ජනාධිපති නීතිඥ ආචාර්ය
ජයතිස්ස ද කොස්තා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතියයි. අප මේ වනවිට පාලනය වෙමින් සිටින 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව යනු 19 වැනි වතාවක් සංශෝධනයට ලක් වූ මූලික නීතිය යැයි කීමෙහි වරදක් නැත. විසි වැනි වතාවටත් සංශෝධනය වීමට නියමිත මෙකී මූලික නීතියේ ක්‍රමික විකාශනය ගැන කතා කිරීම මේ මොහොතේ වටී. විශේෂයෙන්ම රටේ මූලික නීතියේ මූලික හැඩතල කොතෙක්දුරට වෙනස්වීදැයි අපට නිරීක්ෂණය වනු ඇත්තේ එවැනි විමසා බැලීමකිනි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ගෙනඑනු ලැබූ 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමු වැනි වරට සංශෝධනය කෙරුණේ 1978 නොවැම්බර් 20 වැනිදාය. හරියටම කිවහොත් දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනැවිත් මාස කීපයකිනි.

එමගින් සිදුවුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තිය සංශෝධනය කිරීමය. අභියාචනාධිකරණයෙන් කෙරෙන නීති කටයුතු ඇතැම් විශේෂ කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවැරීම එයින් සිදු විය. 1979 පෙබරවාරි 26 වැනිදා කෙරුණු දෙවැනි සංශෝධනය නම් තනිකරම දේශපාලන අරමුණකින් කෙරුණකි. යම් පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තමන් තේරී පත් වූ පක්ෂයෙන් ඉවත් වූ හෝ නෙරපා හරිනු ලැබූ අවස්ථාවක මන්ත්‍රී ධුරය අහිමිවීමට සීමා පැනවීමය. මන්ත්‍රී ධුර අටක් දක්වා පහළ බැස අතිශයින් දුර්වලව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අඩපණ කිරීම මෙහි අරමුණ විය.

එජාපයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා විසින් ගන්නා ලදැයි යන මතය යටතේ මෙවැනි සංශෝධන පහසුවෙන් කරගැනීමට හැකි විය. 1982 අගෝස්තු 27 කෙරුණු 3 වැනි සංශෝධනයේ අරමුණ වූයේ නියමිත ධුර කාලය නිමාවීමට පෙර තමාට නැවත වාරයක් බලයට පත්වීම සඳහා ජනවරමක් ඉල්ලා ජනපතිවරණයක් කැඳවීමට අවස්ථාව ලබාගැනීමය. 4 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙරුණේ එම වසරේම දෙසැම්බර් 23 වැනිදාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි පරිච්ඡේදයේ 161 (ඊ) සංශෝධනය මෙමගින් විය. 1977 දී බලයට පත් පාර්ලිමේන්තු නිල කාලය තවත් වසර හයකින් දීර්ඝ කරගැනීමේ අරමුණෙන් කෙරුණු මෙම සංශෝධනය අනුමත වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය විය. මෙරට දේශපාලන ඉතිහාසයේ ලාම්පු කළගෙඩි ඡන්දය නමින් කුප්‍රකට වූයේ මෙම ජනමත විචාරණයයි. එමගින් එක්සත් ජාතික පක්ෂය ජයගත්තත් එයින් මෙරට දේශපාලනයට කෙරුණු බලපෑමේ විනාශය අතිමහත්ය. ඉන් වසරකට පසු 1983 පෙබරවාරි 23 වැනිදා කෙරුණු 5 වැනි සංශෝධනයෙන් කෙරුණේ අතුරු මැතිවරණ පවත්වා නව මන්ත්‍රීවරුන් තෝරාගැනීමට අවස්ථාව උදාකරදීමයි. එයින් මාස කීපයක ඇවෑමෙන් කෙරුණු 6 වැනි සංශෝධන මගින් මෙරට වාර්ගික ගැටලුව තවත් සංකීර්ණ කෙරිණි.

