ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම සිදුවී හමාරය. මෙවර ජනාධිපතිවරණයේ නාමයෝජනා ලැයිස්තුව දෙස බැලීමෙන් පෙන්නුම් කරන විශේෂතා කීපයක්ම තිබෙන බව ඉතාමත් පැහැදිලිය. ඒවා අතරින් එකක් වන්නේ මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව විකාර රූපී ආකාරයෙන් විශාලවීමය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන ආකාරයට මේ අනපේක්ෂිතව විශාල වූ අපේක්ෂක කණ්ඩායමේ නම් ලැයිස්තුව පේළියට මුද්‍රණය කර ඡන්ද පත්‍රිකාවක් ලෙසින් නිර්මාණය කරන විට එය අඩි දෙකකට වඩා දිගු වෙන බව පැහැදිලිය.

මේ ආකාරයේ ස්වාධීන අපේක්ෂකයන්ගේ ‘වැහි වැහීම’ හේතුවෙන් සිදුවිය හැකි තවත් දෙයක් වන්නේ ඡන්දය පාවිච්චි කරන අවස්ථාවේ ද බලාපොරොත්තු වෙනවාට වඩා වැඩි කාලයක් ගැනීමට සෑම ඡන්දදායකයකුටම සිදුවීමය. මේ තත්ත්වය කළමනාකරණය කර ගන්නේ කෙසේදැයි තවමත් කාටවත් පැහැදිලි නැතත් මේ කාල කළමනාකරණයේ ගැටලුව අනෙක් හැමවතාවටම වඩා වැඩි වශයෙන් මේ අවස්ථාවේ මතුවිය හැකි බව අනුමාන කළ හැකිය.

මේ ආකාරයේ දිග ජනාධිපති ධුර පෝලිමක් මෙවර නාමයෝජනා සඳහා ඉදිරිපත්වීම නිසා මූල්‍යමය වශයෙන් ද විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව කොමිසමේ සභාපතිවරයාගේ අදහසය. මේ ආකාරයෙන් විශාල පිරිසක් ජනාධිපතිධුරය සඳහා ‘සිහින මැවීම’ මගින් පෙන්නුම් කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණු ස්වභාවය බව සමහරුන්ගේ මතය විය හැකිය. ඒත් මා මේ තත්ත්වය තේරුම් ගන්නේ තරමක් වෙනස් ආකාරයෙන්ය. මේ ජනාධිපතිවරණ පෝලිමේ සිටින පළමුවැනි හා දෙවැනි අයගේ තරගය තිබෙන්නේ තම තමන් රටේ ජනාධිපතිවීමට බව සැබෑය. එහෙත් තුන්වෙනි හතරවැනි සිට පහළට සිටින සමහරුන් මේ සඳහා ඉදිරිපත් වෙන්නේ පළමු දෙදෙනාගෙන් එක් අයෙකුට ලැබෙන ඡන්දයෙන් කොටසක් තමන්ට ලබා ගනිමින් ඒ කියන ප්‍රධාන අපේක්ෂකයකු පරාජයට පත්කිරීම සඳහාය. මේ වාරයේ මේ  කියන කාණ්ඩයේ අපේක්ෂකයන් කීප දෙනකුම සිටින බව පෙනී යන කාරණයක්ය.

මේ අදහසට සම්බන්ධ නැති තවත් කණ්ඩායමක් මේ අපේක්ෂකයන්ගේ පෝලිමේ සිටින බව පැහැදිලිය. ඒ අය ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන්නේ හෝ ඒ සඳහා තමන්ගේ පක්ෂය පරිත්‍යාග කරන්නේ ඒ මගින් පොඩි ගනුදෙනුවක් කරගැනීමට විය හැකි බව ද සමහරු සිතති. ඒ අයට අවශ්‍ය වන්නේ එක්කෝ පක්ෂය විකුණා ගාණක් ගැනීමය. නැතහොත් පක්ෂයකින් ඉදිරිපත් වී ඒ ඉදිරිපත්වීම විකුණා ගාණක් හොයා ගැනීමය. මේ සියලු වර්ගීකරණවලට අයිති නැති අහිංසකයන් ද මේ ජනාධිපතිවරණ නාමයෝජනා ලැයිස්තුවේ සිටින බව මගේ මතයයි. ඒ අය ඉදිරිපත් වී ඇත්තේ ප්‍රධාන පක්ෂයකට තාක්ෂණික ආධාර ලබාදීම සඳහාය. ඒ කියන්නේ ප්‍රධාන පක්ෂයකට අවශ්‍ය ඡන්දපොළ කාර්යාල හා ඡන්දපොළ නිලධාරීන් ගණන වැඩිකර ගැනීම සඳහාය.

