මේ දවස්වල මාධ්‍ය අවකාශයේ සාකච්ඡාවෙන ප්‍රධාන මාතෘකාවක් වන්නේ පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳවය. මේ වාර්තාව පිළිබඳව කථාව නොයෙක් අතට හැරෙමින් තිබෙනවා පමණක් නොව නොයෙක් ආකාරයේ අර්ථදැක්වීම්වලට ද භාජන වෙමින් ඉදිරියට පැමිණෙමින් තිබේ. මේ පිළිබඳ සාකච්ඡාව දේශපාලන ලෝකයේ විවිධ හැල හැප්පිලි නිර්මාණය කිරීමට පවා හේතු වී ඇති බව පසුගිය සතියේ ඇතිවූ සිදුවීම්වලින් පෙන්නුම් කරමින් තිබේ. මෙවර කිවිදා දැක්මෙන් මා ලියන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව වූ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳවය.

මුලින්ම කිවයුත්තේ අපේ රටේ ජනාධිපති කොමිසම් පිළිබඳව කථාව ආරම්භ වෙන්නේ 1978 ව්‍යවස්ථාව හරහා විධායක ජනාධිපතිවරයකු බිහිවීමත් සමග බවය. විධායක ජනාධිපතිවරයකු වශයෙන් මහජන ඡන්දයෙන් තේරෙන පුද්ගලයකුට ඍජුව අධිකරණ බලයක් නොතිබුණත් ඒ ඒ කාලවල පත්කරනු ලැබූ ජනාධිපති කොමිසම්වල ස්වභාවය දෙස බලනවිට  ඒවා  යම් ආකාරයක අධිකරණ බලයක් සහිත බව පෙන්නුම් කර ඇත. ඍජුව කැබිනට් මණ්ඩලය යටතේ සිදුකළ හැකි වෙනස්කම්වලින් එහාට ගිය පළල් දේශපාලන වෙනසක් වෙනුවෙන් බොහෝ අවස්ථාවල ජනාධිපති කොමිසම්වල සහාය ලබාගත් අවස්ථා අපේ රටේ දේශපාලන ඉතිහාසයේ දක්නට ලැබෙන බව පැහැදිලිය.

2015 පත්වූ ආණ්ඩු කාලයේ ජනාධිපති කොමිසම් සම්බන්ධ තත්ත්වය තවත් සංකීර්ණ වූ බව මගේ අදහසය. විශේෂයෙන්ම අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර විරසකයක් තිබෙන අවස්ථාවල ජනාධිපතිවරුන් කරන්නේ ජනාධිපති කොමිසමක් දමමින් බලය හැසුරවීම බව හොඳින්ම පෙනී ගිය පසුගිය රජයේ ජනාධිපතිතුමාගේ කොමිසම්වල ස්වභාවය දකිනා විටය.


පාස්කු කොමිසම
2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා මේ රටේ සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධව මේ කියන ජනාධිපති කොමිසම පත් කරනු ලැබුවේ 2019 සැප්තැම්බර් 21 වැනි දින එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ය. ඒ පත් කිරීම වෙනුවෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් පරමාර්ථ 13ක් තිබූ අතර ඒ පරමාර්ථ සියල්ල ප්‍රධාන කරුණු දෙකක් මත පදනම් වූ බව පෙනී ගියේය. ඒ ප්‍රධාන කරුණු දෙක වන්නේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකියන අය කවුරුන් ද යන වගත් ඒ බෝම්බ ප්‍රහාරය සිදුවෙන තැනට රටේ පාලනය අකර්මණ්‍ය කර තිබුණේ ද යන වගත් සොයා බැලීමය. මේ කොමිසම පත් කරමින් නිකුත් කළ විශේෂ ජනාධිපති නියෝග ගැසට් පත්‍රය අත්සන් කර තිබුණේ එවකට ජනාධිපති ලේකම්වරයා වූ උදය ආර්. සෙනෙවිරත්න මහතා විසිනි.

