බදාදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව රහසිගතව, අවුල්සහගතව සහ අර්බුද හමුවේ එය පටන්ගත් ආකාරයෙන්ම අවසන් විය. එහි මූලෝපායික වැදගත්කම රහසක් ලෙස තබාගෙන සිටි සංවිධායකයන් අතළොස්සක් හැරෙන්නට පැමිණ විරෝධතාවට සහභාගීව සිටියෝ බොහෝමයක් කුමකින් කුමක් සිදුවේදැයි නොදැන සිටියෝ ය. කොටින්ම විරෝධතාව පැවැත්වෙන ස්ථානය පවා ඔවුහු දැන නොසිටියහ. විරෝධය විනෝදයක් බවට පත්කරගත් ඇතැමෙක් මත්පැන් පානයෙන් පදම්ව බිම වැද හොත්තෝ ය. මෙවන් විරෝධතාවක දී සාමාන්‍යයෙන් සිදුවන ආහාර පැකට් සහ ජල බෝතල බෙදාහැරීම මෙහි දී සිදුනොවිණ. පාන් හා සීනි සම්බෝල බෙදාහැරුණු මුත් එය ප්‍රමාණවත් නොවීය. දැඩි හිරු රැස් හමුවේ බොහෝ දෙනෙක් ක්ලාන්ත වූ අතර, කැරැලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීනියක වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද ඔවුන් අතර වූවාය.

කඩිනමින් මැතිවරණ පවත්වන ලෙසත්, විශේෂ අධිකරණ ස්ථාපිත කිරීම හරහා සිදුවන දේශපාලන පළිගැනීම් වහාම නවත්වන ලෙසත්, රජයට බලකර සිටීම මෙම විරෝධතාවයේ මුලින් පැවැසුණු අරමුණ වන්නට ඇති වුව ද විරෝධතාවයේ ඒ සඳහා තැනක් නොතිබිණ. විරෝධතාකරුවෝ වෙනත් සටන්පාඨ හඬගෑහ. ඇතැම් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම තමන්ගේම න්‍යාය පත්‍ර තිබූ බැවින් එහි පුදුමයක් නැත. හිටපු ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ සැප්තැම්බර් මස 6 වැනිදා වනවිට නව රජයක් පිහිටැවෙනු ඇති බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ කැරලිකාර සාමාජික හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ද කියා සිටියේ එයමය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර සමගි සන්ධානයක් ඇතිකරනු වස් ඔහු වෙහෙස වෙමින් සිටිනු මේ දිනවල දැකගත හැකිය.

විරෝධතාවයේ දැඩි ආධාරකරුවකු වන දිසානායක බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවක් අමතමින්, ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට ජනපති සිරිසේනගේ ආශිර්වාදය හිමිව තිබූ බව පැවැසුවේ ය. විරෝධතාකරුවන්ට කිසිදු අපහසුවක් හෝ අවහිරයක් සිදුනොවන පරිදි කටයුතු කරන ලෙස ජනපති සිරිසේන ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබුණු බව දිසානායක කීවේ ය. අඟහරුවාදා රැයේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇමතූ ජනපතිවරයා, ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන්ට කිසිදු අයුරකින් බාධා නොකළ බව සැකහැර දැනගැනීමට කටයුතු කළේ ය. සාමකාමී විරෝධතාවක යෙදී නගරයෙන් බැහැරව යාමට ඔවුනට අවස්ථාව තිබිය යුතු බව ජනපතිවරයාගේ මතය විය. විරෝධතා පැවැති ස්ථානවල පවා විශේෂයෙන් යෙදවුණු පොලිස් බළකායක් දැකගැනීමට නොසිටි අතර, ඔවුන් සිටියේ යම් යම් ස්ථානවල සැඟව, හදිසි අවස්ථාවක දී ක්‍රියාත්මක වීමට සූදානමිනි.

මෙම තීරණය ගැනුණේ අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමෙන් පැය කිහිපයකට පසුවය. එහි දී තරමක් අමුතු ඉල්ලීමක් සිදුකළ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, විරෝධතාකරුවන් මහජන දේපළවලට අලාභහානි කරමින් හැසිරෙන්නේ නම් ඔවුන්ගේ දණහිස්වලට පහළින් රබර් උණ්ඩවලින් වෙඩි තැබීමට පොලිසියට අවසරය ලබාදිය යුතුව තිබෙන බව කියා සිටියේ ය. මෙම තීරණ මීට පෙර වාර්තා කැරුණු ආකාරයට ද විරෝධතාකරුවන් මහජන දේපළවලට අලාභහානි කිරීම කැබිනට් මණ්ඩලයේ නිරන්තර අවධානයට ලක් වූ කාරණයකි. එවන් අවධානයක් යොමුවීමට තුඩුදුන්නේ සාවද්‍ය බුද්ධි තොරතුරු ද? නීතියට අනුකූලව කැරෙන විරෝධතාවකට එරෙහිව බලය භාවිතා කළ යුතුයැයි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු බල කර කියා සිටීම ඔහුගේ කැබිනට් මණ්ඩල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සගයින් තැතිගැන්මට පත්කළ අවස්ථාවක් විය.

ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිවේ යැයි බියෙන් බටහිර තානාපති කාර්යාල කිහිපයක දොරටු වේලාසනින්ම වැසිණ. කල් ඇතිව නිවෙස්වලට යන ලෙස සේවකයන්ගෙන් ඉල්ලා සිටීමට ඇතැම් පෞද්ගලික සමාගම් පියවර ගෙන තිබිණ. සතියේ දිනක ඇඟිල්ලක් නොගැසිය හැකි තරමට තදබද වන කොළඹ, එදින වැඩි රථවාහන තදබදයක් පවා දක්නට නොතිබිණ.

රජයේ නිල පුවත්පත් ආයතනය වන ලේක්හවුස් ඉදිරිපිට රැස්වන ලෙස කළ දැනුම්දීම හමුවේ බොහෝමයක් විරෝධතාකරුවෝ වියවුලට පත්වූහ. රජයේ හඬ හා මතය ප්‍රකාශයට පත්කරන ලේක්හවුසිය, ඒ හැරෙන්නට බලයේ මධ්‍යස්ථානයක් නොවීම එයට හේතුව විය. විරෝධතාව එතැන පැවැත්වීමට යෙදුණේ, ජනපති මන්දිරය වටා යොදවා සිටි තරමේ හෝ අගමැති නිල නිවෙස වන අරලියගහ මන්දිරය වටා යොදවා සිටි තරමේ හෝ ආරක්ෂක පිරිවරක් එතැන නොසිටි නිසා ද? විරෝධතාව පැවැත්වීම සඳහා එය සංකේතාත්මක තෝරාගැනීමක් විනි නම්, ජාතික රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට ලැබී තිබෙන්නේ වෙනම සැලකිල්ලකි. කුමන හෝ හේතුවක් වේවා, විරෝධතාවයේ අරමුණ වූ රාජ්‍ය විරෝධය ප්‍රකාශ කිරීමට බලයට කිසිදු සම්බන්ධයක් නොමැති ලේක්හවුසිය තෝරාගැනීම ඉතාම දුර්වල තීරණයක් බව සඳහන් කළ යුතුය. මෙම වියවුල හමුවේ ඇතැම් විරෝධතාකරුවෝ නැවත පිටකොටුව බලා ඇවිද ගියේ එහි රොද බැඳ සිටි ජනතාව හා එක්වීමටය.

එම අවස්ථාව වනවිට වහල විවෘත රියක නැගී සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, පිටකොටුවේ සිට විරෝධාකරුවන් රැස්ව සිටි ලේක්හවුස් ඉදිරිපිට දක්වා ගමන් කිරීම ආරම්භ කර තිබිණ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඔහු හා එක්විය. ඔහු දුටුවනම නැගී සිටි ජනතාව, එකාවන්ව අත්මිට මොළවමින් ජයවේවා, ජයවේවායි හඬ නැගූහ. කෙසේවුව ද බරපතළ වරදක් සිදුව තිබිණ. ගෝඨාභය රාජපක්ෂගේ ට්විටර් ගිණුම මෙහෙයවන්නෝ, රට වෙනුවෙන් ජන ගඟක්, ජන බලයක් යැයි සඳහන් කර ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණ.

විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් හා කුඩා ප්‍රමාණයේ ඡායාරූප දෙකක් එම පණිවුඩයට එකතු කර තිබිණ. එම පණිවුඩය තම ට්විටර් ගිණුම ඔස්සේ නැවත බෙදාහැරීමට (රී ට්වීට්) විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබුණේ ය. යන්තම් පැයකට පසු නැවත වතාවක් තම ට්විටර් ගිණුමට පණිවුඩයක් එක්කර තිබූ හරීන් එහි සඳහන් කර තිබුණේ, තමා නැවත බෙදාහැර තිබූ ගෝඨාභයගේ ට්විටර් පණිවුඩය, ඔහු දැන් ඉවත් කරගෙන තිබෙන බැවින්, තමා ද ඉවත් කරන බවය. ගෝඨාභය තම ට්විටර් පණිවුඩය ඉවත් කරගෙන තිබුණේ දෙරණ අධ්‍යක්ෂ දිලිත් ජයවීර කළ ඉල්ලීමකට අනුවය. එම පණිවුඩයේ විශාල රූපය, 2015 වසරේ ජනවාරි මස 18 වැනිදා නුගේගොඩ පැවැති මහින්ද සමඟ නැගිටිමු ජන හමුවේ දී ගත් ඩ්‍රෝන ඡායාරූපයක් වීම, එයට හේතුව විය. මෙම හමුවට හිටපු ජනපතිවරයා සහභාගී නොවූ අතර, ඔහු වෙනුවෙන් ඔහුගේ පණිවුඩයට කියැවූයේ පසුගිය සතියේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩභාරගත් දයාන් ජයතිලක මහතාය. බෙදා ගනු ලැබුණු නොමග යවනසුළු පණිවුඩය, වරද හඳුනා ගැනීමෙන් පසුව ඉවත් කරගැනීමට ගෝඨාභය කටයුතු කර තිබෙන බැවින්, ප්‍රතිපත්ති මත පිහිටා මම මගේ පණිවුඩය ද ඉවත් කරගැනීමට කටයුතු කරමි, යැයි හරීන් ප්‍රනාන්දු ඔහුගේ ට්විටර් ගිණුමට දෙවැනි වතාවට එකතු කර තිබූ පණිවුඩයේ දැක්විණ.

