රජයට සේවය කිරීම බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලයේ ඇති කරන ලද රාමුවකි. තෝරාගත් නිලධාරී පැලැන්තියක් කාර්යාලවල රඳවන ලද අතර වැසියන් හා නිලධාරීන් අතර සෑහෙන පරතරයක් තිබුණි. විශාල අවකාශයක් ඇති කාමර, පිරිසුදු ඇඳුම්, පළඳින ටයි පටිය හා කතාකරන ඉංග්‍රීසි තද නිලධාරීවාදයක් ඇති කළේය. නිදහස ලැබීමෙන් පසු රජයේ සේවයේ වෙනස්කමක් සිදුවනු ඇතැයි ජනතාව උපකල්පනය කළහ.

දශක හතකට පසුව පවා රාජ්‍ය සේවය තුළ පුළුල් වෙනස්කමක් සිදුවී නැත. ජනතාවගේ අවශ්‍යතා ඉටුකරනු සඳහා අද පවතින තාක්ෂණික පහසුකම් සෑහෙන ප්‍රයෝජනයට ගත හැකිය. මේසය මත සවිකරන පරිගණකය නිලධාරීවාදය තවත් ආඪ්‍ය කර ඇති අතර සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කර තිබේ. රට තුළ වෙනසක් ඇති කරන හා පරිවර්තනයක් කරන බව කියන දේශපාලන නායකයන් රජයේ සේවය වෙනස් කිරීමෙන් ජනතාවගේ පහසුව ඇති කරන්නේ කෙසේදැයි අවධානය යොමු කිරීම අවශ්‍යය.

ජනාධිපතිවරයා රජයේ සේවයේ පවතින අගතිය නොබෝදා අනාවරණය කළේය. ඉඩමක්, නිවසක් අනුමත කරගැනීමට පවා අත යටින් ලක්ෂ ගණනින් අල්ලස් දිය යුතු බව එතුමා දැන සිටින බව පැහැදිලිය. රජයේ කාර්යාලවල දී පුරවැසියෝ නිතිපතා අනේක විධ කරදර හිරිහැරවලට ගොදුරු වෙති. එක ගැටලුවක් ලිහා ගන්නට වසර ගණනක් කාලය හා ධනය වැය කළ යුතු බව නොරහසකි. මේවා සුළු දේ නමුත් රජයේ රෙගුලාසි හා විධිවිධාන අනුව ඉතා බරපතළ කාරණා වශයෙන් නිර්වචනය කර තිබේ. නිලධාරීන් බලය ඇති කොටසක් බවට පත් කර ඇති අතර ඔවුහු වැඩිදෙනා ජනතා සේවයක් නොකරන  ජනතාවට බලය පෙන්වන පුද්ගල කොට්ඨාසයක් බවට පත්ව සිටිති. නිදහස් ශ්‍රී ලංකාවක, නිවහල් ජන ජීවිතයක් ඇති කරන්නට නොහැකිවන හේතුව කුමක්ද?

ජනතාවට සේවය කරනු සඳහා අති විශාල නිලධාරී කණ්ඩායමක් රජයට සම්බන්ධ වී සිටී. මෙරට ඇතැම් පර්යේෂණ වාර්තා පෙන්වන පරිදි ජන අනුපාතයට අනුව වැඩිම නිලධාරී පිරිසක් සේවය කරන රටක් බවට පත්ව තිබේ. සෑම අංශයකටම නිලධාරීහුය. නිලධාරීන් වෙනුවෙන් කාර්යාල හා යාන වාහන සපයා ඇත. මිලියන විසි එකක් ජීවත්වන රටක මිලියන එකහමාරක නිලධාරීහු පිරිසක් සිටිති. මෙම නිලධාරීන්ට වැටුප් හා දීමනා ගෙවීමට රජය අපොහොසත්ය. මහා භාණ්ඩාගාරයේ තොරතුරු වලට අනුව රජයේ බදු ආදායමෙන් සියයට අනූවක් කලින් ගත් ණය වාරික හා ඒවායේ පොලිය ගෙවන්නට වැය කළ යුතුව ඇත. රජයේ සේවක වැටුප වෙනුවෙන් රජය වැය කරන පිරිවැය 2014 දී රු. බිලියන 455 කි. 2018 දී එය රු. බිලියන 646.8 ක් වූ අතර 2019 වසරේ දී රු. බිලියන 711 ක් වනු ඇතැයි සැලකේ. විවිධ වෘත්තීය සමිති වැඩි වැටුප් හා දීමනා ඉල්ලා අරගල දියත් කර තිබේ. වැඩ කරන ජනතාවට ජය අත්වන පරිදි ඒවා සාර්ථක වුවහොත් මෙම වසරේ වැටුප් පිරිවැය තවත් ඉහළ යනු සැකයක් නැත. දළ වශයෙන් ආණ්ඩුව උපයන මුදලින් තුනෙන් එකක් රජයේ සේවක වැටුප් වෙනුවෙන් වැය කරයි. ජනතාවට පනවන බදු වලින් වැටුප් ගෙවන නමුත් වැසියන්ට ලැබෙන සේවය ප්‍රමාණවත් ද?

පැවැත්ම වෙනස් කරන සමාජයක් වශයෙන් වැඩි මුදලක් රජයේ සේවයට ගෙවීමට ජනතාව අකමැති නැත. ප්‍රමාදය වළක්වන්නට අවශ්‍යය. රජයේ ආයතනයකින් සේවයක් ඉල්ලන විට එය ඉල්ලුම්කරන්නා වෙත පැමිණ ඉටු කර දී මිලක් නියම කිරීම සුදුසුය. එය ජනතා සේවය වෙනුවෙන් රජයේ පිරිවැය පාලනය කරනු ඇත. අනෙක සේවයට ගෙවනවා පමණක් නොව එය ලබා ගැනීමට නැවත නැවතත් කාර්යාල වලට යන අතිරේක වියදම නැති කිරීමෙන් ජනතාවට වාසියක් ලැබේ.
 
