මෙවර කිවිදා දැක්ම සඳහා ලියන්නට මාතෘකා ගණනාවක්ම තිබෙන බව පැහැදිලිය. එක් පැත්තකින් කොරෝනා වසංගතය පිළිබඳව ලිවිය යුතු කාරණා කීපයක්ම තිබේ. එන්නත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භවීම ඉතාමත් සතුටුදායක දෙයක්ය. තවත් පැත්තකින් සංචාරක ව්‍යාපාරය යළි විවෘත කරන්නට ආණ්ඩුව දරන උත්සාහය ඉතාමත් වැදගත්ය. රට වසා තබන්නට හැකියාවක් නැති බවත් මේ තත්ත්වය හමුවේ ආර්ථිකය යළි ශක්තිමත්ව පිහිටවන්නට ආණ්ඩුව දරන උත්සාහය පිළිබඳව ලිවීමත් ඉතාමත් අවශ්‍යය. එහෙත් මා මේ සතියේ මේ ලිපියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ කොරෝනා වසංගතය සම්බන්ධ කරුණක් හෝ ආර්ථිකය සම්බන්ධ කරුණක් හෝ නොව වෙනත් දේශපාලන මාතෘතාවක් පිළිබඳවය.  මා සාකච්ඡා කරන්නේ මේ දිනවල සමහරුන් මතු කරන පළාත් සභා ඡන්දයට ආශ්‍රිත කරුණු කීපයක් පිළිබඳවය.

පළාත් සභා පිළිබඳව ලිවිය යුතු යැයි මා සිතුවේ මගේ මිතුරකු විසින් පසුගිය දිනක පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් මතු කළ එක් නිරීක්ෂණයක් ද හේතුවෙන්ය. මගේ මිතුරා පළාත් සභාවක ආණ්ඩුකාරයකු වශයෙන් ටික කාලයක් වැඩ කළ අයෙක්ය. මා මෙසේ කියන විටම සමහරුන් බොහෝ අය පිළිබඳව සිතිය හැකි නිසා මුලින්ම කිව යුත්තේ මේ කියන ආණ්ඩුකාර මිතුරා විශ්ව විද්‍යාලයක ආචාර්යවරයකු නොවන බවය. ප්‍රසිද්ධ දේශපාලනයේ දී පළාත් සභා ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින ඔහු පසුගිය දිනක අප අතර වූ සාකච්ඡාවකදී කියා සිටියේ මේ දිනවල පළාත් සභාව ආණ්ඩුකාරයාගේ පාලනයට යටත් වී ඇති ආකාරය පිළිබඳව තමන් සතුටට පත් වන බවත් ආණ්ඩුකාරයා පළාත් සභාවක ප්‍රධානියා බැවින් ඔහු සංවර්ධන වැඩවලට නායකත්වය ලබා දිය යුතු බවත්ය. පසුගිය ආණ්ඩුවට ‘පිංසිදුවන්නට’ පළාත් සභා සඳහා වූ ඡන්දය පැවැත්විය නොහැකි තත්ත්වයකට මේ වන විට ඒ මැතිවරණ ක්‍රමය පත් කර ඇති තත්ත්වයක් තුළ මගේ මිතුරාගේ ‘ආණ්ඩුකාරයා ලවා පළාත් සභාව පාලනය කරවීමේ තර්කයට යම් සුජාතභාවයක්ද ලැබී ඇති බව පැහැදිලිය. මේ පිළිබඳව ලිවිය යුතුයැයි මා සිතුවේද ඒ නිසාමය.

පළාත් සභා යනු අපේ රට යම් ආකාරයක බලපෑමක් නිසා ලැබුණු ක්‍රමයක් බව පැහැදිලිය. 1987 ඉන්දු - ලංකා ගිවිසුම මගින් අපේ රටට මේ අලුත් ආණ්ඩුක්‍රම සංශෝධනයට යන්නට සිදුවූ බව සත්‍යයක්ය. ඒ නිසා පළාත් ආණ්ඩුක්‍රමයක් වෙතට අප ගමන් කළ බව සත්‍යයක්ය. ඒ කුමන ආකාරයෙන් මේ ක්‍රමය ලංකාවට පැමිණයත් දැන් එය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන කොටසක් බවට පත්වී ඇති බව අපේ අවධානයට ගත යුතු කාරණයක්ය.