සිකුරාදා පාර්ලිමේන්තුවේ දී පවා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදහස් හුවමාරු කරගනිමින් සිටියේ විරෝධතාවයේ දී සිදුවුණු වරද කුමක්දැයි වටහා ගැනීමටය. ජනතාව රැස්ව සිටි ස්ථානවලට පැමිණි මහින්ද රාජපක්ෂ අනතුරුව එම ස්ථානවලින් පිටත්ව යෑම, රැස්වීම අවසන්වීමක් ලෙස වරදවා හඳුනා ගැනීම නිසා ඇතැම් විරෝධතාකරුවන් පිටව ගිය බව එක් සාමාජිකයෙක් පැවැසුවේ ය. තවත් අයෙක් කීවේ මහින්ද රාජපක්ෂ කැටුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් බහුතරයක් ගමන් නොකළ බවත්, කතාවක් පැවැත්වීමට හිටපු ජනපතිවරයාට අවස්ථාවක් නොලැබුණු බවත්ය. පසුදිනය දක්වාම පැවැත්වෙන සත්‍යග්‍රහයක් සංවිධානය කර තිබූ බව තෙවැන්නෙක් පෙන්වා දුන්නේ ය. එය එසේ පැවැත්වෙන බව දැනුම් දුන්නේ විරෝධතාකරුවන් රැස්වූ පසුව කියා සිටි ඔහු, ඒ නිසාම අන්දමන්ද වූ ඔවුන්ගෙන් බහුතරය නැවත පිටත්ව යාමට පටන්ගත් බව පැවැසුවේ ය. සංවිධායක කටයුතු දුර්වල මට්ටමක පැවැති බැවින් විරෝධතාවයේ සැබෑ අරමුණ ඉෂ්ට කරගැනීමට හැකියාවක් නොලැබුණු බව සියලුදෙනාගේ අවසන් මතය විය.

අඟහරුවාදා පැවැත්වුණු ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන බව්තිස්මය සනිටුහන් කළ බව හැරෙන්නට එයින් ගත හැකි වෙනත් දෙයක් නොමැත. විරෝධතාවක් සඳහා ජනතාව එක්රැස් කරගැනීමේ තම පළමු දේශපාලන මෙහෙයුම ඔහු එසේ දියත් කළේ ය. මෙම තරුණ දේශපාලනඥයා තවමත් ක්ෂේත්‍රයට අතිආධුනිකයකු වන අතර, ඔහු වැඩිමනත් තම මතය ප්‍රකාශ කිරීම සඳහා රැඳෙන්නේ ට්විටර් වෙබ් අඩවිය මත බව පෙනෙන්නට ඇත. ටැන්සානියාවේ කිලමන්ජාරෝ කඳු මුදුනේ සිට, අධික උණුසුමින් දැවෙන ශ්‍රී ලංකාවේ වීදි දක්වා ඔහු ට්විටර් පණිවුඩ ගෙන ඒ. මේ නිසාම බිම් මට්ටමේ සහාය ලබාගැනීමෙහි සහ සංවිධානය වීමෙහිලා ඔහු අන්තිම අදක්ෂයකු බව මෙම විරෝධතාවයේ දී මොනවට පැහැදිලි විය. පියාගේ දේශපාලන කියැවීම සහ අත්දැකීම් ද ඔහුගේ දේශපාලනික හඳුනා ගැනීම ද නාමල්ට නොතිබිණ. මේ නිසාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික්ක මට්ටමේ නායකයන්ගේ දැඩි විරෝධය නාමල් කෙරේ විය. අපි කියන දෙයකට ඔහු ඇහුම්කන් දෙන්නේ නැහැ, ඔවුහු චෝදනා කළහ. මෙවන් සිදුවීම්වලින් පිදුරු සැපයෙන්නේ රාජපක්ෂ පවුල තමන් යටපත් කරගැනීමට කැස කවමින් සිටින්නේ යැයි විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර දැල්වී තිබෙන ගින්නටය.

