එම්.සී.සී. ගිවිසුම රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. පසුගිය ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් බවටද එය පත්ව තිබුණි. මේ ගිවිසුම අත්සන් කළ යුතු බවට ඇතැමෙක් තර්ක කළහ. එහෙත් මේ හරහා රට බරපතළ අර්බුදයකට ලක්වන බව තවත් පිරිසකගේ මතය වී තිබුණි. කසාදයක් කරන විට මූලික සාධක රාශියක් නිසි ලෙස සපුරාගත යුතුය. පූර්ව සූදානමක් තිබිය යුතුය. එසේ නොමැතිව බලෙන් මනමාලියක් තෝරා දී ගැළපෙන කෙනා ඇයම බව පෙන්වමින් කෙරෙන විවාහයක් සාර්ථක වන්නේ නැත. එම්.සී.සී. ගිවිසුමද එවැන්නකි.

 පූර්ව සූදානමක් ඇතිව අවශ්‍ය සාධක සපුරා ගනිමින් මෙම ගිවිසුම සකස් වූ බවට සතුටුවිය හැකි සාධක මේ සම්බන්ධව සොයා බැලීමේදී හමුවූයේ නැත. වෙනත් තැනකින් සාදා ඇති ගිවිසුමක් අපට ලබාදී ඇති ආකාරය පෙනෙන්නට තිබේ.

ප්‍රධාන එම්.සී.සී. ගිවිසුමට පෙර තවත් ගිවිසුම් දෙකකට අත්සන් කර තිබේ. ඒ 2017 වසරේ සහ 2018 වසරේදීය. මේවා පෙර සූදානම් ගිවිසුම්ය.

එවැන්නකට අත්සන් තබා නැතැයි කිසිවකුටත් කිව නොහැක. මෙම ගිවිසුම් දෙකෙන් රටට සල්ලි ලැබුණද නැද්ද යන ප්‍රශ්නය අප කිසිතැනක මතුකර නැත. සල්ලි නොලැබුණා විය හැකිය. සල්ලි ලැබුණත් නැතත් ඊට අදාළ ගිණුම් රජයේ අදාළ ආයතනවල නැති බව පෙන්වා දී තිබේ. මුලින් දී ඇති ඩොලර් මිලියන 7.4කට සිදුවූ දේ ගැන සඳහනක් නැතිව තිබියදී එය තවත් ඩොලර් මිලියන 2.5කින් වැඩි කරන්නේ කුමන හේතුවකටද? මෙය විමතියට කරුණක් බව අපි සඳහන් කළෙමු. අරයා හෝ මෙයා හෝ මුදල් ගත් බවක් කිසිවිටෙක කියා නැත. එනිසා කැපුණු පණුවන් සේ දැඟලීමේ වුවමනාවක් නැත. හොරාට කලින් කෙසෙල් කැන වැට පනින්න වුවමනා නැත. අප ප්‍රශ්න කරන්නේ 2018 අත්සන් කළ ගිවිසුම අනුව ලැබුණු ප්‍රදානයට වූයේ කුමක්ද යන්න පමණි. එවැනි ප්‍රදානයක් ලැබුණේ නැති නම් සාධක සහිතව ඒ බව කියා සිටින්නටද පුළුවන. විවාහයක් කරගත් පසු වසරක් දෙකක් ගිය පසුත් මනමාලි කැන්දාගෙන නොයන්නේ නම් එතැන ප්‍රශ්නයක් තිබේ. ඒ වගේම එය විමතියට කරුණක් නොවන්නේද? ගිවිසුමක් අත්සන් කර වසර දෙකක් ගිය පසුත් මුදල් ලැබී නැතැයි කීම පුදුම සහගතය. පුදුමයට කරුණක් නොවන්නේ මේවා ප්‍රශ්න නොවේ නම් පමණි.

