යහපාලන රජය ආරම්භ වූ 2015 වසරේ සිටම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර වර්ධනය වන්නට ගත් විරසකයේ පදනම, දෙදෙනා අතර පැවැති පන්ති භේදයේ සිට භාෂාව නිසා හටගත් අදහස් හුවමාරු කරගැනීමේ බාධාවක් දක්වාම දිවගිය බව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පවසයි. ඔහු මේ බව කීවේ සන්ඩේ ටයිම්ස් පත්‍රයේ දමිත් වික්‍රමසේකර මහතා සමඟ කළ සාකච්ඡාවකදීය.

“ආරම්භයේ එය පෞද්ගලික මට්ටමින් එය පැවති බවයි මා සිතන්නේ. ඔවුන් නියෝජනය කළේ පන්ති දෙකක්. හිටපු ජනපතිවරයා පැමිණ සිටියේ පොළොන්නරුවෙන්. හිටපු අගමැතිවරයා කොළඹ 7 ඉපිද, රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබපු අයෙක්. දෙදෙන අතරේ පැහැදිලි නොගැලපීමක් තිබුණා,”

ජනපති සහ අගමැති අතර පවතින ගැටලුවක් බවට සිය රාජකාරි කටයුතුවල නිරතවන අතරවාරයේ පළමුකොටම ඒකනායකගේ අවධානයට ලක්ව ඇත්තේ භාෂා ගැටලුවයි. පසුව, වික්‍රමසිංහ නොරිස්සූ අයෙක් ජනපති සිරිසේන සමග එක්ව, භාෂා ගැටළුවට දේශපාලන ගැටළු ද, ගෙනවිත් තත්ත්වය තවත් බරපතළ කර තිබේ.

“දෙදෙනා අතර පෞද්ගලික මට්ටමින් වගේ පැවති ගැටලුවක් තවත් වර්ධනය කළේ මේ කණ්ඩායම්,” යැයි පවසන ඒකනායක මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කළේ ය.

තවත් අඩුපාඩු තිබිණ. එක්සත් ජාතික පක්ෂය, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව බලයට ගෙන ආවද, රජයේ කටයුතුවලට ඔහු දායක කරගත්තේ නැත. තමා මේ බව අගමැතිවරයාට සහ වෙනත් අමාත්‍යවරුන්ට පෙන්වාදුන් බව ඒකනායක කියයි.

“ඔවුන් ඔහුව පැත්තකට කර තැබුවා.....මෙම තත්ත්වය ජනපතිවරයාට සෘණාත්මකව බලපෑම් කරන්නට අනෙක් පාර්ශ්වවලට හොඳ තල්ලුවක් වුණා“ යයි ඒකනායක මහතා සිහිපත් කළේය.

එහෙත් 2015 වසරේ ජනපතිවරණයට පෙර පැවතියේ මීට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඒකනායක මහතා සමග පවසා තිබුණේ, රනිල් වික්‍රමසිංහට “සර්“ යැයි ඇමතීමට තමාට අවසරය දෙන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටි බවය.

ජනපතිවරයා ලෙස පත්වූ පසුවද, ඔහු එයම ප්‍රසිද්ධියේම කියා සිටියේ ය. එහෙත් දෙදෙනා අතර සබඳතාවයේ පදනම ගොඩනැගී තිබුණේ එවන් යහපත් පිළිවෙත්වලින් හෝ දෙදෙනා අතර එකිනෙකාට පැවැති ගෞරවයෙන් නොවන බව පැහැදිලිවීමට වැඩි කලක් නොගියේ ය. නායක දෙපළ තව තවත් එකිනෙකාගෙන් දුරස් කරමින් භාෂා ගැටලුව නැගී සිටියේ ය.

සමන් ඒකනායක මහතා රාජ්‍ය සේවයට එක්වූයේ 1985 වසරේදීය. එයින් වසර 4කට පසුව, හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා කාර්මාන්ත අමාත්‍යංශය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් අවස්ථාවේ, එම අමාත්‍යංශයට පැමිණ සේවය කරන ලෙස තරුණ අමාත්‍යවරයා ඒකනායකගෙන් ඉල්ලීමක් කළේය. එහෙත් ඔහු එම ඉල්ලීම බැහැර කළේ ය.