ඇමෙරිකාව බලා පිටත්වීමට ප්‍රථමයෙන් නාමල්ගේ බාප්පා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, විරෝධතාව පැවැත්වීම සම්බන්ධයෙන් බත්තරමුල්ල නෙලුම් පොකුණ මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේ පැවැති රැස්වීම් ගණනාවක මුලසුන හෙබවූයේ ය. මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් පැවැත්වෙන විරෝධතාවකට එරෙහිව දැඩිව පෙනී සිටි ඔහුගේ යෝජනාව වූයේ මැතිවරණ කොට්ඨාස නියෝජනය කරන පක්ෂයේ සාමාජිකයන් සියලුදෙනාම, අයෙක් එක් බස් රථයක් බැගින් සෙනග ගෙන ආ යුතුව තිබෙන බවය. පසුගිය වසරේ මැයි මාසයේ දී කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැලියට අතිවිශාල ජනකායක් සහභාගී කරවාගැනීම පිළිබඳ ගෞරවය හිමිවන්නේ බැසිල් රාජපක්ෂටය. විරෝධතාව සඳහා ආසන 60 බැගින් වූ බස් රථ 2758ක් පිටත්ව තිබෙන අතර, ඒවායින් ඇතැමක සෙනග පිරී සිටිනු ද තවත් කොටසක සෙනග ඉතාම අඩු මට්ටමින් සිටිනු ද විරෝධතාවයේ දී දැකගත හැකිවිය. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් දෙදෙනෙක් අන්තිම මොහොතේ දී සැලසුම් වෙනස් කළේ යැයි චෝදනාවක් ද නැගී තිබේ. එයින් එක් අයකු, විරෝධතාව පැවැත්වෙන දිනයේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලය අසල පැවැති අවමංගල්‍ය අවස්ථාවකට සහභාගීව සිටි බව ද එතැනට පැමිණීමට සිටි ජනපති සිරිසේන පිළිගැනීමට ඔහු බලා සිටි බව ද චෝදනා නැගෙමින් තිබේ. මෙම දේශපාලන නායකයා විරෝධතාව හා සම්බන්ධව තිබෙන බව පැවැසෙන්නේ එම කටයුතු අවසන් වූ පසුවය.
ඒකාබද්ධ විපක්ෂයේ මුල් පෙළ නායකයකු වන විමල් වීරවංශ මහතා ද විරෝධතාව අසාර්ථක බවට වූ තම හැඟීම් නොසැඟවූයේ ය. ඔහුට අයත් බව සැලකෙන වෙබ් අඩවියක (ලන්කා සී නිව්ස්) විරෝධතාව අසාර්ථක බව දැක්වුණු රූපවාහිනී වැඩසටහනක් උපුටා දක්වා තිබිණ. තවත් වාර්තාවක උපුටා දක්වා තිබුණේ හාස්‍යරූපී අයුරින් මහින්ද රාජපක්ෂ සැප්තැම්බර් මස 5 වැනිදායින් පසු රටේ අගමැති පුටුව අරා සිටිනු සඳහන් කර අකිල විරාජ් කාරියවසම් මහතාගේ ෆේස්බුක් පිටුවේ පළව තිබූ පණිවුඩයකි. සී නිව්ස් වෙබ් අඩවියේ පළව තිබූ පුවත්වලින් අඟවා තිබුණේ විරෝධතාවයේ සංවිධානය ඉතාම දුර්වල මට්ටමක පැවැති බවය.

එහෙත් විරෝධතාවට සැලකිය යුතු ජන සභාගීත්වයක් පැවැති බව පිළිගත යුතුය. එක් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ඇස්තමේන්තු කළ ආකාරයට එම ප්‍රමාණය 75,000ක් පමණය. රාජ්‍ය බුද්ධි අංශයේ වාර්තාවල එම අගය 65,000ක් පමණ විනි යැයි සඳහන් විය. විශේෂ ඒකකයේ වාර්තාවල එම අගය ඊට වඩා මඳක් අඩු අගයක් ගත්තේ ය. මෙම බුද්ධි අංශ ද්විත්වයම තම ඇස්තමේන්තු සකස් කිරීම සඳහා තොරතුරු ලබාගෙන තිබුණේ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක බුද්ධි බියුරෝවලිනි.

ඒකාබද්ධ විපක්ෂයේ බදාදා විරෝධතාව අසාර්ථක මට්ටමක පැවැතීම හමුවේ මතුව තිබෙන බරපතළ අනිටු ප්‍රතිඵල ගණනාවකි. බාධා මධ්‍යයේ වුව ද සැලකිය යුතු ජනතාවක් විරෝධතාවට සහභාගී කරවා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සමර්ථ වුවත්, ඇඟට දැනෙන බලපෑමක් ඇතිකිරීමට තිබූ අරමුණ සාක්ෂාත් කරගැනීමෙහි ලා ඔවුහු අසමර්ථ වූහ. එය ඇත්ත වශයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පසුබැසීමකි. අසංවිධානාත්මක බව එයට ප්‍රධානම හේතුව විය. කෙසේ වුව ද ඒකාබද්ධ විපක්ෂයේ ඡන්ද පදනම තවමත් නොසැළී පවතී. පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන ආයතන මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව මේ දක්වාම ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින්නේ බහුතරයේ කැමැත්ත තමන් කෙරේ බවට වන දැඩි විශ්වාසය පෙරදැරිවය. ඔවුන් අතරේම වන ගැටලු නිසාවෙන් එම බහුතරය යම් කොටසක් ඔවුන් අතරින් ගිලිහී තිබෙන බව පෙනෙන්නට ඇත. පළාත් පාලන ආයතන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂයේ දැකගත හැකිවූ ඇතැම් ගැටුම් මේ නිසාම තව තවත් වර්ධනය වීමට ඉඩ තිබේ.

