රටේ මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන කල් අනෙක් වැඩ සියල්ලම සිදුවන්නේ යම් ආකාරයක මන්දගාමීත්වයකින් යුතුවය. හැමෝම සිටින්නේ සන්ක්‍රාන්ති සමයක් ගෙවන ආකාරයෙන්ය. දැන ගැනීමට ලැබෙන ආකාරයට මේ පාර්ලිමේන්තුව මාර්තු මාසයේ මුල හරියේදීම විසුරුවා හැරීමට නියමිතය. ඒ කියන්නේ මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද ගෙවෙද්දීම මහ ඡන්දයක් පැවැත්විය හැකි බවය.

මේ ඡන්දයෙන් පෙන්නුම් කරන තවත් එක් දෙයක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කුමන ආකාරයේ කෙනකු විය යුතුද යන කාරණය පිළිබඳව වෙන කවරදාකවත් නොමැති ආකාරයේ සාකච්ඡාවක් සමාජයේ ඇතිවී තිබීමයි. මෙහිදී මුලින්ම කිව යුත්තේ මන්ත්‍රීවරයකුගේ කාර්යභාරය පිළිබඳව සමාජයක් දේශපාලන වශයෙන් යම් මුහුකුරායාමකට පත්වීම ඉතාමත් හොඳ දෙයක් බවය.

1930 දශකයේ සිටම ඡන්ද අයිතිය පිළිබඳ යම් ආකාරයක දැනීමක් මේ රටේ ගොඩ නැ​ෙඟමින් තිබූ බව සත්‍යයක්ය. ඒ කියන්නේ අපේ රටේ සමාජයට ස්වකීය පාලකයන් තෝරා ගැනීමට ඉඩක් ඒ කාලයේ සිටම තිබූ බවය. එහෙත් ඒ ඉඩ සහ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ශක්තිමත් දේශපාල තෝරාගැනීමක් බවට පත් වුණේ නැති තරම්ය. සර්වජන ඡන්ද බලයේ මුල් ඉතිහාසය මගින් කියන්නේම මේ ගොඩනැඟෙමින් තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඉහළට මතුවුණේ නැති ආකාරයක්ය. ඇත්තටම සිදුවුණේ පැරණි වැඩවසම් සමාජ ක්‍රමයේ මිය යමින් තිබූ සමාජ ආකෘතීන් වූ කුලය හා පරවේණී උරුමය වැනි විකාර සමග මිශ්‍ර වූ අලුත් තත්ත්වයක් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුළුවීමය.

1977 දක්වාම සංබ්‍යා ලේඛනවලින් පෙන්වන්නේ මේ තත්ත්වය හරහා පාර්ලිමේන්තුවට ඇතුළු වූවන් බහුතරයක් මේ ගණයට අදාළ බවය.  එහෙත් ඒ කාලයේ දේශපාලනයට ආවේ එවැනි වැඩවසම් ආකෘතියක සිටින සම්පත් වැඩි කාණ්ඩයේ පවුල්වල අය වුවත්, ඒ බොහෝ අයගේ බුද්ධිභාවය ඉතාමත් ප්‍රාථමික තත්ත්වයක තිබුණත් ඒ කාලයේ සිටි නායකයන් මේ රටට එරෙහිව දේශපාලනයේ නොයෙදුණු බව අප තේරුම් ගත යුතු කාරණයක්ය. මේ රටේ පාර්ලිමේන්තු දේශපාලනය පටන් ගත්තේම ඒ ආකාරයේ වැරැදි පාරකට දමමින් වූ නිසාම ඒ පාරෙන් ආපු බොහෝ අය ස්වකීය ‘මහන්තත්තකම රැකගැනීම වැනි හිස් අවකාශයක් නඩත්තු කිරීමට’ තම තමන්ගේ දේපළ විකුණමින් දේශපාලනයේ රැඳී සිටියා මිස පාර්ලිමේන්තුවාදයෙන් රටට ලබාගත යුතු ධනාත්මක ජයග්‍රහණ එතරම් සැලකිල්ලකට ගත්තේ නැති තරම්ය. ඒ වගේම දේශපාලනය පාවිච්චි කරමින් හොරකම් කරන්නටත් ඒ කියූ කාණ්ඩයේ අය පෙළඹුණේ නැති තරම්ය. ජේ.ආර්. ජයවර්ධන හා ඇන්.ඇම්. පෙරේරා වැනි මේ කාණ්ඩයේ සිටි අවසන් නායකයන් මිය ගියේ තමන්ගේ වියදමින් හදාගත් කොළඹ පිහිටි ගෙවල් දෙරවල් පවා රජයට හෝ තමන්ගේ පක්ෂයට පරිත්‍යාග කරමින්ය.