1983 කළු ජූලියෙන් පසුව හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස කෙරුණු මෙමගින් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යක් වෙනුවෙන් පෙනී සිටීම පක්ෂවලට හා පුද්ගලයන්ට තහනම් කෙරුණු අතර ඒ වෙනුවෙන් වෙනම දිවුරුමක් දෙන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදු විය. එවකට ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ වූ බැවින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු වරම් අහිමි විය. 6 වැනි සංශෝධනයෙන් මාස දෙකක් ඇවෑමෙන් 1983 ඔක්තෝබර් 04 වැනිදා 7 වැනි සංශෝධනය ද ගෙන එනු ලැබිණි. කිලිනොච්චිය ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක අතරට අලුතින් එකතු වූයේ එමගිනි.

දේශපාලනයට ඍජුව බලපෑමක් නොකළ සංශෝධනයක් හැටියට සැලකෙන්නේ 8 වැනි සංශෝධනයයි. නීතිඥ වෘත්තියෙහි විශිෂ්ටත්වයට පත්ව ඇති නීතිඥයන් ජනාධිපති නීතිඥයන් වශයෙන් පත්කිරීමේ පූර්ණ අභිමතානුසාරී බලය ජනාධිපතිවරයාට ලැබුණේ එමගිනි. ඊට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ මත එම පත්කිරීම් කරනු ලැබුවේ අග්‍රාණ්ඩුකාරවරයා හෝ ජනාධිපතිවරයා විසිනි. ශ්‍රී ලංකාව සමූහාණ්ඩුවක් වන තෙක් එකී නීතිඥයන් හඳුන්වනු ලැබුවේ රාජ නීතිඥයන් වශයෙනි. කෙසේ වෙතත් නීති ක්‍ෂේත්‍රයෙහි ලබාගත හැකි ඉහළම ගෞරවය තනිකරම ජනාධිපතිවරයාගේ අභිමතයට යට කිරීම මුළු මහත් නීති ක්‍ෂේත්‍රයම ප්‍රතික්ෂේප කළ කාරණයක් විය. බ්‍රිතාන්‍යයේ දී රැජන විසින් රාජ නීතිඥයන් පත් කරනු ලබන්නේ නව දෙනකුගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මතය. අගවිනිසුරුන් ප්‍රමුඛව බැරිස්ටර්වරුන් සොලිසිටර්වරුන් ඇතුළුව නීතිඥයන් නොවන පුද්ගලයෝ එහි සාමාජිකත්වය දරති. කමිටුවේ සාමාජිකත්වය හිමි වන්නේ නීති වෘත්තියෙන් බාහිර තැනැත්තකුටය. එම කමිටු නිර්දේශ වෙනස් කිරීමට අගවිනිසුරු හෝ වෙනත් විනිසුරෝ ඉදිරිපත් නොවෙති. ඒ අනුව රැජනට අභිමතානුසාරී බලයක් තිබුණත් රාජ නීතිඥයන් පත්කරන්නේ කුසලතා අනුව පමණි. එහෙත් ශ්‍රී ලංකාවේ සිදුවූයේ එතෙක් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ අනුව කෙරුණු පත්වීම ජනාධිපතිවරයාගේ අභිමතයට යටකිරීමය.

1984 අගෝස්තු 24 කෙරුණු 9 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ තේරී පත්වීමේ ව්‍යවස්ථාමය සීමා වඩාත් විස්තර කෙරුණු අතර 10 වැනි සංශෝධනය කෙරුණේ එයින් වසර දෙකකට පසුව 1986 අගෝස්තු 6 වැනිදාය. හදිසි නීතිය දිගටම පවත්වාගෙන යාමට තිබූ සීමා ඉවත් කිරීම එහි අරමුණ විය. 1987 මැයි 06 වැනිදා කෙරුණු 11 වැනි සංශෝධනයෙන් අධිකරණ පද්ධතිය පුළුල් ප්‍රතිසංස්කරණයකට භාජන විය. විශේෂ කරුණ නම් 12 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුව ද එය සම්මත නොවීමය. ඉදිරිපත් වූ ව්‍යවස්ථා සංශෝධන අතර වඩාත් විවාදකාරී මෙන්ම මතභේදයට තුඩු දුන් ව්‍යවස්ථා සංශෝධනය සිදුවුණේ ඉන් අනතුරුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංශ රැසකටම බලපෑම් එල්ල වූ 13 වැනි සංශෝධනය එයයි.