පළමුවෙන් අත්හදා බැලීමක් වශයෙන් පියවරක් ඉදිරියට තැබිය හැකිය. සෑම පළාත් පාලන ආයතනයක්ම පිරිවැටුම් බදු අය කරයි. නිසි අවස්ථාවේ ගෙවන සේ දෙතුන් වර ලිපි එවන අතර සමහර පළාත්  පාලන ආයතන බදු අය කරගැනීමට විශාල අතිරේක මහන්සියක් දරයි. නාගරික ආයතනවල අය නොවී පවතින බදු හිඟ බදු මුදල බිලියන ගණනකි. මේවා කල් යවන්නට නොදී මුල් කාලයේ දීම නිවසටම ගොස් අය කළ හැකිය. නොඑසේනම් ගිණුමෙන් හෝ වැටුපෙන් අය කරගන්නා සේ ගෘහ මූලිකයාගෙන් ලිපියක් ලබා ගැනීමට බැරි කමක් නැත. නිසි වගකීමක් සහිතව වරිපනම් ගෙවන පදිංචිකරුවන් ඉඩම වෙන් කිරීමක්, අලුත් ඉදිකිරීමක අනුමැතියක් හෝ වෙනත් අවශ්‍ය අනුමැතියක් වෙනුවෙන් විද්‍යුත් පණිවුඩයක් හෝ එස්.එම්.එස් එකක් එවීමෙන් පසු අදාල නිලධාරි පිරිසක් කෙළින්ම සම්බන්ධවී අවශ්‍යතාව ඉටු කළ නොහැකි ඇයි? එම කාර්යයට අය කරන ගාස්තුව තක්සේරු කළ හැකිය. අවශ්‍යනම් ගාස්තු ගැන ඇපෑලකට අයිතිය දෙන්නට යෝජනා කරන්නට බැරිකමක් නැත. කාර්යාලයක සිටින නිලධාරීන්ගෙන් කොටසක් ක්ෂේත්‍රයට යැවූ විට ලිපිගොනු ගොඩගැසෙන්නේ නැත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත යුතු බලපත්‍ර තිබේ. ඒවා අලුත්වන වකවානු ඇත. පෞද්ගලික අංශයේ රක්ෂණ නිලධාරීහු සේවා දායකයා අමතා නිසි අවස්ථාවේ දී රක්ෂණ වාරිකය අයකරගන්නා සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අය කිරීම් අංශයට කටයුතු කිරීමේ හැකියාවක් තිබේ. එය සේවය ගෙදරටම එන ක්‍රමයකි. වාහන ආදායම් බලපත්‍ර අන්තර් ජාලයෙන්ම ගත හැකි බව කියයි. එහෙත් ප්‍රායෝගිකව සිදුනොවේ. අන්තර්ජාල අඩවි ඒවාට සකස් කර නැත. නිසි ක්‍රමවේද අනුගමනය කළහොත් රාජ්‍ය සේවය ගැන ජනතාව තුළ පවතින විරෝධය සමනය කරන්නට බැරිකමක් නැත. දුරකතන සම්බන්ධතාවක් ඉල්ලූ සැණින් නිවසටම පැමිණ අවශ්‍යතා සපුරන්නට රජයට කොටස් හිමි දුරකතන සමාගම සූදානම්ය. එහෙත් රජයට අයිති විදුලිය බල මණ්ඩලය හෝ ජල සම්පත් මණ්ඩලය අලුත් සම්බන්ධතාවක් වෙනුවෙන් පාරිභෝගිකයෝ හොඳටම හෙම්බත් කරති. එකක් ලියැවිලි ගෙන ගිය පසු අනෙක් ලියැවිල්ලක් පළාත් පාලන ආයතනයෙන් රැඟෙන එන සේ දන්වති. එවැනි ලේඛන සහතික කරගැනීමට සති ගණන් ගතවෙයි. අවසානයේ ග්‍රාම නිලධාරී පවා අවශ්‍යවෙයි. තමන්ගේ ඉඩම ගැන ලේඛන ඇති පළාත් පාලන ආයතනය හා විදුලිය බල මණ්ඩලය ජාල ගත කළ හැකි නම් ඉල්ලන සැනෙකින් නිලධාරියකු එවා විදුලිය දෙන්නට හැකිය. ජල සම්බන්ධතාව ද එසේය. මේවා රජයට ආදායම් ලැබෙන මාර්ග විනා ජනතාව පීඩාවට පත් කිරීමෙන් නිලධාරී පුළුවන්කාරකම් පෙන්වන තැන් නොවේ.

රජයේ සේවය දෙස පාරිභෝගිකයාගේ පැත්තෙන් බලන ක්‍රමයක් හදන්නට අවශ්‍යය. එය කළ හැකි අලුතින් හිතන වැඩ පිළිවෙළකට පමණකි. දේශපාලනඥයන් පරිවර්තන ගැන කතා කරන නමුත් විශාල දේ ජනතාවට අවශ්‍ය නැත. සුළු දෙයක් ගෙදරටම පැමිණ කරදෙන, එයට සාධාරණ මිලක් අය කරන රජයේ සේවයක් රටට නරක නැත. එය විශාල ආර්ථික පරිවර්තනයකට මුල පුරනු නිසැකය.

සාරා කන්දෙගොඩ