විරෝධතාවයේ අසාර්ථකත්වය වත්මන් සභාග රජයට ස්වර්ගයෙන් වැටුණු මන්නා මෙන් යැයි කිසිසේත්ම සම කළ නොහැකිය. විරෝධතාවට පොලිසියෙන් කිසිදු බලපෑමක් සිදුනොවිය යුතු බව ජනපති සිරිසේනගේ මතය වුව ද එක්සත් ජාතික පක්ෂය සිටියේ කුමකින් කුමක් කරම්දෝයි තීරණයක් ගත නොහැකිවය. විශාල ජනතාවක් කොළඹට පැමිණීමත් ඔවුන්ගේ හිතසුව පිණිස නොවූ අතර එය පැවැති පළාත් පාලන ආයතන මැතිවරණයේ දී ජනතාව එක්සත් ජාතික පක්ෂය වෙත දල්වා තිබූ රතු එළිය තවත් බලවත් කරන්නක් ලෙස ඔවුහු සැලකූහ. කොටින්ම, විශේෂ චාරිකා සඳහා බලපත්‍ර ලබාගෙන තිබූ බස්රථවල එම බලපත්‍ර අවලංගු කරන බවට බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය නිකුත් කර තිබූ නියෝගය බල රහිත කරන ලෙසට ජනපති සිරිසේන බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාට උපදෙස් දුන්නේ ය. එතැනින් නොනැවතුණු ජනපතිවරයා, සැප්තැම්බර් මස 4 සහ 5 දෙදින පාර්ලිමේන්තු සැසිවාර නොපවත්වා සිටීමට තිබෙන හැකියාව ද සොයා බැලූ බව පසුගිය සතියේ මෙම තීරුවෙන් අනාවරණය කැරිණි. පසුගිය සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කතානායක කරු ජයසූරිය මහතා කියා සිටියේ තමා වෙත එවැනි කිසිදු උපදෙසක් ලැබී නොමැති බවය.

එවැනි උපදෙසක් ඍජුවම තමාට නොලැබුණු බවට කතානායකවරයා සිදුකරන ප්‍රකාශය පදනම් සහගතය. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා සන්ඬේ ටයිම්ස් හා මෙසේ අදහස් පළ කළේය.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමක දී, එම දින දෙකේ දී පාර්ලිමේන්තු සැසිවාර නොපවත්වන ලෙසට ජනපතිවරයා ඉල්ලීමක් කළ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල දැනුම්දුන්නා.
සන්ඬේ ටයිම්ස් හට දැනැගනීමට හැකි වූ ආකාරයට කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමේ වගකීම තමන් වෙත පැවැරී තිබෙන නිසා ජයසූරිය මෙම ඉල්ලීමට කැමැත්ත පළ කර නොමැත. එක්සත් ජාතික පක්ෂය ද එසේ පාර්ලිමේන්තු සැසිවාර කල්දැමීමකට කැමැත්ත දක්වා නොමැත.

තම තමන්ගේ මතය ප්‍රකාශ කිරීම දැන් ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ සුපුරුදු පිළිවෙතක් බවට පත්ව තිබෙන බැවින් විරෝධතාව පැවැත්වීමට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් කණ්ඩායමක්ම ඔවුන්ගේ උගත් හා දැනුම්වත් අදහස් ජනතාව හා බෙදා ගැනීමට කටයුතු කළහ. සාමාන්‍යයෙන් යථාර්ථය හඳුනාගෙන අදහස් දක්වන පුද්ගලයකු ලෙස සැලකෙන එක්තරා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු, එදින නොපැකිළිව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය මෙසේ සංවිධානය කර තිබෙන්නේ විරෝධතාවක් නොව ජනතාව අපහසුතාවට පත්කිරීමේ ව්‍යාපාරයක් බවය. රජය දියත් කර තිබෙන සංවර්ධන වැඩසටහන් කඩාකප්පල් කිරීමේ ව්‍යායාමයක් ලෙස තවත් අයෙක් එය හඳුන්වා දුන්නේ ය. විරෝධතාවට පසුදින, බ්‍රහස්පතින්දා, පැවැති මාධ්‍ය හමුවක දී ඔවුන් සියලුදෙනා සැනසීමෙන් සිටිනු දක්නට ලැබුණි. රජය පෙරළා දැමීමට තියා ඒ අසළටවත් පැමිණීමට ඒකාබද්ධ විපක්ෂයට නොහැකි වීම නිසැකවම ඔවුනට අස්වැසිල්ලක් වන්නට ඇත.