තිබෙන කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ මේවා සිදුවූයේ කෙසේද යන්නය. විනිවිදභාවය දශමයකින්වත් මේවාට ගෑවී ඇති බවක් පෙනෙන්නට නැත. එම්.සී.සී. යන නම පසෙකින් තැබුවහොත් හෙට දවසේ කිසිදු විනිවිදභාවයක් නැතිව මෙවන් ගිවිසුම් ඇති විය හැකිය. තවත් දිනෙක තවත් රටක් සමග සමාජය, රට නොදන්නා ගිවිසුම් ඇති වන්නට පුළුවන. මේ කුමක් වුවත් ලංකාවට විදේශ සම්පත් ප්‍රදානයක් ලැබුණුවිට එය කළමනාකරණය වන සාමාන්‍ය ක්‍රමවේදයක් තිබිය යුතුය. මුදල් ලැබෙන ක්‍රමයක් තිබිය යුතුය. මුදල් නොලැබුණේ නම් ඒ පිළිබඳ ප්‍රශ්න කෙරෙන ක්‍රමයක් හා එසේ ප්‍රශ්න කරන පුද්ගලයකු සිටිය යුතුය. විමර්ශන විය යුතුය. මුදල් ලැබුණේ නම් ඒවා කොතැනක හෝ වාර්තා විය යුතුය. ඇතැම්විට සෘජුව නොව වක්‍රව මුදල් ලැබෙනවා විය හැකිය. එහෙත් ඒවා විය යුත්තේ යම් අනුමැතියකට යටත්වය. මුදල් ලැබුණු ආකාරය, ගෙවීමක් කළේ නම් එම දත්ත යනාදිය පැහැදිලිව වාර්තාවීම අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් ඉහත ගිවිසුම්වලදී එය කෙරුණු ක්‍රමවේදය කුමක්දැයි බරපතළ ප්‍රශ්නයකි. අපට තිබෙන ලොකුම ප්‍රශ්නය වන්නේ අදාළ ක්‍රමවේදය අනුගමනය කර නොතිබීමය.

එම්.සී.සී. ගිවිසුමට අදාළව විදේශ කටයුතු අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශයට ලිපියක් යවා තිබේ. මෙහි තිබෙන අවදානම් පැතිකඩ කීපයක් එමගින් මතුකර තිබේ. අවම වශයෙන් එම අන්තර්ගත කරුණුවත් සැලකිල්ලට ගෙන ඇති ආකාරයක් පෙනෙන්නට නැත. ඒ වගේම එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකළ යුතු බවත් එහි තිබෙන බරපතළ කාරණාත් පෙන්වා දෙමින් එවක ජාතික ආර්ථික සභාව පවා ජනාධිපතිවරයාට වාර්තාවක් ලබාදී තිබුණි. ඒ එක් කරුණක්වත් ඇමැති මණ්ඩලයවත් සැලකිල්ලට ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. රටක් සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී තමන්ට සිතෙන සිතෙන ආකාරයට කටයුතු කිරීමේ නිදහසක් තිබිය නොහැක. යම් කරුණකට අදාළව රටේ තිබෙන විශේෂඥ ආයතන යමක් පෙන්වාදුන් පසු ඒවා පිළිබඳ නිසි විමර්ශනයකින් පසුව තීන්දු තීරණ ගත යුතුය.

ඇමෙරිකානු එම්.සී.සී. පමණක් නොව වෙන කුමන රටක් සමග වුවත් ගිවිසුම් අත්සන් කරනවා නම් ඒ රට වෙනුවෙනි. එනම් මහජනතාව වෙනුවෙනි. එසේ නම් මේ ගිවිසුම්වල රාමුව සහ කොන්දේසි සියල්ල ජනතාවට ඉදිරිපත් කළ යුතුය. ඒවා සම්බන්ධ සංවාදයක් ඇතිකර විනිවිද පෙනෙන ක්‍රමවේදයක් යටතේ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය සාධකයකි. පාර්ලිමේන්තුවට මේවා ඉදිරිපත් කර නිසි බහුතරයෙන් සම්මත කර ගැනීමෙන් පසු රට වෙනුවෙන් අත්සන් කරනවා හැර ඉන් පරිබාහිරව මෙවන් ගිවිසුම් අත්සන් නොකළ යුතුය යන නිර්දේශය එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවට අපි ඇතුළත් කළෙමු. එය එම්.සී.සී.වලට පමණක් අදාළ වන්නක් නොවේ. ඕනෑම රටක් සමග ඇතිකර ගන්නා ගිවිසුමකට අදාළය. හම්බන්තොට වරාය චීනයට දෙන විට ඒ සම්බන්ධව විමසුවේ කාගෙන්ද? ජනතාවගෙන් විමසුවාද?