මේ 1930 දශකයේ සිට 1977 දක්වාම පාර්ලිමේන්තු දේශපාලනයේ අඩු වැඩි වශයෙන් තිබුණේ මේ වගේ තත්ත්වයක් වුවත් එය බරපතළ ආකාරයෙන් වෙනස් වන්නට ආරම්භ වූයේ 1977 සිදූවූ දේශපාලන විපර්යාසය හේතුවෙන් බව ඉතාමත් පැහැදිලිය. 77 දේශපාලනයේ වෙනස පටන් ගන්නේ ජයවර්ධන මහතාට ලැබුණු අසීමිත බලයෙන් මේ රටේ තීරණාත්මක වෙනස්කම් දෙකක් එකවර කරන්නට ඔහු දැරූ උත්සාහයත් සමගින්ය. ඔහුගේ උත්සාහය වූයේ ආර්ථික ක්‍රමය එක් පැත්තකින් වෙනස් කර දේශපාලන ක්‍රමය අනිත් පැත්තෙනුත් වෙනස් කරන්නටය. 77 විවෘත ආර්ථිකය හරහා අර්ථ ක්‍රමය වෙනස් කරන්නට සහ 78 අලුත් ව්‍යවස්ථාවක් හරහා දේශපාලන ක්‍රමය වෙනස් කරන්නට ඔහු වැඩ කළේ මේ උත්සාහය නිසාය. (මේ දෙකම එකක් අනෙකට අත්‍යවශ්‍ය සාධකයක් වන නිසා දෙකම එකවිට කිරීමේ අවශ්‍යතාවක් ද තිබූ බව පැහැදිලිය).

ඒ වගේම අලුත් වැඩ දෙකේම සමහර ධනාත්මක සහ ගුණාත්මක දේවල් තිබෙන බව මගේ පිළිගැනීම වුවත් ඒ වැඩේ කරන්නට ගොස් සිදුකළ වැරැදිවල ද සීමාවක් නැති තරම් බව පැවසීම පාර්ලිමේන්තුවේ අද තත්ත්වය පිළිබඳව සාකච්ජාවට ඉතාමත් අදාළය. 1989 පැමිණි ජවිපෙ භීෂණයත් 1983 සිට මෝදුවූ උතුරේ ත්‍රස්තවාදයත් යනු ඉහත සඳහන් ජයවර්ධන මහතා කළ දේශපාලන වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙසින් ගැනීමේ වැරැද්දක් නැත.