රජය පෙරළා දැමීමට විරෝධතාව යනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ තර්කයට පදනමක් නැත. එක් රැයකින් රජය පෙරළා දැමීමට ඒකාබද්ධ විපක්ෂයට සැබෑවටම බලයක් ඇත්නම් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බදාදා රාත්‍රිය වනතෙක්ම බලා සිටීමට ඔවුනට කිසිදු වුවමනාවක් තිබෙන්නට නොහැකිය. එවන් අදහස්වලට ජීවය දෙන්නන්ට, අගතියට පත්වන්නේ තමන්ගේම විශ්වසනීයත්වය බවට කිසිදු අවබෝධයක් නොමැති බව පෙනේ. එහෙත්, මේ සියල්ල මධ්‍යයේ වුව ද මෙම හාස්‍ය රංගනය පසුපස තිබෙන්නේ බරපතළව සැලකිල්ලට ගතයුතුව තිබෙන කරුණු කාරණාය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ යැයි සැලකිය හැකි විරෝධතා සහ අර්බුද හමුවේ නොසැළී සිටින නායකත්වයක් නොපැවැතීම ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව ඉදිරියේ මතුවන ප්‍රධානම කාරණයයි. සත්‍යයෙන් කොපමණ දුරස් වුව ද තම තමන්ට අවශ්‍ය ලෙස කරුණු දැක්වීමට විවිධ පුද්ගලයන්ට අවස්ථාව ලබා දී තිබීම හමුවේ ඉස්මතුවන්නේ දැඩි නායකත්වයක් නොතිබීමේ හිඩැසය. කුමන අර්බුදයක් හමුවේ වුව ද එක් හඬකින් අදහස් දැක්වෙන, ඒ හරහා විවිධ සුරංගනා කතාවලට සහ අනුමාන කිරීම්වලට තිබෙන ඉඩ අහුරා දැමෙන, නායකත්වයක් නොතිබීමේ හිඩැසය.
අඟහරුවාදා අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඇමතුවේ ය. විරෝධතාකරුවන් සාමකාමීව හැසිරෙන්නේ නම් කිසිදු ගැටලුවක් නොමැති බවට පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ එකඟතාවකට පැමිණීමට ඔහුට හැකිවිය. ජනපති සිරිසේන අනුගමනය කළ පිළිවෙතම ඔහු ද අනුගමනය කිරීමට සැරසෙන බව පෙනෙන්නට තිබිණ. පසු අවස්ථාවක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සාමාජිකයන් සහ ප්‍රාදේශීය සභා සාමාජිකයන් හමුවූ අවස්ථාවේ ද ඔහු දැක්වූයේ එම අදහස්මය. ඒ නිසාවෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෝ හෝ ආධාරකරුවෝ හෝ විරෝධතාකරුවන්ට කිසිදු බාධාවක් නොකළහ.

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය නිමිත්තෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සංවිධානය කර තිබූ රැස්වීමේ දී පැමිණ සිටියෝ ඇමතූ වික්‍රමසිංහ, සාර්ථකව විරෝධතාවක් හෝ සංවිධානය කරගත නොහැකි පිරිසක් කෙසේ නම් රජයක කටයුතු කරනු ඇතිදැයි විමසුවේ ය. විරෝධතාව පවත්වන්නේ රජය පෙරළා දැමීමට බවට ඒකාබද්ධ විපක්ෂය පළකර තිබූ අදහස් ගෙනහැර දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායකයා, එහි අසාර්ථකත්වය හමුවේ ඒකාබද්ධ විපක්ෂයට රට පුරා හිමිව තිබූ සුළු හෝ පක්ෂපාතීත්වය සම්පූර්ණයෙන්ම නැතිව ගොස් තිබෙන බව කීවේ ය. ඒකාබද්ධ විපක්ෂයට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීමට ගොස් රටේ මාධ්‍ය ද ඒවායේ විශ්වසනීයත්වය අහිමි කරගත් බව ඔහු පැවැසුවේ ය. මේ අතරම, අනාවැකි පළකිරීම සම්බන්ධයෙන් ඔහුට තිබෙන දිගු ලයිස්තුවට තවත් සඳහනක් එක් කළේය. එජාපයේ අනාගත නායකයන් තමා දැනටමත් හඳුනාගෙන පුහුණුකර තිබෙන බව ඔහු කීවේ ය. ඔවුන් කවුරුන්දැයි හඳුන්වාදීමක් වික්‍රමසිංහ සිදුනොකළේ ය. එනම් එයින් අදහස් වන්නේ ඉදිරියේ එන ජනපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වනු ඇත්තේ ද ඔහුම යන්නය.