 1987 නොවැම්බර් 14 වැනිදා එය සම්මත කෙරුණේ ඉන්දීය රජයේ දැඩි බලපෑම මත අස්සන් කෙරුණු ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් හැටියටය. ආරම්භයේ සිටම පළාත් සභා ක්‍රමයට එරෙහිව රට තුළ පැවැති විරෝධතා හේතුවෙන් අදටත් ව්‍යුහයක් හැටියට එය තිබෙන්නේ ප්‍රශ්නසහගත තැනකය. සමානුපාතික නියෝජනය සහ මැතිවරණ කොට්ඨාස බෙදීම පිළිබඳ නීති ඇතුළත් කරමින් 1988 මැයි 24 වැනිදා 14 වැනි සංශෝධනය සම්මත කෙරුණේ ඉන් අනතුරුවය. එකම අවස්ථාවක දී සංශෝධන දෙකක් ඉදිරිපත් වූ අවස්ථාව වන්නේ 15 හා 16 වැනි සංශෝධන සම්මත කර ගැනීමය. 1988 ජනාධිපතිවරණයට පෙර මුස්ලිම් ඡන්දදායකයන් අතරේ ජනප්‍රිය වෙමින් පැවැති මුස්ලිම් කොංග්‍රසයේ සහාය පාලක එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ලබාගැනීමේ අරමුණෙන් 15 වැනි සංශෝධනය කෙරුණු බව දේශපාලන යථාර්ථයයි. කිසියම් ඡන්ද කොට්ඨාසයකින් මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීමට මූලික සුදුසුකම වූ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අටෙන් එකක් ගත යුතු බවට වූ නියමය මෙමගින් විස්සෙන් එකක් දක්වා පහළ හෙළනු ලැබිණි. සුළු ජන දේශපාලන පක්ෂවලට පැවැත්ම පිළිබඳ සහතිකයක් ලැබුණේ මෙම 15 වැනි සංශෝධනයෙනි. 16 වැනි සංශෝධනයෙන් කෙරුණේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විය යුතු වෙනස්කම් කිහිපයක් නීතිගත කිරීමය.

එයින් පසුව 17 වැනි සංශෝධනය සම්මත වන්නේ වසර දහතුනකට පසුව 2001 ඔක්තෝබර් 03 වැනිදාය. රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කිරීමේ මූලික අරමුණෙන් කෙරුණු 17 වැනි සංශෝධනය මෙරට දේශපාලන ඉතිහාසයේ ඒකච්ඡන්දයෙන් සම්මත වූ එකම ව්‍යවස්ථා සංශෝධනයයි. එයින් වසර නවයක ඇවෑමෙන් 2010 සැප්තැම්බර් 08 වැනිදා කෙරුණු 18 වැනි සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරය නැවතත් ශක්තිමක් කෙරුණි. ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණනේ සීමාව ඉවත් කරමින් 17 වැනි සංශෝධනය අහෝසි කිරීම එයින් සිදුවිය. නැවතත් 2015 මැයි මාසයේ දී 19 වැනි සංශෝධනයෙන් කෙරුණේ 18 වැනි සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන කොමිෂන් සභා අලුතින් ද ස්ථාපිත කිරීමය. විශේෂයෙන්ම දූෂණ හා වංචා මැඩලමින් රාජ්‍ය මූල්‍ය නියාමනයට ලක්කිරීම ගැන 2015 වනවිට පැවැති සමාජ සංවාදය ද එවැනි සංශෝධනයකට මහජන නියෝජිතයන් තල්ලු කිරීමට පාර කැපුවේය. අද වනවිට ප්‍රශ්නය වී තිබෙන්නේ කවර පරමාර්ථයෙන් හෝ කළ එම සංශෝධනවලින් මහජනතාවට ලැබුණු ප්‍රතිඵලය ප්‍රමාණවත්ද යන්නයි.