සමහරුන් සිතන්නේ දැන් පළාත් සභා ක්‍රමය බිඳවැටී ඇති බවය. තවත් සමහරුන් සිතන්නේ දැන් පළාත් සභාවක් රටේ  නැති බවයි. පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු යැයි කවරෙකු හෝ කිවහොත් සමහරුන්ගේ ක්ෂණික ප්‍රතිචාරය වන්නේ ‘දැනට අහෝසි කරල තියෙන පළාත් සභාව ආයිත් ගේන්නේ ඇයි’ වගේ ප්‍රශ්නයක්ය. මෙහිදී මුලින්ම තේරුම් ගත යුතු කාරණයක් වන්නේ අපේ රටේ පළාත් සභා ක්‍රමය කිසිම ආකාරයකින් අහෝසි වී හෝ අහෝසි කර හෝ නැති බවයි. දැනට පළාත් සභා ක්‍රමය නෛතිකව කිසිදු වෙනස්වීමකට භාජන නොවී රටේ පාලන ව්‍යුහයක් වශයෙන් පවතින බව අපි තේරුම් ගත යුතු කටුක ඇත්තය. දැනට රටේ බල බෙදීමේ ආකෘතියක් ලෙසින් පළාත් සභා පවතින අතර පළාත් සභා සඳහා රටේ පාලන බලයේ සෑහෙන කොටසක් වෙන් වී තිබෙන බවද සත්‍යයක්ය.

රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය, වාරිමාර්ග, මහාමාර්ග, ප්‍රවාහනය වැනි විෂයයන් රාශියක විශාලම කොටස පාලනය වන්නේ පළාත් සභාව හරහාය. පාසල්වලින් බහුතරය අයිති වන්නේ පළාත් සභා විෂයයට මිසක් මධ්‍යම ආණ්ඩුවට නොවේ. රෝහල්වල තත්ත්වයත් එයටම සමානය. රටේ රෝහල්වලින් බහුතරය අයිතිවන්නේ මධ්‍ය ආණ්ඩුවට නොව පළාත් සභාවලටය. මේ සියල්ලම කිසිදු වෙනසක් නැතිව තවමත් තිබෙන බව අපේ අවධානයට ගැනීම වැදගත් වන්නේ පළාත් සභා ක්‍රමය අහෝසි වී ඇතැයි සිතන සමහරුන්ගේ පිළිගැනීම වැරදි බව තේරුම් කිරීමටය.

පසුගිය රජය කාලයේ සිදු වුණේ පළාත් සභා ක්‍රමය අහෝසිවීමක් නොව පළාත් සභාව සඳහා ඡන්දය පැවැත්වීමේ ක්‍රමය සංශෝධනය කරන්නට යැයි කියා ඒ ඡන්දය නොපැවැත්විය හැකි තැනට රට තල්ලු කිරීමය. ඒ අයට අවශ්‍යව තිබුණේ පළාත් සභා ඡන්දය කල් දමා ගැනීමට මිස පළාත් සභාව අහෝසි කිරීමට නොවන බව මෙහිදී අවධානයට ගැනීම  වැදගත්ය. යහපාලනය යැයි කියා ගත් එම රජය තුළ සිටි එජාපයේ  අයට  සහ ශ්‍රීලනිපයේ අයට ඡන්දයකට මුහුණ දෙන්නට හැකියාවක් නොමැති නිසා ඒ දෙගොල්ලම පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතුයැයි කියමින් ඒ ඡන්දය පැවැත්වීමට  නොහැකි වෙන තැනකට රට තල්ලු කර තිබීම සත්‍යයක් වුවත් පළාත් සභාවේ පාලනය කිසිම ආකාරයකින් වෙනස්වීමක් හෝ නතරවීමක් සිදු වී නැති බව තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය.