2020 පැවති මහ මැතිවරණයේ දී එවකට බලයේ සිටි එජාපය සහ සමගි ජන බලවේගයේ වර්තමාන නායකයෝ තමන්ගේ ආණ්ඩුවේ කෙරුවාව පිළිබඳව ජනතාවට කරුණු කියද්දි කී ප්‍රධාන කථාවක් වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට තමන්ගේ රජය විසින් කොමිසමක් පත් කර ඇති බවත් ඒ කොමිසමේ වාර්තාව මත ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය. අප හැමෝම දන්නා පරිදි මේ කොමිසම පත් කර වැඩ කටයුතු ආරම්භ කර ඉදිරියට කරගෙන යන අතර තුර  එවකට සිටි ජනාධිපතිතුමාගේ කාලය නිමාවී අලුත් ජනාධිපතිවරයකු පත්වූ අතර එවකට තිබූ ආණ්ඩුව වෙනස් වී අලුත් ආණ්ඩුවක් පත් විය.
දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම ගැන අලුත් සාකච්ඡාව මතුවුණේ ඒ පැරැණි කොමිසමේ වාර්තාව වර්තමාන ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීමත් සමගය.

පැරණි කොමිසමේ වාර්තාව පිළිගැනීමෙන් පසු ජනාධිපතිතුමන් විසින් එය කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කරවනු ලැබුවේය. මේ වාර්තාව පිළිබඳව කැබිනට් මණ්ඩලයට අවශ්‍ය පැහැදිලි කිරීම් සඳහා සාමාන්‍ය කැබිනට් අනුකමිටුවක් ද පත් කරනු ලැබූ බව අප හැමෝම දන්නා කාරණයක්ය. කැබිනට් අනුකමිටුවක් මගින් බලාපොරොත්තු වන්නේ කොමිසම් සභාවක වාර්තාවක් වෙනස් කිරීමට හෝ එහි නිගමනවල සාර්ථක අසාර්ථකභාවය මැන බැලීමට හෝ නොව ඒ කොමිසම් වාර්තාවේ නිගමන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව කැබිනට් මණ්ඩලයට යම් ආකාරයක දිසානතියක් පෙන්නුම් කිරීමටය.   (ඒ අනුකමිටුවට අයිති ඇමතිවරුන්ගේ සුදුසුකම් පිළිබඳව සොයන්නට සමහරුන් උත්සාහ කිරීමෙන් සමාජයේ යම් ආකාරයක වැරදි මතයක් මේ අනුකමිටුව සම්බන්ධයෙන් ගොඩනගන්නට දැරූ උත්සාහයෙන් පෙන්නුම් කරන්නේ කැබිනට් මණ්ඩලයක කාර්යභාරය පිළිබඳව පළල් අවබෝධයක් නොමැතිවීම බව මගේ තේරුම් ගැනීමය.) ඒ අනුකමිටුවේ කාර්යභාරය පිළිබඳව මේ විවේචනය අපි කවුරුත් ගරු කරන කතෝලික ආගමික නායකත්වය තුළින් ද මතුවූ නිසා මේ අනුකමිටුවේ කාර්යභාරය ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමට ද රජයට සිදූවූ බව අප දන්නා කාරණයක්ය.  

වාර්තාවේ තිබෙන්නේ මොනවාද?
මේ කොමිසම් වාර්තාවේ සදහන් වන ආකාරයට ඒ විමර්ශනය සඳහා විමර්ශන කණ්ඩායම් විසින් ප්‍රකාශ 1588 ලබාගෙන ඇති අතර සාක්ෂිකරුවන් 457 කැඳවා සාක්ෂි විමසා ඇත. මේ සාක්ෂිකරුවන් අතරට හිටපු රජයේ ප්‍රධානීන් වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාත් සිටි බව අප මාධ්‍ය මගින් දන්නා කරුණක්ය. මේ කියන සාක්ෂිකරුවන්ගේ සටහන් පමණක් පිටු 37314 පමණ තිබෙන බව මේ වාර්තාවේ සඳහන් කර ඇත. මේ සටහන් මේ වන විට පොත් 206 ලෙසින් සංරක්ෂණය කර ඇති බව ද මේ අවසන් වාර්තාවේ කොමසාරිස්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන්ව ඇත. දැන් අවසන් වාර්තාව ලෙසින් ඉදිරිපත් වී ඇති වෙලුමේ ඇත්තේ මේ කියූ සියලු කොටස්වල එකතුවක් ලෙසින් ඉදිරිපත් වන සාරාංශගත කරුණු සම්පිණ්ඩනයක්ය.  

