්දට පිපිරවූ මල් වෙඩිල්ල තෙක් අප එම උත්සව අවස්ථාවට උපයෝගී කර ගත් සියලු‍ දෑ ද අප රටේම නිපැයුම්ය.  අප ඒ උදෙසා වියදම් කළ සියල්ල දේශීය නිෂ්පාදනවලට ආදායම් ලෙස එකතු විය. අද වනවිට මේ ව්‍යාජ ජනේරු අවුරුද්දට පමණක් නොව අපේ බක්මහේ අවුරුද්දට පවා කෙරෙන වියදම් බොහොමයක් ඇදී යන්නේ පිටරටවලටය. අඳින පළඳින බොහෝ දෑ ද පිටරටින් ආනයනය කළ ඒවාය. තෑගි බෝග ද පිටරට නිපැයුම්ය. කෙරෙන දුරකතන සුබපැතුම්වලින් පෝෂණය ලබන්නේ ද පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් විදේශ සමාගම්ය. එසේ වී ඇත්තේ අපේ විදුලි සංදේශ ක්ෂේත්‍රය නව ලිබරල් රළ පහරට අසු වී සැලකිය යුතු තරමකට විදේශකරණය වී ඇති නිසා ය. වඩවඩාත් උත්සව පැවැත්වීමට මහජනයා පොළඹවන්නේ වාණිජ සමාගම්ය. මහජනයා උත්සව පවත්වන තරමට තරවන්නේ ඒවාය. එක අවුරුදු උත්සවයක් වෙනුවට දැන් දෙකක් සඳහා අප රතිඤ්ඤා පුපුරුවන්නේ ඒ සමාගම් හා ඒවායේ හවුල්කාර විද්‍යුත් ජනසන්නිවේදන වාණිජ ප්‍රචාර ඔස්සේ ය. නවසීලන්තයේ හෝ ඔස්​ෙ‌ට්‍ර්ලියාවේ ජනවාරි පළමුවෙනිදා උදාවට ප්‍රීති උත්සව හා ගිනිකෙළි සංදර්ශන  පවත්වන අයුරු රස කරමින් වාර්තා කර අපේ ජනතාව තුළ ද එවැනි දේට රුචිකත්වයක් ජනනය කරන්නෝ ඔවුහුය. ගෝලීයකරණ න්‍යායපත්‍රයට අනුව මේ සියල්ල සිදුකෙරෙන බව පෙනී යන්නේ බටහිර - වාණිජකරණ - ලිබරල්වාදී චින්තනයට අප වැනි රටවල අනාගත පරපුර වේගයෙන් ග්‍රහණය වෙමින් පවතින බව මේ ප්‍රවණතා තුළින් පැහැදිලි වෙන බැවිනි.

බක්මහේ අපේ සැබෑ අලු‍ත් අවුරුද්ද අවතක්සේරු කරමින් සුද්දාගේ ව්‍යාජ නව වසරකට අපව විතැන් කිරීම අහඹුවක් හෝ හුදකලා සිදුවීමක් නොවන බව මේ අනුව පැහැදිලි වෙයි. මෙය දේශීය ජන විඥානයේ තැන්පත්ව ඇති ජාතිකත්වයේ මුල් උදුරා දැමීමේ පුළුල් ප්‍රයත්නයක එක් පැතිකඩකි. අපේ දේ අවතක්සේරු කරමින් බටහිර පන්නය වැළඳගැනීමට රටේ අනාගත පරපුර යොමු කිරීම උදෙසා කාලයක් තිස්සේ දියත් කෙරෙමින් පැවැති ක්‍රියාන්විත ක්‍රමයෙන් මල්ඵල ගැන්වෙන බවට සාධකයකි. අපේ නාගරික සංකරයන්ගේ පමණක් නොව සිංහල ගැමියාගේ සන්තානයෙන් පවා දේශීයත්වය අතුරුදහන් වන දිනය වැඩි ඈතක නොවන බවට පෙර නිමිත්තකි. 


ජනවාරි පළමුවැනිදා අලු‍යම අපට ඇසුණේ සුබවාදී සැමරුමක නින්නාදය නොව ජාතික දේහයේ අක්මුල් පුපුරන හඬ බව වහ වහා වටහා ගැනීමට අප අසමත් වෙතොත් මීළඟ දශකය වනවිට අපේ අලු‍ත් අවුරුද්දට පමණක් නොව සමස්ත දේශීය සංස්කෘතික අධ්‍යාත්මයටම කොහා වෙනුවට කණකොකා හැඬීම වැළැක්විය නොහැකි වනු ඇත.