මෙහිදී සමහරුන් මතු කරන තර්කයක් වන්නේ වත්මන් රජය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නට යන නිසා ඒ ව්‍යවස්ථාවෙන් පළාත් සභා ක්‍රමය අහෝසි කළ හැකි නිසා ඒ ඡන්දය පැවැත්වීමට අපි කලබල නොවිය යුතු බවයි. මේ අදහස තවමත් අවසාන තීරණයක් නොගත් අදහසක් බව මගේ මතයයි. ඒ කියන්නේ මේ රජය අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවත් ඒ ව්‍යවස්ථාව මගින් පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු යැයි තවමත් වත්මන් ආණ්ඩුවේ පක්ෂ අතර වුවද එකඟතාවක් නොමැති බවයි. ඒ නිසා ඉදිරියේදී නිර්මාණය වෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් පළාත් සභා ක්‍රමය අහෝසි කළ හැකියි යන උපකල්පනය මත සිට පළාත් සභා ඡන්දය පැවැත්වීම කල් දැමීම එහෙමම තබා ගැනීම එතරම් යුක්තිසහගත තත්ත්වයක් නොවන බව මගේ අදහසයි.

තවත් පැත්තකින් පළාත් සභා අහෝසි කිරීම යන සටන් පාඨය හුදු සටන් පාඨයක් ලෙසින් පාවිච්චි කරනවාට වඩා ඉතාමත් සංකීර්ණ තත්ත්වයක් පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නට යාමෙන් ගොඩනැගෙන බව අපේ අවධානයට ගැනීමද වැදගත්ය. ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුමක් මත නිර්මාණය වූ 13 වැනි ආණුඩුක්‍රම සංශෝධනය හෙවත් පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නට නම් ඉන්දියාවේ යම් ආකාරයක අවබෝධයක්වත් ගොඩ නඟා ගැනීම ජාත්‍යන්තර සම්බන්ධතා පැත්තෙන් අත්‍යාවශ්‍ය සාධකයක්ය. ඒ අවබෝධය ගොඩ නඟා ගත නොහැකි නම් අපිට සිදු වෙන්නේ අපේ තනි කැමැත්තට ඒ ගිවිසුම අහෝසි කරන්නටය. එවැනි තීරණයක් ගැනීමේ හැකියාවක් රටක් ලෙසින් අපිට තිබුණත් එවැනි තීරණයක් ගැනීම හේතුවෙන් අපේ රට අපි බලාපොරොත්තු නොවන අර්බුදයකට  ගැටගැසීමේ ඉඩක්ද ඒ තුළ තිබෙන බව අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය.  උතුරේ  අර්බුදයට ඉන්දියාව මැදිහත්වීම යම් ආකාරයකට හෝ කළමනාකරණය වී තිබෙන්නේ පළාත් සභා හරහා වන අතර එය ඉවත් කිරීමෙන් ඉන්දියානු බලපෑම යළිත් වතාවත් වර්ධනයවීමේ ඉඩක් ද පවතින බව තේරුම් ගැනීම මෙහිදී අවශ්‍යයය. තවත් පැත්තකින් චීනය එක අන්තයකිනුත්  ඇමරිකාව, ඉන්දියාව සහ ජපානය අනෙක් අන්තයෙනුත් ගෙනයමින් තිබෙන කලාපීය භූ දේශපාලනික තත්ත්වය සමගද මේ ගැටුම සම්බන්ධවීමේ ඉඩක් ඇති  බව පිළිගැනීමේ වැරුද්දක් නැත.