ආණ්ඩුවක් යනු වසර හතරකට හෝ පහකට තාවකාලිකව රට කළමනාකරණයට පත්කර ගන්නා යාන්ත්‍රණයකි. ජනතාවගේ අයිතිවාසිකම් වසර 99කට වෙනත් පාර්ශ්වයකට ලබාදීමේ හැකියාවක් ඒ අයට තිබේද? මෙවැන්නකට අනුමැතිය දුන්නේ කවුද? කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ප්‍රශ්නයක් මතුවූවේද මෙවන් කාරණා හේතුවෙනි. ඊට අදාළ ගිවිසුම් අත්සන් කළේ කවුද? එවන් ගිවිසුමක් අත්සන් කරන බව මේ රට දැන සිටියාද? ඒ ගිවිසුමේ තිබෙන්නේ මොනවාදැයි ජනතාව දන්නවාද? මෙවැනි ගිවිසුම් හරහා පිටරැටියන්ට උකස් කරන්නේ මේ රටේ ජනතාවගේ අයිතිය නොවේද? මේ ආකාරයට රටක කටයුතු සිදුවිය හැකිද යන්න අපට තිබෙන ප්‍රශ්නයයි. මෙවන් කටයුතුවලට අදාළව මේ රටේ ක්‍රමවේදයක් නැති බව යළි යළිත් තහවුරු වී තිබේ. එනිසා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරැකෙන ආකාරයට විනිවිද පෙනෙන සුළු ක්‍රමවේදයක් වහා සකස් විය යුතුය. ඒ වගේම එය නීතිගත විය යුතුය. එසේ නොවුණහොත් ඉදිරියටත් රටට ජනතාවට අහිතකර ක්‍රියා සිදුවිය හැකිය.

විදේශ බලවේගයක හෝ දේශීය කල්ලියක වුවමනාවට මේවා සිදුවූවාදැයි ගැඹුරු විමර්ශනයකින් සොයාගත යුතුය. යම් ගිවිසුමක් අත්සන් කරනවා නම් එය විය යුත්තේ කෙසේද යන නීතිගත ක්‍රමවේදයක් රට තුළ නැත. තිබෙන ප්‍රමුඛ ප්‍රශ්නය එයයි. ගෙදර දොරට යතුරක් නැති නම් ඕනෑම කෙනෙකුට එය විවෘත කරගෙන ගෙදරට ඇතුළුවිය හැකිය. එසේ ඇතුළු වූ පසු පොලිසියට යාමට, තවත් කාරණා සම්බන්ධව සෙවීමට ආදී කාරණා රැසක් තිබිය හැකිය. එහෙත් ගෙදර දොරට යතුරක් දමා ගැනීම ඊට වඩා ගැළපෙන ක්‍රමය නොවේද? දොරට යතුරක් නැති බව එම්.සී.සී. අපට උගන්වන ප්‍රධාන පාඩමය. එසේ නම් අප කළ යුත්තේ දොරට යතුරක් සවිකර ගැනීමය. මෙතැනදී වැදගත් වන්නේ වැරැදිකරුවන් සොයනවාට වඩා පාඩමක් උගෙන නිවැරැදි වීමය. වැරැදිකරුවන් සිටිනවා නම් ඔවුන් සොයා ගැනීම විමර්ශන ආයතන සතු වගකීමකි.

රටට මුදල් ලැබිය යුතු ක්‍රමය, ව්‍යාපෘති විශ්ලේෂණය විය යුතු විධිය ආදිය සම්බන්ධව මේ රටේ අනුගමනය කළයුතු ක්‍රමවේදයක් තිබේ. මේවා නීතිගත වී නැති බව වෙනම කතාවකි. විදේශ සම්පත් කළමනාකරණය විය යුත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙනි. ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවක්ද තිබේ. එයට පැවරී ඇත්තේ වෙනම වගකීමකි. එහෙත් එම්.සී.සී. ගිවිසුමට අදාළව මේ ආයතනවලින් විය යුතු කාර්ය පටිපාටි කිසිවක් සිදුව ඇති බවක් පෙනෙන්නට නැත. ඇතැම් ආයතනවල සේවය ලබාගෙන නැත. ප්‍රධාන නීතිමය යතුරක් රටේ නැති අඩුව එක් පැත්තකින් පවතින අතර පවත්නා ක්‍රමවේදය අනුගමනය කිරීමක්ද සිදුව නැත. යා යුතු පියගැට පෙළේ නොගොස් නිවසට පිටින් පැනපු ස්වභාවයක් පෙනෙන්නට තිබේ. සියල්ල රටට, ජනතාවට වසන්ව සිදුව ඇති ස්වභාවයක් එම්.සී.සී. ගිවිසුම සම්බන්ධව සොයා බලනවිට පැහැදිලිව පෙනෙන කාරණයකි. එතැනදී පමණක් නොව මුලින් කී ආකාරයට නැගෙනහිර පර්යන්තයේ ප්‍රශ්නය ජනතාව, රට දැන සිටියාද? වරාය සේවකයන් තිදෙනකු දොඹකරයකට නගින තෙක් මේ රටේ ජනතාව එවන් ගිවිසුමක් ගැන දැන සිටියේ නැත. ජනාධිපතිට, අගමැතිට, වරාය ඇමැතිට හෝ එහි සභාපතිට වරාය අයිති නැත. එය අයිති මේ රටේ ජනතාවටය. මේ සම්පත් අනාගත පරම්පරාවලද උරුමයයි. එවන් උරුමයක් ගැන රට, ජනතාව නොදැන තීන්දු තීරණ ගැනීමට නොහැක. එනිසා යතුරකුත් නැතිව ගෙදර දොර විවෘතව පැවැතීම බරපතළ ප්‍රශ්නයකි. වහාම එම ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුය.

