හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාගේ 48 වැනි ගුණ සැමරුම අදට (7) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පළ හත්පත්තුවේ ඉපැරණි ඊරියගොල්ල ග්‍රාමයේ ඉමියා මුදියන්සේලාගේ සිඤ්ඤප්පු බණ්ඩාර නිලමේතුමා හෙවත් ඊරියගොල්ලේ ලොකු රාළහාමිගේ සහ අලුත්කුරු කෝරළේ දූනගහ පත්තුවේ පල්ලියපිටියේ දූනගහ වලව්වේ සුභසිංහ මංචනායක මැතිනියගේ හය වන දරුවා වශයෙන් ඉමියා මුදියන්සේලාගේ රසායල් අභයවංශ ඊරියගොල්ල 1907 ජනවාරි 03 උපත ලැබීය.

ඊරියගොල්ලේ දරුවා පළමුව ගම ආසන්නයේ පිහිටි කංකානියමුල්ල රජයේ විදුහලින් අධ්‍යාපනය ලැබීය. උඩුගම්පොළ විදුහලේ (විදුහල්පති වූවේ සෙනරත් පරණවිතාන මහතාය.) කොළඹ ආනන්ද හා නාලන්ද යන විදුහල්වලින් උසස් අධ්‍යාපනය ලැබූ ඊරියගොල්ල සිසුවාට එම වකවානුවේ මෙත්තානන්ද, කුලරත්න, මලලසේකර යන අධ්‍යාපනඥයින්ගේ ඇසුර ලැබීමට වාසනාව ලැබිණ. එහි අධ්‍යාපනය ලබන විට 18 වැනි වියේ පසු වූ ඊරියගොල්ල තරුණයා පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස රජයේ සේවයට ඇතුළත් විය. එවකට පොලිස්පති වූ හර්බට් ඩයිබිගින්ගේ කටයුතු නොරිස්සූ ඊරියගොල්ල තරුණයා සේවයෙන් ඉවත් විය. ඉතා සුළු කලක් සුරා බදු නිලධාරියකු ලෙසද සේවය කළේය.

එයින් ද සමුගත් ඊරියගොල්ල මහතා වැඩිදුර අධ්‍යාපනය සඳහා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු විය. ඉන් පසුව ස්වාධීන මිනිසෙකු ලෙස ලේක් හවුස් ආයතනයට බැඳුණි. අසාමාන්‍ය නිර්භීතභාවයකින් හා අචල අධිෂ්ඨාන ශක්තියකින් යුත් ඔහු පුවත්පත් කලාව හා නිර්මාණශීලී සාහිත්‍යකරුවකු ලෙස ඔහුගේ හැකියාවන් ඔපවත් කළේය. අනගාරික ධර්මපාලතුමාගේ හා සර් ඩී.බී. ජයතිලක මහතාගේ ඇසුර ලබමින් සිංහල බෞද්ධයා පත්‍රය ජනතා හඬක් නඟන පුවත් පතක් බවට පත් කළේය.

එමෙන්ම ඊරියගොල්ල මහතා 1934 සිට සෑහෙන කාලයක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන භාෂා පරිවර්තකයෙකු ලෙස කටයු කළ අතර සෝල්බරි කොමිෂන් සභා වාර්තාව සිංහලට පරිවර්තනය කරන ලද්දේ එතුමා විසින් බවත්, දෙවන ලෝක සංග්‍රාම සමයේ යුධපුවත් බලධරයා ලෙස කටයුතු කළ බවත් බොහෝ දෙනෙක් නොදනිති.

1948 දී නිදහස ලබා ගැනීමට පෙර ආසන මට්ටමින් මන්ත්‍රීන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇති වූ විට සත්කෝරළ සාහිත්‍ය සංගමයේ ඒකමතික තීරණය වූයේ ඒ සඳහා අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා සුදුසු බවය.

ඒ අනුව ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස දණ්ඩගමුව අසුනට ඉදිරිපත්ව එජාප අපේකෂකයන් දෙදෙනෙකු පරදවා වැඩි ඡන්ද 1516 කින් ඊරියගොල්ල මහතාට දණ්ඩගමුව ආසනය දිනා ගැනීමට හැකි විය. එසේම 1952 මැතිවරණයේදී ද ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව පහසුවෙන් වැඩි ඡන්ද 11742 කින් ජයගෙන ඊරියගොල්ල මහතා කුලියාපිටිය ආසනයේ නියෝජිතයා ලෙස තේරී පත් වූයේය. මේ වන විට දණ්ඩගමුව ආසනේ නම කුලියාපිටිය ලෙස වෙනස් වී තිබුණි. ඩී.එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පසු ඩඩ්ලි සේනානායක මහතා හා සර් ජෝන් කොතලාවල මහතා අතර ඇතිවූ අසහනකාරී තත්වයේදී ඩඩ්ලි සේනානායක මහතාගේ පිල ගනිමින් කටයුතු කිරීම නිසා ඊරියගොල්ල මහතා පක්ෂයෙන් වෙන් වූයේය.

1965 ඊරියගොල්ල මහතාට අධ්‍යාපනය හා සංස්කෘතික අමාත්‍යධුරය ලැබිණි.