කෙසේ වෙතත් 1993 වසරේ ප්‍රේමදාස ජනපතිවරයා ඝාතනය වීම සහ අගමැති ඩී.බී. විජේතුංග මහතා ජනපති තනතුරට උසස්වීම හමුවේ, ඒකනායක මහතා සහකාර ලේකම්වරයෙක් ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයට එක්විය.

ජනපතිනිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 1994 දී පත්වීමෙන් පසුව, ඒකනායක මහතා සමෘද්ධි අමාත්‍යංශය වෙත මාරු කර යැවිණ. එදවස විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ හමුවීමට ඔහුට අවස්ථාව සැලසෙන්නේ මේ වකවානුවේදීය.

“වසර 2008 දී ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව ඒකනායක මහතා සේවය කරමින් සිටි අතරවාරයේ, විදෙස් සංචාරයක යෙදී සිටින වික්‍රමසිංහ මහතාද, එහි පැමිණියේ විපක්ෂ නායකවරයා ලෙස කැබිනට් අමාත්‍යවරයකුට හා සමාන වරප්‍රසාද හිමිවය. එබැවින් ගුවන්තොටුපොළේදී ඔහු පිළිගැනීම සහ නවාතැන් පහසුකම් සැපයීම මවිසින් සිදු කැරිණ. විපක්ෂනායකවරයාගේ ලන්ඩන් සංචාරය සංවිධානය කිරීම සහ ඔහු එහිදී මුණගැසෙන්නට යන පුද්ගලයින් හා සම්බන්ධ කටයුතු භාරව සිටියේද මාය“

වික්‍රමසිංහ මහතා සමග මේ ආකාරයට දිගටම සම්බන්ධතා පැවැති ඒකනායකට, 2015 ජනවාරි මස 9 වැනිදා දුරකතන ඇමතුමක් ලැබේ. එහා කෙළවරේ සිටින්නේ නව යහපාලන රජයේ අගමැතිවරයා ලෙස දිව්රුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතාය.

“ඔබ මගේ ලේකම්වරයා ලෙස පත්විය යුතුයි, ඔහු කීවේ ය.” කිසිදු විරෝධයකින් තොරව එම තනතුර පිළිගත් ඒකනායක, එළැඹි දිනයේම වැඩ භාරගත්තේ ය. අගමැතිවරයා සමග කටයුතු කිරීමේ දී, කිසිදු බාධාවක් හෝ ගැටළුවක් ඒකනායකට මතු නොවීය.

“ඔහු නියම මහත්මයෙක්. කොයිම අවස්ථාවකවත් කෝප ගන්නේ නැහැ වගේම නිලධාරීන්ට ඉතාම හොදින් සහ ගෞරවයෙන් සැලකුවා,”

ලැබුණු ඇතැම් ඉලක්ක අභියෝගාත්මක වුව ද, ඒකනායක ඒ සියල්ල හසුරුවා ගැනීමට සමත්විය. සමහර අවස්ථාවල රාජ්‍ය නිලධාරීන් අවශ්‍ය පරිදි සහයෝගය නොදක්වන විට, ඔහු අමාත්‍යවරුන් හරහා අදාළ කාරිය ඉටුකර ගත්තේ ය.

ජනපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ අතර ගැටුම් ආරම්භ වූයේ බැඳුම්කර වංචාවත් සමග නොවන බව ඒකනායක මහතාගේ අදහසයි. දින 100 වැඩපිළිවෙළ සමග නව රජය වැඩකටයුතු ආරම්භ කළ අතර, එම දින ගණන අවසානයේ මැතිවරණය පැවැත්වීමට ඔවුන්ට වුවමනා විය. එහෙත්  එය ප්‍රමාද කැරිණ. එහිලා දේශපාලනමය ගැටලු පැවැති අතර, ජනපතිවරයා ද, පාර්ලිමේන්තුව වහාම විසිරුවා හැරීමට උත්සුක නොවීය. සිය ප්‍රතිරූපය ශක්තිමත් කරගැනීම වෙනුවෙන් ඔහු එම කාලය යෙදවූයේය.

