අලුත් ආණ්ඩුව වැඩ ආරම්භ ක​ළේ ගිය සතියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගනු ලබන සමහර තීරණ පිළිබඳව සමාජයේ ඇත්තේ ප්‍රබෝධාත්මක අනුමැතියක් බව පෙනෙන්නට තිබෙන්නේ එතුමා විසින් මුල් වටයේ සිදු කළ ප්‍රතිසංස්කරණ කීපයකට සාපේක්ෂකවය. ජනතාව කැමති එවැනි තීරණ අතරින් ප්‍රමුඛස්ථානයට පැමිණෙන්නේ භාරකාර ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය 15 කට සීමා කිරීමය. එය ලෙහෙසි පහසු කාර්යයක් නොවෙන බව ඉතාමත් පැහැදිලියග සමහර මන්ත්‍රීවරුන් ඒ 15 වේ සීමාව දකින්නේ තමන්ව සීමා කළා වැනි ආකාරයකින්ය. මේ අවුල් සහගතභාවයට හේතුව වන්නේ සමහර මන්ත්‍රීවරුන්ගේ සිතේ තියෙන්නේ ඒ අය ඉපදිලා සිටින්නේම ඇමැතිකමක් දැරීම සඳහා වැනි අදහසක් නිසාය.

බොහෝ අයට මතක ඇති ආකාරයට එක් මන්ත්‍රීවරයකු තමන් නොවැම්බර් 18 වැනිදාට පසු ඇමැතිවරයකු බව කීවේ ජනාධිපතිවරණයට ද පෙර සිටන්මය.

ඒ සියල්ල කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට තෝරා ගත හැකි අවම කණ්ඩායම ලෙස 15 දෙනෙකු තෝරා ගැනීම ඉතාමත් වැදගත් දෙයක් බව මෙහිදී කිවයුතුය. ව්‍යවස්ථාවට අනුකූලව සිට ලබා දී ඇති රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 30 වැනි නිශ්චිත ගණනක් නිසා මේ තත්ත්වය ඉදිරියේදීත් යම් ආකාරයකින් ආණ්ඩුව ඇතුළේ තිබෙන්නට බැරි නැත.

මා මේ සටහනින් සාකච්ඡා කරන්නේ ඇමැතිකම් පිළිබඳව  නොව එසේ ඇමැතිකම් ගණන 15ට අඩු කිරීම කෙරෙහි බලපැවැත් වූ ප්‍රධාන සාධකයක් වූ මතවාදී සාධකය පිළිබඳවය. ඒ කියන්නේ මේ ජනාධිපතිවරණයත් සමඟම රටේ මතුවී තිබෙන අලුත් ආකාරයක මතවාදී ආධිපත්‍යය :ෂාැදකදටසජ්ක ත්‍රදබඑ* පිළිබඳවය. මෙවර ජනාධිපතිවරණ​ෙයන් පෙන්නුම් කරන මේ මතවාදී සාධකය රටේ දේශපාලනයට සිදුකළ හැකි බලපෑම තේරුම් ගැනීම මේ ලිපියේ මූලික අපේක්ෂාවය.

මෙවර ජනාධිපතිවරණයට පෙර සිටම අපේ රටේ දේශපාලනයේ අලුත්  ප්‍රවණතා ගණනාවක් මතුවී තිබුණු බව සැබෑවක් වුවත් මේ ආකාරයේ අලුත් මතවාදී බලපෑම සැබවින්ම ආරම්භ වුණේ 2015 ජනාධිපතිවරණයෙන් පසු කාලයේ සිටම යැයි කීමේ වැරැද්දක් නැත. මේ රටේ දේශපාලනයේ මෙතෙක් තිබූ සමහර මිමි  සහ සමහර සීමා වෙනස් වන්නට පටන් ගත්තේ 2015 ජනාධිපතිවරණයේ පටන් බව මගේ අදහසය. 2015දී බලයට පැමිණි යහපාලනය යැයි කියාගන්නා රජය ආරම්භ කළ අලංකාරික  දේශපාලනය අර්බුද ජනක තත්ත්වයක් දේශපාලනයේ නිර්මාණය කිරීමට සාපේක්ෂව ගොඩ නැඟුණු අනෙක් වැදගත් කාරණය වන්නේ දේශපාලනයේ ආධිපත්‍යය පක්ෂයේ හෝ සාම්ප්‍රදායික සීමාවලින් එළියට පැමිණ ඇති බවයි.