මේ අනතුරු දෙකටමත් වඩා ජයවර්ධන මහතා 1978 සිදුකළ දේශපාලන ප්‍රතිසංස්කරණයෙන් ගොඩනැඟුණු ප්‍රධානම අර්බුදය වන්නේ පැරණි පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම අවුලකට ඇද දමා අද තියෙන ආකාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පාර කැපීමය. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව ඇතිවී තිබෙන සමාජ පිළිගැනීමේ පහළ ස්වරූපය ගොඩ නැඟුණේ මේ කියන අලුත් ආකාරයේ දේශපාලන ප්‍රතිසංස්කරණ පැමිණීමත් සමගය.
ජයවර්ධන රජයේ විවෘත ආර්ථික ක්‍රමය හේතුවෙන් මතුවූ නිර්ප්‍රභූ නව වෙළඳ කණ්ඩායම්වල පැවැත්මට දේශපාලන අධිකාරිය අවශ්‍යවීම එක් පැත්තකිනුත් මනාප ජන්ද ක්‍රමයේ ඇති අධික වියදම හේතුවෙන් අතිවිශාල මුදල් කන්දරාවක් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වීමත් ඇතුළු අවිචාරාත්මක කාරණා රාශියක් අනිත් පැත්තෙන්‍් මතුවීමේ තාර්කික ප්‍රතිඵලය වූයේ මේ ‘සහචර ධනවාදයේ’ ගොදුරක් වූ අමුතුම අමුතු මන්ත්‍රීවරයා බිහිවීමය. 77 දක්වා පැමිණි අඩු දියුණු වැඩවසම්වාදී පන්නයේ පාර්ලිමේන්තුව විශාල වශයෙන් වෙළෙඳ කුලයේ ඇත්තන්ගේ තෝතැන්නක් හෝ ඒ අයගේ ඉත්තන් පත් කර ගන්නා තිප්පොළක් බවට පත්වීමට හේතු වී තිබෙන්නේ මේ තත්ත්වය යැයි තාර්කිකව පිළිගැනීමේ වැරැද්දක් නැත.

එහෙත් මෙහිදී අප තේරුම් ගත යුතු අනෙක් කාරණයක් වන්නේ මේ තත්ත්වයට අසුනොවූ සහ මේ රටේ දේශපාලන වර්ධන වෙනුවෙන් සාධනීය කාර්යභාරයක් සිදුකරන බුද්ධිමය පෞරුෂයකින් යුතු සුළු කණ්ඩායමක් ද මේ 77 පසු පාර්ලිමේන්තු ක්‍රමය තුළත් බිහිවී සිටි බවත් අදටත් එවැනි සමහරුන් සිටින බවත්ය. එහෙත් මේ සුළුතරයේ හඬ නෑසෙන ගානට බහුතර කණ්ඩායමේ අර්බුදය සමාජයේ දෝරේ ගලා යමින් තිබෙන බව ඉතාමත් සත්‍යයක්ය.

මේ තත්ත්වය තුළ ජනතාවගේ පැත්තෙන් මතුවී ඇති විවේචනාත්මක යෝජනාව වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යනු නිශ්චිත විෂය ක්ෂේත්‍රයක් ඇති දක්ෂයකුගේ වෘත්තියක් විය යුතු බවයි. ඒ වෘත්තියට නුසුදුස්සකු පත්වීමෙන් වෙන්නේ රටම කඩා වැටීම බවට ජනතාව තුළ දැනුමක් ඇතිවීම මේ සංනිවේදන විප්ලවීය යුගයේ සිදුවී ඇති ප්‍රධානතම ජයග්‍රහණයක් බව මගේ අදහසය.

අපේ රටේ අද තිබෙන තත්ත්වය සමාන වන්නේ අනෙක් හැම රැකියාවක් සඳහාම කුසලතාව මත මිනිසුන් තෝරද්දි මේ අත්‍යාවශ්‍ය රාජකාරිය සඳහා රටේ සිටින නුපුහුණු කණ්ඩායමක් තෝරා පත් කර යවන නිසා රටම අවුලකට පත්වී තිබෙන බවට විශ්වාසයක් ජනතාව තුළ ඇතිවීමය.