“ආර්ථික කොරිඩෝවක්” යන වචනය එම්.සී.සී. අවසන් ගිවිසුමේ කොතැනකවත් සඳහන්ව නැත. සෘජුව නමින් සඳහන් නොවූවද එවැන්නකට අවශ්‍ය සාධක වක්‍රාකාරව මෙහි අන්තර්ගත වී තිබේ. ගුණරුවන් යන නම නැතිව ගුණරුවන් ගිවිසුමකට ඇතුළත්වන ආකාරයට ගිවිසුමක් අත්සන් කළ හැකිය. කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, එම්.සී.සී. කමිටුවේ සභාපති, හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි යනාදී වශයෙන් ලියූ විට ගුණරුවන් හැර වෙනත් කෙනෙකු නැත. ‘‘ආර්ථික කොරිඩෝව” සම්බන්ධ කාරණයද එම්.සී.සී. ගිවිසුමේ තිබෙන්නේ එලෙසය. අවසන් ගිවිසුමෙන් මෙම වචනය ඉවත්කර තිබුණද ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය, මාතලේ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, ගම්පහ යනාදී දිස්ත්‍රික්කවල ඉඩම් මැන රජයේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ එම්.සී.සී. ගිවිසුමේ තිබේ. මේ වැඩ පිළිවෙළ යටතේ ඉඩම් ටික වෙළෙඳ පොළට ගියවිට ඒවා අන්‍යකරණය වීමට ඉඩ තිබේ.

ඩී.එස්. සේනානායක මහතා ජනතාවට ලබාදී ඇති ගල්ඔය, මහවැලි ඉඩම් විකිණෙන්නේ නැත්තේ ඒවා විකිණිය නොහැකි නිසාය. සින්නක්කර ඔප්පු නැති නිසාය. එම්.සී.සී. ගිවිසුමෙන් සැලසුම්කර තිබෙන්නේ සින්නක්කර ඔප්පු දීමටය. මෙය දේශපාලනිකව ආකර්ෂණීය වූවකි. තමන්ගේ ඉරණම කුමක්ද කියා ඔප්පුව ගන්න කෙනාවත් දන්නේ නැත. ප්‍රශ්නය මතුවන්නේ මගේ ණයට ඔප්පුව සින්න කරන්න යැයි මුදලාලි කියන විටය. අවසානයට ඉතිරි වන්නේ ඉඩම් අහිමි ගොවිජනතාවය. ඉඩම් කීපයක් එකතුකර ගන්නා මුදලාලිලාට මහා පරිමාණ කෘෂිකර්මයට යාමට නම් පුළුවන. විදේශිකයන් ඔවුන්ගේ මුදලට සාපේක්ෂව මෙරට ඉඩම්වලට ගෙවන්නේ සොච්චමකි. එය තවත් තරමක් වැඩිකර දුන්විට මෙරට ඉඩම් සියල්ල විදේශිකයන් සතු වීමේ අවදානමක් මේ තුළ තිබේ. ඉහත කී දිස්ත්‍රික්ක දෙස බලනවිට නිරිත දිග සිට ඊසාන දිගට ඇඳුණු රේඛාවක් දැකගත හැකිය. රටේ යම් පදාසයක් වෙන්ව පෙනෙන්නට තිබේ. “ආර්ථික කොරිඩෝව” වශයෙන් ඇත්තේ එම කොටසය. මෙම නම ගිවිසුමේ නොතිබුණද එවැන්නකට අවශ්‍ය අනෙක් සියලු කාරණා එම්.සී.සී. ගිවිසුමේ ඇතුළත්ය. අවසන් ගිවිසුමට පෙර පසුගිය මාර්තු මාසය දක්වාම “ආර්ථික කොරිඩෝව” යන නම මෙහි තිබූ බවද අමතක නොකළ යුතුය. ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවල පවා ඒ නම තිබේ. එහෙත් පසුව නම ඉවත් කර වැඩසටහන පමණක් ඇතුළත් කර තිබේ. ආර්ථික කොරිඩෝවක් ගැන මේ ගිවිසුමේ නැතැයි ඇතැම් අය තර්ක කරන්නේ මේ නිසාය.