තවත් පැත්තකින් බැලුවහොත් පෙනී යන කාරණය වන්නේ පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතුද සහ රටේ ජනාධිපතිවරයා කවුරුන් විය යුතුද යන කාරණය සම්බන්ධව පක්ෂවලින් මතුවන මිමි වලට වඩා ජනතාව විසින් මතු කරන මතවාදී ආධිපත්‍යයේ මිම්ම බලසම්පන්න වීම මේ වන විට ඉතාමත් බරපතළ ආකාරයෙන් සිදුවෙමින් පවතින බවයි.

තාක්ෂණයේ නව තත්ත්වය සහ සමාජ මාධ්‍යයේ වර්ධනයත් සමඟ වඩාත් සංකීර්ණ වී ඇති මෙම තත්ත්වය නිසා දේශපාලනයේ මෙතෙක් කාලයක් තිබූ ආධිපත්‍යධාරිත්ව රාශියක් අර්බුදයට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය. මෙවර ජනාධිපතිවරණයේ දී පෙන්නුම් කළ එක් වැදගත් කාරණයක් වූයේ බලය තිබෙන ආණ්ඩුව සිදුකරන අවලාද හෝ වැරැදි තොරතුරු එක මෙහොතකින් නිමාවට පත් කරන්නට තරම් ශක්තියක් රටේ පවතින මතවාදී ආධිපත්‍යයට හැකියාවක් තිබෙන බවයි. 2015දී මෙන්ම බොරු අවලාද හා සාවද්‍ය තොරතුරු කොතරම් සමාජගත කිරීමට පැවැති රජයේ පාර්ශ්වයෙන් උත්සාහ දැරුවද ඒ සියල්ලෙන් කිසිවකු තවදුරටත් රැවටිය නොහැකි වූ බව මඟින් පෙන්නුම් කරන්නේද දේශපාලනයේ මිම්ම සමාජය තුළින් මතුවී ගොඩ නැඟෙන සංසිද්ධියක් බවට මේ වන විට අප රට තුළ පත්වී ඇති බවයි.

මීළඟට පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධයෙන්ද මේ කාරණය තවදුරටත් අදාළ වන බව මගේ අදහසයි. පක්ෂවල අය මොනවා සිතුවත් පක්ෂවලට අරක්ගත් කණ්ඩායම් මොනවා සිතුවත් රටේ පිළිගැනීමට ලක් වන අය ලැයිස්තුවට දමන්නේ නැතිව මහ මැතිවරණයේ දිස්ත්‍රික්ක ලැයිස්තු සෑදිය නොහැකි තත්ත්වයට දේශපාලනය පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය. මතවාදී ආධිපත්‍යය නොසලකා හැරීමෙන් සහ මතවාදී ගැටුමට නිසි ආකාරයෙන් මුහුණ දීමට හැකි අය නොදැමීමෙන් ජයග්‍රහණය කළ නොහැකි සටන් භූමියක් බවට මැතිවරණ දේශපාලනය පත්වී ඇති බව මෙයින් පැහැදිලි වෙන ප්‍රධාන කාරණයයි.

රටේ දේශපාලනය තුළ සිදුවෙමින් පවතින මේ තත්ත්වය ධනාත්මක සංවර්ධනයක් බව විශේෂයෙන් කිව යුතු දෙයක් නොවන බව හැමෝම දන්නා කාරණයක්ය. මෙයින් පෙනී යන්නේ දේශපාලනයේදී වැදගත් වන ප්‍රධානම සාධකය යනු රට ගැන සහ සමාජය ගැන වඩාත් ශක්තිමත් තේරුම් කිරීම සහ විසඳුම් දීම සහිත මතවාදී ආධිපත්‍යයක් සහිත වීම බවට පත්වී ඇති බවයි. එසේම දේශපාලනයේදී වැදගත් වන ප්‍රධානම සාධකය කුමක් දැයි ඇසුවොත් වර්තමාන සමාජයේ පිළිතුර විය හැක්කේ රට ගැන සහ සමාජය ගැන නිශ්චිත විසඳුම් සහිතව හා මතවාදී ආධිපත්‍යයක් සහිතව  ඉතාමත් කේන්ද්‍රීය බවයි.