මෙවර මහ මැතිවරණයේ අපට නොපෙනෙන කාරණයක් වන්නේ මේ අර්බුදජනක මනසින් යුතුව ජනතාව තමන්ගේ මන්ත්‍රී අපේක්ෂකයන් පිළිබඳව සිතන්නට පෙළඹීමය. මේ තත්ත්වය හමුවේ කළ යුත්තේ කුමක්දැයි යන තීරණය ගැනීමේ දී කරුණු කීපයක්ම අවධානයට ගැනීම ඉතාමත් වැදගත් බව මගේ මතයය. පළමුවෙන්ම මේ තත්ත්වය මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකත්වය විසින් තේරුම් ගනු ලැබීමත් වැදගත්ය. දැනට පාර්ලිමේන්තුවේ සිටින 225 තුළ සිටි දක්ෂයන් හා මේ රාජකාරියට ගැළපෙන කණ්ඩායම් පමණක් ඉදිරියට ගෙන එමින් රටේ කුසලතාව හිමි සමාජ පන්තියට ස්වකීය දේශපාලන ව්‍යාපෘති තුළ අවකාශය නිර්මාණය කිරීම මෙහිදී පක්ෂවලින් ගත යුතු එක් වැදගත් තීරණයක්ය. දෙවැනි කාරණය වන්නේ ජනතාවගේ පැත්තෙන් මේ ප්‍රශ්නය නිසි පරිදි තේරුම් ගැනීමය. කුසලතාව පිරි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට නොයැව්වොත් රටම අනතුරේ බව මතු කරගත යුත්තේ ඒ සඳහා සුදුසු පිළියමක් සිදු කිරීමට මිස හුදු නාස්තිකවාදී දෘෂ්ටියකින් නොවන බව මෙහිදී තේරුම් ගත යුතු කාරණයයි.

දැනට පාර්ලිමේන්තුවේ සිටින සහචර ධනවාදයේ ඒජන්තයින් නොවූ හා මන්ත්‍රී වෘත්තිය වෙනුවෙන් මැදිහත්වීමේ බුද්ධිය හා කැපකිරීම ඇති කාණ්ඩය නිවැරැදිව තෝරා ගැනීම සඳහා නිසි විමසීමකින් තොරව හුදු ගෝත්‍රික ආකාරයෙන් මන්ත්‍රීවරුන් තේරීමෙන් වැළකී සිටීම මෙහිදී අවශ්‍යය. තුන්වෙනුව දැනට සිටින මන්ත්‍රීවරුන්ගේ පැත්තෙන් මේ ‘225ම  එපා’ තර්කයට පිළිතුරු දිය යුත්තේ මේ ප්‍රශ්නයේ ස්වභාවය තේරුම් ගැනීමෙන්ය. සමාජය මෙසේ සිතන්නේ මේ මන්ත්‍රීවරුන් සමග ඇති පෞද්ගලික අමනාපයක් හේතුවෙන් ඇති ආරවුලක් නිසා නොව ජනතාවගේ පැත්තෙන් තමන්ට හිමි සේවයක් නුසුදුසු අයගෙන් ලබාගැනීමට ඇති අකැමැත්ත ලෙසින් තේරුම් ගැනීමේ වැරැද්දක් නැත. ඒ නිසා මෙවර මැතිවරණයේ දී අලුතින් ඉදිරිපත් වෙන කණ්ඩායම වෙත ජනතාවගේ ඇති පිළිගැනීම පැරණි මන්ත්‍රීවරුන්ගේ උදහසට කාරණයක් ලෙසින් ඉදිරිපත්වීම වෙනුවට කළ යුතුව ඇත්තේ සමාජයෙන් මතුවී ඇති මේ අලුත් අභියෝගය බුද්ධිමත්ව සමහන් කරන්නට උත්සාහ දැරීමය.

මීළඟ පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමට දින නියමවීමට ඇති මේ දවස්වල අපේ අවධානයට යොමුවිය යුත්තේ වත්මන් මන්ත්‍රීවරයා පිළිබඳව රටෙන් මතුවී ඇති විවේචනය මත පදනම් වෙමින් ශක්තිමත් නව පාර්ලිමේන්තුවක් ගොඩනඟා ගන්නේ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් බව මගේ අදහසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය චරිත හේරත්