මේ අනුව මෙවර පවත්වන්නට යන්නේ රටේ ප්‍රධාන පුරවැසියාවීමට තමන් සුදුසු යැයි සිතන 35 දෙනෙකුගෙන් එක් අයකු තෝරා ගැනීමේ තරගයක්ය. ඒ සඳහා පිටිය සකස් කරන්නට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සියලු උත්සාහයන් ගනු ඇති බව අපේ බලාපොරොත්තුවය. ඇල්පිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ මේ ආකාරයේ ජනාධිපතිවරණයට පිටිය සකස් කරමින් සිටින අවස්ථාවක වීම මෙහිදී ඉතාමත් වැදගත් කාරණයය.

1978 අලුත් ව්‍යවස්ථාවෙන් මැතිවරණ ක්‍රමය වෙනස් කරන තුරුම යම් ආණ්ඩුවක් ඊළඟටත් පත්වන්නේ ද යන කාරණය පෙන්නුම් කරන හොඳ සාම්පල් එකක් බවට පත්වුණේ මැතිවරණයක් ආසන්නයේ පවත්වන අතුරු මැතිවරණයක් බව ඒ කාලය පිළිබඳව මතකයක් ඇති අය දන්නා කාරණයක්ය. 1975 වර්ෂයේදී දකුණු කොළඹ ආසනයෙන් ඉල්ලා අස්වී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් කරන ලද අභියෝගයත් ඒ ආකාරයේ එකක් විය. ඒ අතුරු මැතිවරණයෙන් ජයවර්ධන මහතා ජයගත්තා පමණක් නොව එවකට බලයේ සිටි බණ්ඩාරනායක ආණ්ඩුවම ඊළඟ මැතිවරණයේදී පරාජයට පත්කරන්නට ඒ අතුරු මැතිවරණය හේතු වූ බව පැරැන්නන් කියන කතාවක්ය.

මේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ ඇල්පිටිය ගැන කතා කිරීමට නොව ජනාධිපතිවරණයේ පිටිය සකස් කිරීම ලෙසින් මා අදහස් කරන මූලික කාරණා කීපයක් මතු කිරීමටය.

මගේ අදහස වන්නේ අපේ රටේ මේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ ආමන්ත්‍රණය කළ යුතු  ප්‍රධාන මාතෘකා දෙකක් තිබෙන බවයි. එය නම් කළ හැක්කේ සංවර්ධනාත්මක එළඹුම (Development Approach) සහ ප්‍රතිසංස්කරණමය එළඹුම (Reformist Approach) ලෙසින්ය. ඒ කියන්නේ මෙවර ජනාධිපතිවරණයේ සාකච්ජා කළ යුතු ප්‍රධාන මාතෘකාවන් ලෙසින් මතුවී ඇති කාරණා දෙකක් ලෙසින් මේ දෙක වැදගත් බවයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සමාජයත් සමඟ සාකච්ජා කළ යුත්තේ ඒ අයගේ නැති බැරිකම හෝ තමන් ජනතාව වෙනුවෙන් මැරෙන්න බය නැතිකම හෝ වැනි වල්පල් නොව ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඒ අය තුළ ඇති සූදානම පිළිබඳවයි.

ඒ අර්ථයෙන් මා යෝජනා කරන්නේ රටේ සංවර්ධන ඉලක්ක සඳහා තමන් සතු සැලසුම් කවරේද කියා නිශ්චිතව ඉදිරිපත් කිරීමත් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා තමන් සතු සැලසුම් කවරේදැයි නිශ්චිත ඉදිරිපත් කිරීමත් යන දෙඅංශය ඉතාමත් වැදගත් බවයි.

2015 ජනාධිපතිවරණයේ මතුවූ සංවාදය ලෙසින් අපට පෙනී ගියේ හුදු ආටෝපමය වශයෙන් මතුපිටින් සිදුකරන සංවාදයක් සමාජගතවීමත් ඒ වගේම හුදු බොරු අලංකාරිකයන් රාශියක් දේශපාලන වෙනස ලෙසින් සමාජගතවීමත්ය. ඒ නිසාම 2015 ජනාධිපතිවරණ දේශපාලනයේ පිටිය ලෙසින් සකස් වූයේ රටේ සැබෑ ප්‍රශ්නවලට වඩා හුදු එන්ජීඕකාරයන්ගේ අවශ්‍යතා පද්ධතියක් මතුවීම යැයි කීමේ වැරැද්දක් නැත. රටේ ජනතාවගේ එදිනෙදා ජීවිතය වෙනස් කරන පළල් ආර්ථිකමය වූ සංවර්ධනාත්මක මැදිහත්වීමක් ඒ ජනාධිපතිවරණයේ පදනමක් ලෙසින් ගොඩ නොනැඟුණා පමණක් නොව ඒ හේතුවෙන් රටේ මතුවුණේ වෙනසක් ලෙසින් මවා පෙන්වන හුදු කතාවක් බව මේ වනවිට ක්‍රියාවෙන්ම පෙන්නුම් කර හමාරය.