මේ අතරවාරයේ, බැඳුම්කර වංචාව සිදුවූ අතර එය මැතිවරණ ප්‍රචාරණ අවියක් ලෙස භාවිතයට ගත් විපක්ෂය රජයට එයින් පහර එල්ල කළේ ය. එයින් එක්සත් ජාතික පක්ෂයට සැබෑ ලෙසම බලපෑමක් එල්ල විය. වෙනස්කම් ඒ ආකාරයෙන්ම පැවැති මුත්, අගමැතිවරයා ඒ කිසිවක් එළිපිට පෙන්වූයේ නැත. ජනපතිවරයා අමතන ඔහු, ඔහු හමුවීමට ද යන අතරම, සුපුරුදු පරිදි රාජකාරි කටයුතුවල ද නිරත විය. දෙදෙනා අතර රාජකාරිමය වශයෙන් පැවැති සබඳතාවය එලෙසින්ම විය. නමුත්, ජනපතිවරයා සහ අගමැතිවරයා විරසක කිරීමට බලාගෙන සිටියෝ බොහෝ වූහ.

“මම දේශපාලනයට සම්බන්ධ නැතත්, ජනපතිවරයා තමා දෙවන වතාවටත් තරග කිරීමට සූදානමින් සිටින බව ප්‍රකාශ කිරීම දෙපාර්ශ්වය අතර පවතින සබඳතාවයට පහරක් විය හැකි දෙයක් බවට පුරවැසියෙක් හැටියට මම විශ්වාස කරනවා,” ඒකනායක මහතා කියයි. දෙපාර්ශ්වය අතර වෙනස්කම් (එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) 2015 වසර අවසානය වන විට ප්‍රබල ලෙසම කැපී පෙනෙන්නට ගෙන තිබිණ.

අගමැතිවරයා කිසිදු අවස්ථාවක ජනපතිවරයා නමින් ඇමතූයේ නැත. එය සෑම විටම ජනපතිතුමා හෝ අතිගරු, යන්නට සීමාවූ බව හිටපු අගමැති ලේකම්වරයා අවධාරණය කරයි. ජනපතිවරයා ඔහු (අගමැතිවරයා) ගැන යම් අනිසි දෙයක් කියා ඇතැයි කිසිවෙක් පැමිණ කී විට, අගමැතිවරයා ඒ සෑම අවස්ථාවකම උරහිස් හකුලා එය බැහැර කළා හෝ සිනාවක් නැගුවා විනා, කලබලයට පත්වූයේ, මුහුණ හකුලාගෙන සිටියේ හෝ කෝපයට පත්වූයේ නැත.

පිටතින් බැලූ විට දෙදෙනා අතර බෙදීම එතරම් පෙනෙන්නට නොතිබූ අතරම, රජයේ පරිපාලන කටයුතුවල ද, එතරම් ගැටලුවක් නොතිබිණ. එහෙත් 2018 ඔක්තෝබර් මස 26 වැනිදා හදිසියේම මහින්ද රාජපක්ෂ රටේ නව අගමැතිවරයා ලෙස පත් කරනු ලැබීමත් සමග, සියල්ල වෙනස් විය.

එයට දිනකට පෙර, එනම් 25 වැනිදා, ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා, ඒකනායක මහතා ඇතුලු අනෙක් නිලධාරීන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පවා සූදානම් කර තිබිණ. එළැඹෙන දිනයෙන් සිදුවන්නට තිබූ දේ පිළිබඳව කිසිදු දැනීමක් ඒ කිසිවෙකුටත් නොතිබිණ.

“වෙන්න යන දේ ගැන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ,”

එළැඹි දිනයේ පිටත්ව යෑමට සූදානම් වන විට ඒකනායක මහතාට දුරකතන ඇමතුමක් ලැබිණ. ඔහු අමතමින් සිටියේ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාය.

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත්කර ඇතැයි ඔහුට දැනගන්නට ලැබී තිබුණු අතර, ඒකනායක ලවා එය නිවැරදි දැයි පරීක්ෂා කිරීමට ඔහුට වුවමනා වී තිබිණ. මිතුරෙක් හරහා එය තහවුරු කරගත් ඒකනායක වහාම ඒ බව රත්නායකට දැනුම් දුන්නේ ය. ඒ වන විට ගාල්ලේ සිටි වික්‍රමසිංහ මහතා, තමා අගමැති ධුරයෙන් ඉවත්කර ඇති බව දැනගන්තේ මෙසේය.