ජනපති සිරිසේන අනපේක්ෂිත ප්‍රකාශයක් සිදුකළේ මෙම වාතාවරණය යටතේය. ඒ අවස්ථාවේ දී විපක්ෂයේ විරෝධය ද පැවැත්වෙමින් තිබිණ. මහජන දේපළ සහ මුදල් අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව ඔහු කීවේ ය. එය යථාර්ථයක් වුවහොත්, එවැනි නීතියක් බලාත්මක කළ පෘථිවි තලයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. ඇතැම් විට, ජනපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකළේ වංචා හා දූෂණ මර්දනය කිරීමේ දැඩි අවශ්‍යතාව පෙන්වා දීමේ අරමුණින් විය හැකිය. මින් පෙර අවස්ථාවක මේ හා සමානවම ප්‍රකාශයක් සිදුකළ ජනපතිවරයා, එහි දී කියා සිටියේ මත්කුඩු ජාවාරමේ යෙදුණේ යැයි සිරගත කර සිටිය ද එසේ සිටියදීම මත්කුඩු ජාවාරමේ නිරතවන පුද්ගලයන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවය. දැනටමත් පොලිස්පති පූජිත් ජයසුන්දර, කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා භාරයේ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මත්කුඩු වැටලීම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙතත්, තවත් කළ යුතුව තිබෙන දේ බොහෝය. පසුගියදා ජනපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයක ද මේ සම්බන්ධයෙන් සඳහනක් විය.

“නිදහසින් පසු ලංකාවේ වසර 70කට වැඩි කාල සීමාව තුළ වංචාවට, දූෂණයට සහ අක්‍රමිකතාවට එරෙහිව ගත නොහැකි වූ තීන්දු තීරණ රැසක් ගනිමින් වංචාවෙන් සහ දූෂණයෙන් තොර පිරිසිදු රාජ්‍ය පාලනයක් රට තුළ ගොඩනැගීමට යහපාලන රජය කැපවූ බව ජනාධිපතිතුමා පවසයි.”

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය බදාදා (05) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ශක්තිමත් කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම ඇතුළු පියවර රැසක් පසුගිය කාලය තුළ රජය ගත් බව සඳහන් කළ ජනාධිපතිතුමා විගණන කොමිෂන් සභාව පිහිටුවීමට ලැබීම එහිදී ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ද කියා සිටියේය.

එමෙන්ම වසර 40ක 50ක කාලයක් තිස්සේ කතා බහට පමණක් සීමා වූ විගණන සේවය ස්ථාපිත කිරීම ද කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

දූෂණයට, නාස්තියට සහ හොරකමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පවතින ප්‍රමාදයන් පිළිබඳව රටේ මහජනතාව තුළ පවතින කනස්සලු ස්වභාවය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ යහපාලන රජය තුළින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකරමින් එම වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට කඩිනමින් කටයුතු කළ යුතු බවයි.
රටේ සිදුවූ බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ සෙවීමට තමා විසින් පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභා මගින් ලබාදෙන වාර්තාවලට අදාළ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරමින් වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එහිදී මහජන දේපොළ හා රාජ්‍ය මුදල් අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක කරන නීතියට මරණ දඬුවම වුව ද ඇතුළත් කළ යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

රාජ්‍ය අංශයේ ව්‍යාපාර ක්ෂේත්‍රවල පිබිදීමක් ඇති කිරීමේ දී දූෂණයෙන්, වංචාවෙන් සහ අක්‍රමිකතාවයෙන් තොරව එම කටයුතු සිදුවීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා දූෂණයට හා වංචාවට එරෙහිව කටයුතු කරන ආයතනවල භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ආයතන පිළිබඳ විගණන විමර්ශන සිදු කොට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන විගණකාධිපති වාර්තා විභාග කිරීමේ සම්ප්‍රදායානුකූල ක්‍රමවේදයෙන් ඔබ්බට ගමන් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අධීක්ෂණයට ලක්වන සියලූම රාජ්‍ය ආයතනවල මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගත වීම සහ කාර්යසාධනය පිළිබඳ තොරතුරු පරිගණක ජාලගත වැඩසටහනක් මගින් ලබා ගැනීමෙන් අනතුරුව විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් එම තොරතුරු විශ්ලේෂණය හා විමර්ශනය කොට සිදු කළ බර තැබීම් අනුව ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කරන ලද ආයතන ඇගයීම වෙනුවෙන් දෙවන වරටත් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.

2016 මුදල් වර්ෂයට අදාළව පාර්ලිමේන්තුවේ පරිගණක ජාලගත තොරතුරු පද්ධතිය මගින් දිවයින පුරා විසිර තිබෙන සියලුම රාජ්‍ය ආයතන එනම්, මධ්‍යම රජයේ සියලුම අමාත්‍යාංශ, සියලුම දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, සියලුම පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු ආයතන 837කින් ලබාගත් තොරතුරු ඇගයීමෙන් අනතුරුව විවිධ කාණ්ඩ යටතේ තෝරාගනු ලැබූ අදාළ මුදල් වර්ෂයේදී උසස් කාර්යසාධනයක් පෙන්නුම් කරන ලද ආයතන 101ක් සඳහා මෙහිදී සම්මාන ප්‍රදානය කෙරිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, විගණකාධිපති ගාමිණී විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