මේ වාර්තාවේ ඇති කරුණුවල නෛතිකභාවය සහ නිවැරදිභාවය සොයා බැලීම මගේ මේ සටහනේ අරමුණ නොවේ. මේ වාර්තාවේ දැක්වෙන්නේ විශේෂයෙන් මෙතෙක් සිදුකරන ලද පොලිස් පරික්ෂණවලට එහා ගිය යම් ආකාරයක විමර්ශන දිසානතියක් (Investigative direction) නිර්දේශ කිරීමය.

ඒ නිර්දේශ අතර මේ බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුරුන්ද යන වග නිශ්චිතව සඳහන් නොවන බව මේ වාර්තාව පිළිබඳව දැනට මතුවී තිබෙන ප්‍රධාන විවේචනයක් බව පැහැදිලිය. එසේම මේ බෝම්බ ප්‍රහාරය සිදුකළ අය සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙම වාර්තාවේ ඉදිරිපත් වෙන නිර්දේශ ගැන පසුගිය රජයේ පාර්ශ්ව ගණනාවක්ම ඉන්නේ සතුටින් නොවන බව ද පැහැදිලි කාරණයක්ය.

දැනටමත් මේ වාර්තාව පාස්කු කොමිසම පත් කළ ජනාධිපතිතුමන් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රීලනිපයත්  ඒ කොමිසම පත්කළ ආණ්ඩුව හා දේශපාලන බලවේගයේ වත්මන් නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතාත් විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ අය කියන්නේ මේ කොමිසමේ නිර්දේශ මගින් තමන් නායකත්වය දූන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වාගේ මේ සිද්ධියට වගකිව යුතු තත්ත්වයකට පත් කර තිබීම පිළිගත නොහැකි බවයි. ඒ අදහස යම් ප්‍රමාණයකට නිවැරදි බව මගේත් අදහසය. මේ විනාශයේ වගකීම හිටපු ආරක්ෂක ඇමතිවරයා, ලේකම්වරයා සහ පොලිස්පතිවරයා පමණක් භාර ගත යුතු යැයි කීම නිවැරදි නොවේ. එහි වගකීම ඒ බෝම්බ දේශපාලනය මෙරටට නැවත වතාවක් ගෙනෙන්ට වැඩ කළ එකල ආණ්ඩුවේ සිටි සමහර ඇමතිවරුන්ගේ සිට සහරාන්ලා දක්වා සම්පූර්ණ කණ්ඩායමටම එල්ල විය යුතුය. ඒ කණ්ඩායමේ ප්‍රධානීන් අතරට හිටපු ආරක්ෂක ඇමතිවරයා ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇතුළුවීමේ වැරැද්දක් නැති බවට ඒ අයත් එකඟ විය හැක.