“පොලිස් නිලධාරීන් පවා මේ ගැන දැනසිටියේ නැහැ. එදා රාත්‍රියේ අපි අරලියගහ මන්දිරයට රැස්වූ විට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රැස්වීම් කාමරයේ රැඳී සිටියා. ඔහු පවා දැනගෙන සිටියේ නැහැ. වහාම අතුරුදන් වුනු ඔහු රාජපක්ෂ හමුවීමට ගොස් තිබුණා. බුද්ධි නිලධාරීන් පවා මේ ගැන දැනගෙන සිටියේ නැහැ,”

පෞද්ගලික මට්ටමින් පැවැති මෙම ගැටලුව දේශපාලනමය ගැටලුවක් බවට අවසානයේ පත්ව තිබිණ. එක්සත් ජාතික පක්ෂය නිදහස් වෙළඳ ප්‍රතිපත්තිවලට බරය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඩා බර වන්නේ වාමාංෂික ප්‍රතිත්පතිවලටය. දෙපාර්ශ්වය අතර ප්‍රත්පත්තිමය වශයෙන් එකඟතාවක් නොතිබූ හෙයින්ම රාජ්‍ය පාලනයේ යම් පිපිරීමක් කොයි මොහොතක හෝ සිදුවන්නට ඉඩ තිබිණ. පසෙක සිටි වෙනත් පුද්ගලයෝ, දෙපාර්ශ්වය අතර පැවැති මේ වෙනස්කම් තව තවත් විදහා දැක්වූහ. මේ අතර, ජනපතිවරයා, තමා දෙවන ධුර කාලයක් සඳහා ද තරග කිරීමට සූදානම් බව පැවසීම, ඔහු නියෝජනය කළ රජයටම එල්ල වූ අභියෝගයක් විය.

“සජිත් ප්‍රේමදාස මහතා අවසාන මොහොතේ දී, ජනපති අපේක්ෂකයා හැටියට පත්වූ අවස්ථාව වෙනකන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණයට තරග කරන්නට ඔහුට තිබුණු අදහස අතහැරියේ නැත. එහෙත් වික්‍රමසිංහ මහතා එම අදහස හඹා නොගියේය. සිය එදිරිවාදියා වූ මෛත්‍රීපාල සිරිසේන සමග ගැටලුවක් ඇතිකර ගැනීමට හෝ ඔහු විනාශ කිරීමට හෝ උත්සාහ නොකළේය.

“මෙය ඔහුට අවාසියක් වුනා. ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව ඔහු මුල සිටම කියා තිබුණා නම්, දෙවන වතාවටත් තරග කරන බවට කියා සිටීමේ හැකියාවක් බලයේ සිටි ජනපති සිරිසේනට මහතා ලැබෙන්නේ නැහැ. කාලයත් සමග ගැටලුව විසඳේවි කියා වික්‍රමසිංහ මහතා හිතුවා. එහෙත් කොහොම හරි, ටිකෙන් ටික, ඔහුට එරෙහිව පීඩනය ගොඩනැගුණා.,”

ප්‍රතිපත්ති ප්‍රකාශයේ වූ ඇතැම් පොරොන්දු ඉටුකිරීමට නොහැකි විය. ඉඩම් සම්පාදන (විශේෂ) ඉන් එකකි. ඉඩම් අහිමි පුද්ගලයින්ට ඉඩම් ලබාදීම එයින් අරමුණු කැරිණ. එයට විරෝධය එල්ලවූයේ වෙනත් කාරණා මධ්‍යයේම, දේශපාලනමය කාරණා මුල්කරගෙනය.

“ජනපතිවරයෙක් ලෙස පත්වීමට වික්‍රමසිංහට තිබුණු වුවමනාව නිසාම දෝ, ඔහුට වාසියක් ගෙන දිය හැකිව තිබුණු දේවල් නොසලකා හැරුණා“ යන්න  ඒකනායකගේ අදහසයි.

ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවක් ස්ථාපිත කැරුණු අවස්ථාවේ සියලුම වැදගත් තීරණ එම කමිටුව හරහා ගැනෙන බවට ජනපතිවරයාට ඒත්තු ගැන්විණ. කාලයක් ගෙවී එම කමිටුව විසිරුවා හැරුණු අතර, ඒ වෙනුවට ජනපතිවරයා ජාතික ආර්ථික කවුන්සිලය පත් කළේ ය. එයින් පසුව අදාළ සියලුම තීන්දු තීරණ ගත්තේ එම කවුන්සිලයයි. නමුත් මෙම කවුන්සිලය ද, පසුව විසිරුවා හැරිණ. එය සුදු අලියෙක් බව, ජාතික ආර්ථික කවුන්සිලය ස්ථාපිත කළ ජනපති සිරිසේනම පැවසුවේ ය.

ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව නොමැති නිසාම ආර්ථිකය පිළිබඳ වැදගත් තීරණ ගැනීමට හැකියාවක් නොතිබිණ.

“ඒක බලය සම්බන්ධ දෙයක්“ යයි ඒකනායක මහතා අවධාරණය කළේ ය.

“ඔවුන්ට ආර්ථිකය ගැන කිසිම වගක් තිබුණේ නැහැ,” යයි ඔහු වැඩිදුරටත් කීවේය.

දෙපාර්ශ්වය අතර සබඳතා බිඳවැටෙමින් පැවතුණු වාතාවරණයක, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සමග ගැටලු නිරාකරණය කර ගැනීමට මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර යන අමාත්‍යවරු උත්සාහ කළහ. ඇතැම් අවස්ථාවල අගමැතිවරයා ද, ජනපතිවරයා හමුවට දූත පිරිස් යොමු කළේ ය. වරක්, පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කිරීමට ජනපතිවරයාට වුවමනා විය. නමුත් ඉහත අමාත්‍යවරුන් දෙපළ, ජනපතිවරයා සමග සාකච්ඡාවෙන් යහපාලන රජය තවදුරටත් ඉදිරියට ගෙනයාමට සමත් විය.

දෙපාර්ශ්වය අතර වෙනස්කම් හුවා දැක්වූ නිලධාරීන් කිහිප දෙනෙක් සිටියහ. අනෙක් අය පැවැති ක්‍රමය යටයේ රාජකාරි කිරීමට සිටියේ බියෙනි. ඔවුන් කුමක් කළ ද, ඒවා අත්හිටුවීමට ජනපතිවරයා සූදානමින් සිටින්නේය යන්න එම නිලධාරීන් වටහාගෙන සිටීම එයට හේතුව විය.

“ඔවුන් පත්කර තිබුණේ ජනපතිවරයා නිසාම, ඔවුන් නිසඟයෙන්ම ඇසුවේ ජනපතිවරයා පවසන දෙය. අපි ගත් දුරකතන ඇමතුම්වලට ඇතැම් ලේකම්වරු පිළිතුරු දුන්නේ නැහැ. ඔවුන් එම තනතුරුවලට පත්කර තිබුණේ ජනපතිවරයා නිසා ඔවුන් කටයුතු කළෙත් ඔහුටම පක්ෂවයි. නමුත් ඔවුන්ගෙන් 96% ක්ම වාගේ සහයෝගයෙන් වැඩ කළා. එසේ නොවූ අවස්ථාවල අපි අමාත්‍යවරුන් හා සම්බන්ධව ඔවුන්ගේ සහායෙන් වැඩකටයුතු කළා.”

පැවැති රජයේ පාලන සමයේ වූ ධනාත්මක දේවල් ද වේ. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කැරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉන් එකකි. තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කිරීම තවෙකකි. මොරගහකන්ද ව්‍යාපෘතිය, වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘතීන් පැවැති රජය සමයේ අත්කරගත් ජයග්‍රහණයන් වේ. අධිවේගී මාර්ග ව්‍යාපෘතීන් ආරම්භ කිරීම ද, මෙයට ඇතුළත්ය.

වරද වූයේ එම රජය කළ වැඩකටයුතුවලට නිසි ප්‍රසිද්ධියක් ලබා නොදීමය. එය රජය ආරම්භයේ සිටම පැවැති දුර්වලතාවයකි. පැවැත්වූ වැදගත් රැස්වීම් සහ ගැනුණු වැදගත් තීරණ ගණනාවකි. නමුත් ඒ කිසිවෙකටවත් නිසි මාධ්‍ය ආවරණක් හිමි නොවිණ. ජනතාව රජයේ ක්‍රියාකාරීත්වය දුටුවේ නැත. තත්ත්වය මෙසේ වූ හෙයින්, විපක්ෂයට කාරිය පහසු විය. මාධ්‍ය භාවිතා කිරීමේ මූලෝපායක් රජයට නොතිබුණු අතරම, මාධ්‍ය හසුරුවා ගැනීම ද, නිසි පරිදි සිදුනොවීය.

