මෙයට දශක ගණනාවකට ඉහත මෙරට දේශපාලනය පුළුල් අරැතින් ගත් කල රට වෙනුවෙන් සඳහා වූ ව්‍යායාමයක් විය. පක්ෂ පාට කුමක් වුවත් එදා දේශපාලනයට පැමිණි බොහෝ දෙනා තමන් නියෝජනය කළ ප්‍රජාවට බරසාර සේවයක් කළේ ලාභ අලාභ අපේක්ෂාවකින් තොරවය. එහෙත් අතීතයේ සිටි සියලු දේශපාලන භවතුන් එක මිටට ගෙන ඒ සියල්ලන් කෙරේ යට කී යෙදුම අදාළ කළ නොහැක. මක්නිසාද යත් එදා සිටි දේශපාලනඥයන්ගෙන් ඉතා සොච්චමක් පටු පරමාර්ථ ගවේෂණය උදෙසා මහන්සි වූ බව අප දන්නා බැවිනි.

වර්තමානය අතීතය තරම් සුන්දර නොවේයැයි කියන්නන් වාලේ කීම සාධාරණ නැත. එය සහේතුක විය යුතුය. මෑතක සිට දේශපාලන වේදිකාවෙන් ඇසෙන ඇතැම් දේශපාලනඥයන්ගේ කතා බහ නිසා ඔවුන් දේශපාලනයට පිවිස ඇත්තේ ජනතාවට සැබෑ සේවයක් කිරීමේ අරමුණින් ද යන ප්‍රශ්නය මතු වේ. “අපට තනතුරු නොලැබුණොත් ස්වාධීන වෙනවා.” “මෙවර තනතුරු දී ඇත්තේ පුස්සන්ට” “හරි දේ හරි තැන කී නිසා අපට කැපුණා” “තනතුරක් නොදුන්නත් තීන්දුවක් ගන්නවා” “මට කැබිනට් මිසක් වෙන තනතුරු එපා” ඉහත සඳහන් කතා ඊයේ පෙරේදා අපට අසන්නට ලැබුණේ වත්මන් ආණ්ඩුවේ දේශපාලන වේදිකාවලිනි. මේ බොහොමයක් කතා කී දේශපාලනඥයන් කනස්සල්ල දුක කෝපය මුසු හැඟීම්වලින් අවධාරණය කළේ තමන්ට මැති ඇමැති පට්ටමක් කෙසේ හෝ ලැබිය යුතු බවයි. ඇතැම් විට මේ අය අතර ජ්‍යොෂ්ඨයෝ ද වෙති. ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරෑ චරිත ද වෙයි. එහෙත් පවත්නා නීති රීති ව්‍යවස්ථා විධි විධාන සහ සම්ප්‍රදායන්ට ගරු කරන්නට සිදුවීම නිසා මොවුනට තනතුරු අහිමි විය.

වත්මන් රජය බලයට පත්වූයේ මෙරටට යහපාලනය හඳුන්වා දෙන බව කියමිනි. ඡන්දයට ඉදිරිපත් කළ යහපාලන ප්‍රතිඥාවල සඳහන් වූ ප්‍රධානම කරුණු ගණනාවකි. විධායක ජනාධිපති ධූරයේ බලතල සීමා කිරීම, විධායක ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට යටත් කිරීම මෙන්ම රජයේ කැබිනට් මණ්ඩලය තිස් දෙනකුට සීමා කිරීම ප්‍රධාන කාරණා අතර වූ බව අපි ද දනිමු. වත්මන් පාර්ලිමේන්තුව විසින්ම සම්පාදනය කොට සම්මත කරන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 46 - 1 (අ) වගන්තියේ පැහැදිලිව දැක්වෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරුන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතු බවය. එසේම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවේ එකතුව 40 නොඉක්මවිය යුතු බව ද ව්‍යවස්ථාව කියයි. ඒ අනුව කැබිනට් සහ සෙසු අමාත්‍යවරුන්ගේ මුළු එකතුව 70කට සීමා කෙරිණි.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය කරා යන රටකට 70ක ඇමැති මණ්ඩලයක් වුවද විශාල වැඩි බව අපේ අදහසයි. අපට වඩා විශාල ජනගහනයක් සිටින බ්‍රිතාන්‍යය, ප්‍රංශය පමණක් නොව අමෙරිකා එක්සත් ජනපදයේ පවා කැබිනට්ටුව ඉතා කුඩා පිරිසකගෙන් සමන්විතය. මෙරට කැබිනට්ටුව ඊට වඩා පුළුල් වුවද තවමත් තනතුරු අපේක්ෂා කරන්නන් ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට ආඩපාලි කියන්නේ තමන් නොසලකා හැර ඇති බවට අඳෝනා නගමිනි.