මහජන සම්පත් පවරාගෙන ඇතැයි හෝ මහජන මුදල් සොරාගෙන ඇතැයි වරදකරුවකු වන කවරකුට හෝ එරෙහිව, දේශීය මෙන්ම විදේශීය වශයෙන් නැගෙන දැඩි විරෝධයකින් තොරව, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම නොකළ හැක්කකි. එවන් දඬුවමක් ලබාදීම සඳහා පවත්නා නීති ප්‍රමාණවත් වන්නේ ද නැතහොත් නව නීති හඳුන්වාදීමට සිදුවන්නේ ද යන්න ද ගැටලුවකි. මහජන මුදල් අවභාවිතා කළ, වංචා කළ පුද්ගලයන්ට එරෙහිව, මරණ දඬුවමට පමණක් සීමා නොවී වෙනත් දැඩි නීති හඳුන්වාදීමට සභාග රජයට නොහැකි ද? මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් බවට ජනපතිවරයා කළ ප්‍රකාශයම දැඩි විවේචනයට ලක්විය. නැවත නැවත ඒ බව සඳහන් කළ ද එය මේ දක්වාම බලාත්මක කර නොමැත. අන්තර්ජාතික ප්‍රජාව ද ජනපතිවරයාගේ ප්‍රකාශය විවේචනයට ලක් කළේ ය.

මහජන සම්පත් හා මුදල් සොරාගන්නා පුද්ගලයන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවට ජනපතිවරයා කරන ප්‍රකාශයෙන්ම එම දූෂණ හා වංචා කොපමණ ප්‍රමාණකට පැතිරී ඇතිදැයි යන්න සිතාගත හැකිය. බලයට පත්ව වසර 3ක් ගතව ඇතත් තවමත් හරිහැටි තීරණ ගනිමින් ක්‍රියාත්මක වීමට යහපාලන රජයට හැකියාවක් ලැබී නොමැත. මැතිවරණය ඔන්න මෙන්න තිබිය දී පසුගිය රජය සමයේ වංචා හා දූෂණ කටයුතුවල යෙදී ඇතැයි චෝදනා නැගුනවුන් ඉලක්ක කර විමර්ෂණ කඩිනම් කිරීමට රජය පියවර ගෙන ඇතත්, එවන් පුද්ගලයන් සම්බන්ධයෙන් වන බොහෝමයක විමර්ෂණ තවමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ගොළුබෙලි ගමනිනි.

මේ අතරම තවත් ප්‍රමුඛතා ඉස්මතුව තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය ගෙන සකස් කළ 20වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරිණ. එහි ප්‍රධාන කාරණයක් වන්නේ ජනමත විචාරණයක අවශ්‍යතාවකින් තොරව විධායක ජනපති ධුරය අහෝසි කිරීමට අන්තර්ගත කර තිබෙන විවරණයයි. මෙය මන්ත්‍රීවරයකුගේ පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කැරෙන නිසා එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් වීමට තවත් මාස 2ක සිට 5ක දක්වා කාලයක් ගතවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් පැවැසුවේ ය.

එයත් සමඟ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු කඩිනම් කර එය ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසුවේ ය. සිකුරාදා පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක වාර්තාවක් ලෙස එය ඉදිරිපත් කැරෙනු ඇති බවයි. මෙම කෙටුම්පතෙන් ද විධායක ජනපති ධුරය අහෝසි කිරීමට ඉඩ වෙන්කර තිබේ. නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බහුතරය දිනාගැනීමේ පදනමක වත්මන් සභාග රජය සිටින්නේදැයි යන්න මෙතැන දී නැගෙන පැනයයි.

කෙටුම්පත අධ්‍යයනය කිරීමෙන් පසුව අපි අපේ ස්ථාවරය දැනුම් දෙනවා, දිනේෂ් ගුණවර්ධන පැවැසුවේ ය. බදාදා පැවැති විරෝධතාව සම්බන්ධයෙන් ද අදහස් පළකළ ඔහු ඉහළ ජන සහභාගීත්වයක් පැවැති බවත්, එය සාර්ථක බවත් පැවසුවේ ය. එහෙත් එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ එය අසාර්ථක ව්‍යායාමයක් බවය.

සභාග රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන එක්සත් ජාතික පක්ෂය දැන් ඒකාබද්ධ විපක්ෂය හා දේශපාලන සංග්‍රාමයක පැටලී සිටින බව පැහැදිලිය. අනෙක් පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනපති සිරිසේන, තමන් අපක්ෂපාතී විනිසුරුවරයකු ලෙස කටයුතු කරන බව මේ වනවිට නිල වශයෙන් පෙන්වා දෙමින් සිටී. මේ සියල්ල මධ්‍යයේ ශ්‍රී ලංකාවේ දේශපාලන සර්කසය තවමත් රඟදෙමින් තිබේ.