දේශපාලන පක්ෂයක බලය මාරුවීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තිබෙන බව සැබෑය.  ඒවා අතරින් මෙතෙක් කල් ලංකා දේශපාලනයෙහි ප්‍රමුඛත්වයක් ගෙන තිබුණේ යම් අයකු පක්ෂයේ වීම’ සහිපාක්ෂිකයන් වීම’ යන කාරණා පමණක්ය. ඒ නිසාම රටේ ජනතාව බොහෝ විට පෙනී සිටියේ කුමන හෝ ප්‍රධාන පක්ෂයක සාමාජිකයන් හෝ ආධාරකරුවන් ලෙසින්ය. පාවෙන ඡන්ද ප්‍රමාණය හෙවත් පක්‍ෂයකට නැති ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව පැවතුණේ 5‍% ට වඩා අඩු  ලංසුවකය. එහෙත් 2015 සිට මේ දක්වා දේශපාලනය තුළින් පෙන්නුම් කරන්නේ පක්ෂයකට අයිති නැති ඡන්ද දායකයන් ප්‍රමාණය 35‍% 40‍% පමණ විශාල ප්‍රමාණයක් බවට පත් වී ඇති බවයි. මේ කාණ්ඩයේ වර්ධනය ඡන්දදායක ප්‍රමාණයෙන් 50‍% දක්වා වැඩි වුවහොත් ඒ කියන්නේ පක්ෂයකට අයිති නැති වෙනස් වන සුළු ඡන්ද ප්‍රමාණය රටේ තීරණාත්මක ඡන්ද ප්‍රතිශතය බවට පත් වී ඇති බවයි. එවැනි තත්ත්වයකදී මන්ත්‍රීවරුන් පත්වීම කෙරෙහි බලපාන මූලික  සාධකයක් බවට ඒ ඒ දේශපාලන පක්ෂවල මතවාදී පිහිටීම අදාළ විය හැකිය.

වෙනත් ලෙසකින් පවසතහොත් මගේ අදහස වන්නේ ඉදිරි මහ මැතිවරණයකදී පාක්ෂික ප්‍රවණතා හා සමානම බරකින් පාක්ෂික නොවන මතවාදී කරුණු මත පදනම් වූ දේශපාලනයක්ද ඡන්ද දේශපාලනයේ තීරණාත්මක සාධකයක් බවට පත් විය හැකි බවයි. මීළඟ මහ මැතිවරණයේදී ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වන්නේ මේ  මතවාදීව පදනම් වන පක්ෂයකට අයිති නොවන ඡන්දදායක ප්‍රවණතාවය නිවැරැදිව ස්ථානගත කිරීමයි.

මේ තත්ත්වය තේරුම් ගැනීම සෑම දේශපාලන ව්‍යාපාරයකටම ඉතාමත් වැදගත් වන තත්ත්වයක් හෙයින් ඉදිරි මහමැතිවරණයේ දේශපාලන සිතියම අලුත් ආකෘතියකින් ගොඩ නැඟීමේ ඉඩක් පවතින බව පෙනී යන කාරණයකි. මේ අලුත් දේශපාලන සිතියම තුළ ඒ ඒ පක්ෂ ඒ ඒ ප්‍රශ්න සම්බන්ධයෙන්  තමන්ගේ දේශපාලන ස්ථාවරත්වයන් ගොඩ  නඟන ආකාරය ඉතාමත් වැදගත් වන බව පෙනී යන කාරණයකි. ඒ අර්ථයෙන් මීළඟ මහ මැතිවරණය කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනස් වෙන පමණක් නොව දේශපාලනයේ මූලික මිමි හා සීමාවන් වෙනස් වෙන මැතිවරණයක් බවට පත්වීමේ විශාල ඉඩක් පවතින බව මගේ මතයයි.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය

චරිත හේරත්