තම රජය විසින් පනවා ගත් ව්‍යවස්ථාව තමන් විසින්ම ලබාදුන් ප්‍රතිඥා අනුව කටයුතු කිරීමේදී මෙම තත්ත්වය උද්ගත වූ බව පෙනේ. එහිදී තනතුරු නොලැබුණායැයි කියමින් ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට දොස් පරොස් කීමට වඩා මීට වඩා ලොකු කැබිනට්ටුවක් පත්කර ගැනීමට නීති සකසා ගත්තානම් මේ හුටපට ඇතිවන්නේ නැත. එහෙත් රටක් ලෙස අපට නඩත්තු කළ නොහැකි කැබිනට්ටුවක් පවත්වාගෙන යාමෙන් පීඩාවට පත්වන්නේ රටේ බදු ගෙවන ජනතාවය. එහෙත් තනතුරු ඔස්සේ ඉව අල්ලන දේශපාලනඥයන්ගේ බර තබන්නේ ප්‍රතිපත්තියට හෝ නීතියට නොවන බව ඔවුන් කරනා ප්‍රකාශ තුළින් ගම්‍ය වේ. මෙහිදී සාධාරණව සිතා බලතොත් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හෝ අදාළ කරුණු ගැන සෘජුව දොස් පැවරීම කළ නොහැක. ඊට හේතුව කැබිනට්ටුව සීමා කරන ව්‍යවස්ථාව සම්පාදනය කළේ ඔය කාගෙත් අනුමැතියෙන් වන නිසාය.

දැන් පවත්නා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ රජයට මැතිසබයේ මන්ත්‍රීන් බහුතරයක් හිමිව නැත. ආණ්ඩුව පවත්වාගෙන යන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් 14 දෙනකුගේ දේශපාලන අනුග්‍රහය ඇතිවයි. ඔවුන් අහක බැලූ දවසට ආණ්ඩුවේ පැවැත්ම කම්මුතු වන්නට ඉඩ තිබේ. එබැවින් රජයේ තනතුරු සහ වෙනත් නිල කාර්යයන්හිදී ආණ්ඩුවට උදව් කරන දෙමළ ජාතික සන්ධානයේ මතවාදය ද බැහැර කළ නොහැක. තනතුරු බෙදා ගැනීමේදී ඔවුන් සෘජුව රජයේ තනතුරු ලබා නොගත්තද තමන්ගේ දේශපාලන පක්ෂයේ ඉලක්ක අරමුණු සහ අභිප්‍රායයන් උදෙසා තිරය පිටුපස සිට ආණ්ඩුව මෙහෙයවන්නට උත්සාහ කරනවා වන්නට පිළිවන. ඉදිරියේදී 2019 වසර සඳහා අයවැය ලේඛනය සම්මත කර ගැනීම වැනි කටයුතු සඳහා රජයට සහාය පළ කරන මන්ත්‍රීන් සියල්ලන්ගේම ඡන්ද අවශ්‍යය.

පසුගියදා රජය අයවැය වෙනුවට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සඳහා පක්ෂව ඡන්දය දී තිබුණේ මන්ත්‍රීන් 102කු පමණි. එය මැති සභා බහුතරය නොවේ. කෙසේ වෙතත් අතුරු සම්මත ගිණුම බහුතර ඡන්දයෙන් සම්මත විය.
එහෙත් ඊට ඡන්ද ප්‍රකාශ කළ ස්වභාවය අනුව බලන කල මැති සබයේ එක් මන්ත්‍රීවරයකුට වුවද ආණ්ඩුවේ පැවැත්මට විශාල බලපෑමක් කළ හැකි බව සඳහන් කරනු වටී. යම්කිසි තීරණාත්මක අණ පනත් සම්මත කර ගන්නා මොහොතක රජයේ මැති ඇමැතිවරුන් මැති සබයට පැමිණ නිසි දායකත්වය ලබා නොදුනහොත් ආණ්ඩුව පත්වන්නේ බරපතළ අර්බුදයකටය. හතර අතින් ඇසෙන තනතුරු නොලැබූ මන්ත්‍රීන්ගේ ආවේගශීලී කතා නිසා ආණ්ඩුව ඉදිරියේ රතු එළියක් දැල්වෙන බව සඳහන් කිරීම වරදක් නොවේ. තනතුරු බෙදා දීමේ ප්‍රශ්නයේදී ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සිටින්නේ උභතෝකෝටික ප්‍රශ්නයක බව අමුතුවෙන් කිව යුතු නැත. එක් අතකින් පක්ෂයට දර දිය අදිනා ලද මන්ත්‍රීන් තුටුපහටු කළ යුතුය. අනෙක් අතින් ව්‍යවස්ථාවේ ඇති නීතිමය ප්‍රතිපාදනවලට ගරු කළ යුතුය. මෙම පසුබිමේ තනතුරු අපේක්ෂා කරන්නන් මස් රාත්තලම ඉල්ලා සිටින විට ඇති වන්නේ ව්‍යාකූල වාතාවරණයකි. සිල්ලර දේශපාලකයාත් ජනතාවාදී සැබෑ දේශ සේවකයාත් අතර වෙනස හඳුනාගන්නට ලැබෙන්නේ මෙබඳු වාතාවරණයකදීය. දැන් රටට සැබැවින්ම අවශ්‍ය දේශ සේවකයන්ය. රට හමුවේ ඇති ආර්ථික දේශපාලන හා සාමාජික අභියෝග ජයගන්නට නම් මෙයට වඩා පරිණත ව්‍යායාමයක් හා පරිශ්‍රමයක් මැතිසබයේ වගකිවයුත්තන් විසින් දැරිය යුතුය.