“වසර 4 හමාරක කාලයක් පුරාවට දේශපාලනමය වෙනස්කම් පැවතුණත්, රාජ්‍ය පරිපාලන තන්ත්‍රණ නිසි අයුරින් ක්‍රියාත්මක වූ බව මතක තබාගත යුතුම කාරණයක්. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ රටේ ඊළග ජනපතිවරයා පත්කරගන්නා තෙක්ම එම කටයුතුවල කිසිදු බිඳවැටීමක් වුණේ නැහැ.”

කනිෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් වූ විදෙස් සංචාරවලට ඇතැම් අවස්ථාවල ඇතැම් අමාත්‍යංශ ලේකම්වරු සහභාගී වූහ. එනිසාම පරිපාලන කටයුතුවලට බාධා එල්ල විය. මෙසේ ඇතැම් ලේකම්වරුන් දිගින් දිගටම විදෙස් සංචාරවල නිරත වීම නිසා ටෙන්ඩර් රැස්වීම් නියමිත පරිදි පැවැත්වීම ප්‍රමාද විය. එසේ වසරක් පුරා ප්‍රමාද වූ ටෙන්ඩරයන් තිබිණ. මෙම තත්ත්වය හසුරුවාගත යුතුව තිබුණේ දේශපාලඥයින්ය. ලබා දී තිබූ නිදහස අයුතු ලෙස භාවිත කළ රාජ්‍ය නිලධාරීන්ද සිටි බව ඒකනායක සිහිපත් කළේ ය.

ජනපති ලේකම්වරයා ලෙස සේවය කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතාද, මෙම කාරණා ගැන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කළ බව ඔහු පැවසුවේ ය.

“අප දෙදෙනා ඉතාම බරපතළ ලෙස දේශපාලනමය ගැටුම් ඇතිවුණු කාලවලත් වැඩකළා. අපට හොඳ සන්නිවේදනයක් තිබුණා. යෝජනාවකට ජනපතිවරයාගෙන් අනුමැතිය හිමිවන ඇතැම් අවස්ථාවල ඔහු අගමැතිවරයා හමුවීමට පැමිණෙනවා. ඉඩම් පනත සම්බන්ධයෙන් කියනවා නම්, ඔහු පෞද්ගලිකවම පැමිණ අගමැතිවරයා හමුවුණා. ඒ සම්බන්ධයෙන් ජනපතිවරයා පළකර තිබූ අදහසුත් අපි එයට ඇතුළත් කළා. නමුත් එය සම්පූර්ණ කර අවසන් කිරීමට අපට නොහැකි වුණා,“

වරක්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත්කරන ලෙස නිර්දේශ කරමින් අගමැතිවරයා ජනපති සිරිසේන මහතාට ලිපියක් යොමු කළේ ය. එහෙත් මද්දුමබණ්ඩාර මහතා ජනපතිවරයා හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා කියා තිබුණේ එවැනි ලිපියක් තමාට නොලැබුණු බවය.

“වංචාවක් කර තිබෙන බවට චෝදනා කරමින් මද්දුමබණ්ඩාර මහතා අප හමුවට පැමිණියා. ලිපියක් යවා නොමැති බවයි ඔහු කියා සිටියේ. අවසානයේ අපට සිදුවුනා, එම ලිපියේ අප සතුව තිබූ පිටපත ඔහුට පෙන්වන්නට,”

අද වන විට රංජිත් මද්දුමබණ්ඩාර යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප කර එක්සත් ජාතික පක්ෂයෙන් බිදීගිය සාමාජිකයන් පිරිස ගොඩනගාගෙන සිටින නව දේශපාලන පක්ෂයේ, සමගි ජන බලවේගයේ, මහලේකම්වරයායි.

 

(***) දමිත් වික්‍රමසේකර 2020-10-18 සන්ඩේටයිම්ස් පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි

- පරිවර්තනය කෝවිද ගුණසේකර