ඉඩම් ලියාපදිංචිය විධිමත් කිරීම හොඳය. අවුල් වී ඇති තැන් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න නිරාකරණයේ වරදක් නැත. එහෙත් ඒවා විය යුත්තේ ඉඩම් හා සම්බන්ධ රජයේ ආයතන හරහාය. මේවා විය යුත්තේ රටේ ආරක්ෂාව සම්බන්ධ සංවේදී තොරතුරු පිටට නොයන ආකාරයෙනි. උපායශීලීව වැදගත් ත්‍රිකුණාමල වරායේ හතර මායිම මේ රටේ අදාළ අංශ පමණක් දැනගැනීම ප්‍රමාණවත්ය. චීන වරායේ ඇති ගුවන් හමුදා කඳවුරේ හතර මායිම විදේශිකයන් දත යුතුද? ඉහත කී තීරුවේ වැව් අමුණු කීයක් තිබේද? මේ එක වැව් බැම්මක් පිපිරුවහොත් ගම් කීයක් යටවේදැයි ගණනය කර ගැනීම අපහසු නැත. ආරක්ෂාව සහ ආර්ථික වශයෙන් සංවේදී මෙවන් කාරණා රාශියක් තිබිය හැකිය.

එම තොරතුරු පොදුවේ සෑම කෙනෙකුම දැනගත යුතු නැත. ඒවා රහසිගතව තිබිය යුතුය. ඇමෙරිකාවේ පෙන්ටගනයේ තොරතුරු කාට හෝ ලබාගත හැකිද? ලංකාව සම්බන්ධ මෙවන් තොරතුරු පිටට යාම වැළැක්වීමට මේ ගිවිසුමේ ප්‍රතිපාදන තිබේද? එම්.සී.සී. ආයතනයේ අනුමැතිය නැතිව ඉඩම් මැනීම ආදියට ආයතන තෝරාගත නොහැක. ලංකා රජයේ අනුමැතිය අවශ්‍ය නැත. ඒ අනුව බොහෝ දුරට මේ ආයතන රටින් බැහැර ඒවා විය හැකිය. එවන් ආයතන මෙරට ඉඩම් මැන්න පසු එම තොරතුරු ඔවුන් සතුය. මෙසේ සකසන දත්ත සිතියම් ආදී සියල්ල ලංකා රජය එම්.සී.සී. ආයතනයට බාර දිය යුතු බවද මේ ගිවිසුමේ සඳහන්ය. මේවා මේ රටේ කළ හැකි දේවල්ද? නිවසක් සාදා ගැනීමට ආධාර දී නිවසේ සියලු අයිතිය ආධාරය දුන් පුද්ගලයා සතුකර ගන්නේ නම් එතැන ප්‍රශ්නයක් නැතිද? ලබාදී ඇත්තේ ආධාරයක්ද? එම්.සී.සී. ගිවිසුමේ ඇතුළත් මෙවන් කොන්දේසි සියල්ල රටට අහිතකරය.

ඒ වගේම විදේශවලින් යම් උපකරණ, ද්‍රව්‍ය ගෙන්වන්නේ නම් ඒවා වරායේ රඳවා ගැනීමේ හැකියාවක්, අයිතියක් නැත. ඇක්සා සහ සෝෆා යනුවෙන් ගිවිසුම් දෙකක්ද එම්.සී.සී. ගිවිසුම යටතේ තිබේ. ආරක්ෂක අංශවලට යම් පහසුකම් ලබාදී ඇත්තේ ඒ යටතේය.


(***සටහන - චමින්ද මුණසිංහ)