ව්‍යවස්ථාව වෙනස් කිරීම වැනි ඉහල මාලයේ අවශ්‍යතා වෙනුවෙන් පමණක් රජය මෙහෙයවන්නට 2015 ජනාධිපතිවරණ වේදිකාව තෝරා ගැනීම නිසා සිදුවුණේ වසර පහක් තිස්සේම නොකෙරෙන වෙදකමක් පස්සේ දිවීමක් වැනි දෙයක් බව මගේ අදහසය. අනෙක් අතට 2015 ජනාධිපතිවරණ වේදිකාවේ තිබුණු දූෂණ විරෝධයත් හුදු තෝරාගත් කණ්ඩායමකට එරෙහිව පමණක් එල්ල කරගත් දූෂණ විරෝධයක් බව දැන් හැමෝම දන්නා කාරණයක්ය.

පසුගිය සඳුදා නාමයෝජනා භාරදීමෙන් පසුව දැන් ආරම්භවීමට නියමිතව ඇත්තේ දේශපාලන සංවාදයේ හෝරාවයි. ඒ අවකාශය දේශපාලන කරුණු සහ දේශපාලන විමර්ශනවලින් වැඩි වශයෙන් පිරවෙන්නේ නැති වුවහොත් මේ වාරයේ ද විය හැක්කේ ඒ ඉඩ තේරුමකට නැති වල්පල්වලින් පිරී යාමය. දැනටම සමහර අපේක්ෂකයන් කරන්නේ එක්කෝ තමන්ගේ දුක රටට කීමය. එසේත් නැතහොත් තමන්ගේ පෞද්ගලික දින චරියාවන් (නිදා ගන්නා පැය ගණන වැනි) සමාජ ගත කිරීමය. මේ තත්ත්වයෙන් ඔබ්බට යන ප්‍රචාරක ව්‍යාපෘතියක් මෙවර ජනාධිපතිවරණයේ දේශපාලන සංවාදයට එක්විය යුතු බව වැඩියෙන්ම තේරුම් ගත යුත්තේ ඡන්දදායකයන් අපේක්ෂකයින්ට වඩා ඉදිරියෙන් සිටින බව පෙනී යන තත්ත්වයක් තුළය.

තවත් පැත්තකින් මෙවර ජනාධිපතිවරණයේ මූලික පිටිය සකස් කිරීම ලෙසින් මා දකින්නේ ඒ ඒ අපේක්ෂකයන්ගේ පාලන ව්‍යාපෘති තුළ මුල්වන වැඩසටහන පමණක් නොව ඒ සඳහා වගකීම් ගන්නා කණ්ඩායම ද ඉදිරිපත් කිරීමයි. මෙවර ජනාධිපතිවරණ සංවාදයේ මතුවිය හැකි එක් වැදගත්ම තත්ත්වයක් වන්නේ මේ කියන කණ්ඩායම පිළිබඳ තර්කයයි. පැරණි දේශපාලනඥයන්ගේ සමහර ක්‍රියාදමයන් පිළිබඳව තරුණ සමාජයේ පවතින විවේචනයට බරක් තබන්නේ නැතිව කුමන අපේක්ෂකයකුට වුවත් ඉදිරි පාලනයක් කළ නොහැකි බව මගේ අදහසයි. මේ තත්ත්වය ගැටලුවක් ලෙසින් ගන්නේ නැතිව අභියෝගයක් ලෙසින් බාරගැනීම ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා සූදානම් වන ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ගේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. දැනටමත් සමහර දේශපාලනඥයන් මාධ්‍ය තුළ සිදුකරන කතාබහ ප්‍රධාන අපේක්ෂකයන්ට ඍණාත්මකව බලපානු ලැබූ අවස්ථා පවතින බව අප හැමෝම දන්නා කාරණයක්ය.

තවත් පැත්තකින් මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියාදාමය තුළ භෞතික හැසිරීම්වලට වඩා වැඩි වශයෙන් ඩිජිටල් හැසිරීම් වර්ධනය වී ඇති බවද තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය. මෙතෙක් දේශපාලනයේ පැවැති රැස්වීම්වලට ජනතා සහභාගීත්වය වුවත් ඉදිරියේදී අඩුවිය හැකි අතර ඒ ඒ දේශපාලන නායකයන්ගේ ඩිජිටල් පැවැත්ම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වීමට නියමිතය. ඒ නිසාම තම තමන්ගේ දේශපාලන හැසිරීම් හා කතා යම් ආකාරයක විනයකට හා ආකෘතියකට යටත් කරවීමට සියලුම ප්‍රධාන අපේක්ෂකයන්ට සිදුවන බව දැනටමත් පෙන්නුම් කර හමාරය.

මේ ආකාරයෙන් අප සේන්දුවෙමින් සිටින්නේ ජනාධිපතිවරණයේ දේශපාලන පිටිය උණුසුම් වෙන්නට නියමිත අවස්ථාවකටය. ඇල්පිටිය ඡන්දය එවැනි වෙලාවක පැමිණීම මේ සටනට උත්තේජනයක් සපයන බව මගේ අදහසය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්