සමස්තයක් ලෙස සලකා බැලූ විට පෙනෙන්නේ මෙම සංශෝධන 19 නිසා වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුලින් තිබූ ආකාරයෙන් ක්‍රියාත්මක වීම කිසිම ආකාරයකින් නොකඩවා වී නොමැති බවය. උදාහරණයකට ගතහොත් මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණේ ජනාධිපතිවරයාට වසර හයක නිල කාලයකි. එහෙත් ඔහුට අවශ්‍ය පරිදි වසර හතරකින් පසු ජනවරමක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරණයක් කැඳවීමට ව්‍යවස්ථා සංශෝධනයකින් පාර කැපිණි. එය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙරුණු ප්‍රධාන වෙනසකි.

පක්ෂයේ ලේකම්වරයා හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා විසින් අනුපිළිවෙළට නම් කරනු ලැබූ අය වෙනුවට ඒ ඒ දිස්ත්‍රික්කවල මනාප ක්‍රමයක් අනුව මන්ත්‍රීවරුන් තෝරාගැනීමට ඉඩ සැලැසීම ද එසේය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු තනිකරම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමයේ ස්වභාවයම වෙනස් කළ සංශෝධනයකි. පළාත් සභා නමින් නව පරිපාලන රටාවක් හඳුන්වා දී උතුර හා නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීමට ඉඩ සැලැසුණේ ද එමගිනි. 17, 18 හා 19 යන සංශෝධන ද සැලකිය හැක්කේ එසේ ආණ්ඩුකරණයට අතිශයින්ම බලපෑ ව්‍යවස්ථා සංශෝධන හැටියටය.  මේ අනුව යම් යම් අවස්ථාවල දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ඇත්තේ ජනතාවගේ අවශ්‍යතාවට වඩා දේශපාලන අවශ්‍යතා අනුව බව පැහැදිලිය.

කෙසේ වෙතත් ජනවරමක් අනුව වර්තමානයේ කරන සංශෝධන ජනවරමක් නොමැතිව කළ සංශෝධන සමග පටලවා ගත යුතු නැත. ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය පවතින්නේ ජනතාව කෙරෙහිය. වර්තමාන පාලකයන්ට එක් වරක් නොව දෙවරක්ම පිට පිටම ජනවරමක් මගින් 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනයට අවස්ථාව ලැබී ඇත. එය ක්‍රියාත්මක කරන ආකාරය හා අන්තර්ගතය වෙන වෙනම විමසා බැලිය යුතු කරුණකි. ජනවරමක් යනු අනෙක් සියලු බලතල ඉක්මවා යන්නකි. මීට පෙර ද ශ්‍රී ලංකා ඡන්දදායකයෝ එක් අවස්ථාවක දී පැහැදිලිව 1970 දී එවකට පැවැති නාමික සෝල්බරි රාජාණ්ඩුව වෙනස් කර සමූහාණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනවරමක් දුන්හ. තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලය සහිතව ආණ්ඩුවක් බිහි වූ එම අවස්ථාවේ දී ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනම රැස්වී ලබා දුන් ජනවරම අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත්හ. ශ්‍රී ලංකාවේ පළමු ස්වයංජනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් වසර දෙකක් පමණ රැස් වී සියලු අදහස් විමසා එය ඉදිරිපත් කෙරුණේ 1972 දීය. ඊට පෙර සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පැවැති සෙනෙට් සභාව පාර්ලිමේන්තුව බවට පරිවර්තනය වී සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට යෝජනා සම්මත කරගත්තේය. එම වැඩපිළිවෙළ බැලූ බැල්මටම එවකට පැවැති සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වූ නමුත් සියලු දෙනාම එය එකහෙළා පිළිගත්හ. කිසිවෙක් එය අභියෝගයට ලක් කළේ නැත. 1972 දී ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව පැනවීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සියලු විනිශ්චයකාරවරු සහ සියලුම පාලනාධිකාරීහු එය පිළිගෙන ඊට අවනත වීමේ දිවුරුම දුන්හ. මෙම තත්ත්වය සලකාබැලීමේ දී ජනවරම අනුව ක්‍රියා කිරීමට ආණ්ඩුවට සදාචාරමය අයිතියක් ඇත.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)