මේ වාර්තාවේ පරිච්ඡේද 32 ක් සහ ඇමුණුම් 10 අන්තර්ගතව ඇත. මේ පරිච්ඡේද අතර ලංකාවේ මුස්ලිම් ප්‍රජාව  -   වහබ්වාදය  -  සහරාන් ඇතුළු ත්‍රස්ත කණ්ඩායමේ ක්‍රියාකාරිත්වය යන සෑම පැත්තක් ගැනම යම් ආකාරයක විමර්ශනයක් සිදුකර ඇති බව පැහැදිලිය. මේ වාර්තාවේ 13 වැනි පරිච්ඡේදයේ සිට 20 පරිච්ඡේදය දක්වා කොටස ඉතාමත් වැදගත් බව මගේ අදහසය. ඒ පරිච්ඡේද මගින් මේ සිද්ධිය සිදුවූ ආකාරය පිළිබඳව සහ එවැනි තත්ත්වයකදී රාජ්‍යයේ වගකීම ඉටුනොවීම යන කාරණා  සාකච්ඡා කර ඇත. එහිදී මෙම ත්‍රස්ත ක්‍රියාදාමය පහසු ලෙසින් රට තුළ ස්ථාපිතවීමට සහ පහසු ලෙසින් රටේ ස්ථාන ගණනාවකට පහරදීම වැළැක්වීමේ ඉඩ නොසලකා හැරීම පිළිබඳව දක්වා ඇති අදහස් ඉතාමත් වැදගත්ය. දැන් සහ සජබය විරුද්ධ වන්නේ මේ රාජ්‍යයේ වගකීම පැහැර හැරීම පිළිබඳ කොමිසන් නිර්දේශවලටය.

මෙහිදී වැදගත් ලෙසින් අපගේ අවධානයට ගත යුතු කාරණයක් ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ නායකයකු පසුගිය දිනක පැහැදිලි කළේ මේ කොමිසම පත් කළ අයම අද එයට එරෙහි වී සිදුකරන පදනම් විරහිත චෝදනා පිළිබඳව අවධානය යොමු කරමින්ය. එතුමාගේ අදහස වන්නේ මුල් කාලයේ ජනාධිපති කොමිසම් මූලික වශයෙන්ම පත් කළේ රටේ ජාතික වශයෙන් වැදගත් වන කාරණයක් (තරුණ අසහනය පිළිබඳ කොමිසම වැනි) මුල් කරගෙන බවත් ඒ තත්ත්වය වෙනස් කරමින් පුද්ගලයන් එල්ල කරගත් ජනාධිපති කොමිසම් දාන්නට පටන් ගත්තේ පසුගිය යහපාලනය යැයි කියා ගත් රජය කාලයේ බවත්ය. ඒ අය තමන්ගේ විරුද්ධවාදීන් දඩයම් කිරීමට කොමිසම් දැමීම නිසා කොමිෂන් කියන්නේම තමන්ට පක්ෂව වාර්තා දිය යුතු සහ තමන්ගේ විරුද්ධවාදියාව අර්බුදයට පත්කළ යුතු යාන්ත්‍රණයක් ලෙසින් හැමවිටම සිතා සිටින තත්ත්වයකට පත්ව ඇති බවයි.

තමන් විසින්ම පත්කරන ලද කොමිසමක් තමන්ට විරුද්ධ අදහසක් ඉදිරිපත් කළ විගස මේ අය එයට විරුද්ධ වෙන්නේ ‘කොමිසම අපේ නම් අමාරුවේ වැටිය යුත්තේ විරුද්ධවාදියා යැයි’ සිතන මානසිකත්වය හේතුවෙන්ය.

මේ තත්ත්වය ගැන කල්පනා කරද්දි මගේ මතකයට නැගුණේ පැරණි එජාපයේ නායිකාවන් කණ්ඩායමක් පසුගිය විපක්ෂයේ සිටි කාලයේ කියූ සටන් පාඨයක්ය. තෙල් මිල අධිකවීමට එරෙහිව කරත්තයකින් පෙළපාලි ගිය එදවස එජාපයේ නායිකාවෝ කෑ ගැසුවේ ‘අපේ ගොනා අපිට හොඳා’ කියාය. අද ඒ අය පරණ තැටියම වෙනස් ආකාරයකින් කියමින් කෑ ගසන්නේ ‘අපේ කොමිසම් අපට එපා’ කියාය.

පාස්කු ඉරිදා සිද්ධිදාමය ව්‍යසනයකින් ආරම්භ වී ප්‍රහසනයක් බවට හරවා ගන්නට යහපාලනය යැයි කියූ දේශපාලනයේ සිටි සමහරුන් උත්සාහ කරන බව පැවසීමේ වැරැද්දක් නැතැයි සිතෙන්නේ මේවා දකින විටය.

(*** මහාචාර්ය -චරිත හේරත්)