මේ තත්ත්වය තුළ මේ වන විට අපේ රටේ පවතින්නේ පළාත් සභා එහෙමම තියෙන පළාත් සභා රටෙන් භාගයක පමණ විශාල බලයක් ක්‍රියාත්මක කරන එහෙත් පළාත් සභා සඳහා මහජන නියෝජිතයන් තෝරා නොගත් තත්ත්වයක්ය. මේ වන විට පළාත් සභා මගින් රටේ විශාල කලාපයක් පාලනය වන අතර ඒ පාලනය සිදු වන්නේ ජනතාවගේ නියෝජිතයන්ගෙන් සමන්විත සභාවකින් නොව පත්කරන ලද  ආණ්ඩුකාරවරයකුගේ සහ බරපතළ ලෙසින් ආධිපත්‍යය දරන නිලධාරි තන්ත්‍රයකින් සමන්විතවය. මගේ තේරුම් ගැනීම නම් මේ ක්‍රමය තනිකරම ප්‍රජාතනත්ත්‍රවාදී මූලධර්මවලට පටහැනි ක්‍රමවේදයක්ය. මේ අවුල්සහගත තත්ත්වය විසින් ඇති කර තිබෙන ගැටලුකාරිත්වය කොතරම්ද යත් සමහර ආණ්ඩුකාරවරුන් සිතන්නේ ඒ ඒ පළාත්වල ජනතාවගේ සිතීම් තමන් දන්නා බවය. ඒ නිසා පළාත් අධ්‍යාපනය හා පළාත් සෞඛ්‍යය වැනි ක්ෂේත්‍රවල විශාල දේශපාලන හා සමාජ ආතතියක් ගොඩනැගී ඇති බව මගේ නිරීක්ෂණයයි. එසේම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වැනි තනතුරු දරන නිලධාරීන්ගේ තනිමතයට බොහෝ පළාත්වල අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍ර යටත් වී ඇති බව හෝ යටත් වෙමින් තිබෙන බව හෝ ඉතාමත් පැහැදිලි කාරණයක්ය. වාරිමාර්ග හා ප්‍රවාහන ක්ෂේත්‍රවල තත්ත්වයද  ඒ හා සමානය”
මගේ මිතුරා සඳහන් කළ ඉහත ප්‍රකාශයට අපේ අවධානය යොමු විය යුත්තේ මේ තත්ත්වය තුළය. පසුගිය රජයේ අමනෝඥ ක්‍රියා පිළිවෙත නිසා අද වන විට පළාත් සභා ක්‍රමයම සම්පූර්ණ අර්බුදයකට තල්ලුකර ඇතිවා පමණක් නොව මහජන නියෝජිතයන්ගෙන් තොර නිලධාරීන් පාලනය කරන ප්‍රජාත්නත්‍ර විරෝධී ආකෘතියක් වෙතට පළාත් සභාව තල්ලුවී ඇති බව ඉතාමත් පැහැදිලි කාරණයක්ය. ඒ නිසා රටක් ලෙසින් ගත යුතු වැදගත් තීරණයක් අපි හමුවේ පවතී. එක්කෝ අපි පළාත් සභා ක්‍රමය වෙතින් සම්පූර්ණයෙන්ම ඉවත්විය යුතුය. (එවැනි විකල්පයක ඇති සංකීර්ණත්වය  මවිසින් ඉහතින් සඳහන් කළෙමි) එසේ නැතිනම් අපි පළාත් සභා ඒ ආකාරයෙන්ම තියා ගත යුතුය. එසේ පළාත් සභා පවත්වා ගන්නවානම් ජනතාවගෙන් තෝරා නොගත් පළාත් අධ්‍යක්ෂකලා යටතේ පාලනය වෙන වත්මන් තත්ත්වය වෙනස් කළ යුතුය. මේ සතියේ මගේ කිවිදා දැක්ම වන්නේ මේ විකල්ප දෙකින් එකක් තෝරන්නේ නැතිව අතර මග තබා ඇති පළාත් සභා විසින් සමාජයේ අනවශ්‍ය පීඩනයක් හා දේශපාලන ආතතියක් (Political stress) ගොඩනගන බවය.


(*** මහාචාර්ය - චරිත හේරත්)