1970 දක්වා ඒ මහතා එම ඇමති ධුරයේ කාර්යය භාරය ඉටු කළ අාකාරය හා එම කාර්යය භාරය මෙසේ දැක්විය හැකිය.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිපාලනය පළාත් මට්ටමට විමධ්‍යගත කිරීම, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය පේරාදෙණිය හා කොළඹ යනුවෙන් විශ්ව විද්‍යාල දෙකක් බවට පත් කිරීම, විශ්ව විද්‍යාලයට නොතේරෙන සිසුන් සඳහා කනිෂ්ඨ විශ්ව විද්‍යාල 06 ක් මුළු දිවයිනම ආවරණය වන පරිදි දෙහිවල, කෑගල්ල, කුලියාපිටිය, පොල්ගොල්ල, ගාල්ල සහ පලාලි යන ස්ථානවල පිහිටුවීම, අම්පාරේ හාඩි කාර්මික විද්‍යාලයත් රත්මලානේ මූලික කාර්මික විද්‍යාලයත් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගෙන උසස් කිරීම, කටුබැද්ද කාර්මික විද්‍යායතන භූමියේ ලංකා උසස් කාර්මික විද්‍යායතනය යන නමින් නව ආයතනයක් පිහිටුවීම, දිවයින පුරා නව පාසල් පුස්තකාල 100 ක් ඇති කිරීම හා ජාතික පුස්තකාල මණ්ඩලයක් ස්ථාපිත කිරීම, සහන මිලට දරුවන්ට පොත් ලබා ගැනීම සඳහා අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවක් ඇති කිරීම, කොළඹ රාජකීය විද්‍යාලය හා තරග කිරීමට සමත් ඩී.එස්. සේනානායක නමැති විදුහල පිහිටුවීම, (මෙය අද බොහෝ දෙනෙකුගේ මතකයෙන් ඈත් වූ කරුණකි.) ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම අනිවාර්ය කිරීම, ඉංග්‍රීසි ගුරුවරුන් සඳහා උසස් පුහුණුවක් ලබාදීම සහ පේරාදෙණිය පැවැති ඉංග්‍රීසි ගුරු අභ්‍යාස විද්‍යාලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ මට්ටමට උසස් කොට ලංකාවේ ප්‍රථම භාෂා පර්ෙෂණාගාරය එහි පිහිටුවීම, මෙතෙක් රාජ්‍ය සේවකයන් ලෙස නොසැලකූ ගුරුවරුන් රාජ්‍ය සේවකයන් ලෙස අන්තර්ග්‍රහණය කිරීමට පනතක් ගෙන ඒම, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීම, පුරාවස්තු කොල්ලය වැළැක්වීම සඳහා පියවර රැසක් ගැනීම, සීගිරි බිතුසිතුවම් සාහසිකයෙකු විසින් විනාශ කරන ලද අවස්ථාවේදී ලෝක ප්‍රකට ලුසියානු මරන්සේ නමැති විශේෂඥයා ලවා එම සිතුවම් ප්‍රතිසංස්කරණය කරවීම, බුදු දහම ඉගැන්වීමටත් එය ලොව පුරා ප්‍රචාරය කිරීමටත් සුපේශල ශික්ෂාකාමී භික්ෂු පරපුරක් බිහි කිරීමේ අභිප්‍රායෙන් අනුරාධපුරයේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය ස්ථාපනය කිරීම, දේශීය කලාකරුවන් සඳහා කොළඹ නව රඟහල පිහිටුවීම, මුළු අධ්‍යාපන පද්ධතියම ප්‍රතිසංස්කරණය කිරීමේ අභිප්‍රායෙන් ජනතාවගේ අදහස් විමසීම සඳහා අධ්‍යාපන ධවල පත්‍රිකාවක් එළි දැක්වීම, අධ්‍යාපන දෙපාර්තමේන්තුව පිහිටුවා ශත සංවත්සරයක් සපිරුණු 1969 දී ඒ වෙනුවෙන් සුවිශාල අධ්‍යාපන උත්සවයක් ප්‍රාදේශීය මට්ටමෙන් පැවැත්වීම, මෙයට දෙගුරු සම්මන්ත්‍රණ, සිසුන්ගේ අධ්‍යාපන ප්‍රදර්ශන සහ විද්වතුන්ගේ සුවිශේෂ දේශන ආදී දෑ අයත් විය. මෙම කටයුතු සඳහා මුදල් සපයා ගැනීමට පාසල් ලොතරැයියක් පළමු වරට පැවැත්වීම, අධ්‍යාපන සියවස සඳහා ලංකාවේ අධ්‍යාපනය යනුවෙන් කාණ්ඩ තුනකින් යුත් සුවිශාල පර්ෙෂණාත්මක ග්‍රන්ථයක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි සහ භාෂාත්‍රයෙන්ම එළි දැක්වීම ආදිය විශේෂය.

දේශපාලනයෙන් කිසිවක් හරි හම්බ කර නොගත් එතුමා තම පියාගෙන් ලද අක්කර 15 ක් පමණ වූ ගොඩ ඉඩම් ද අක්කර 5 ක් පමණ වූ කුඹුරු කොටසද, තිඹිරිගස්යාය දෙමහල් නිවස ද, විකුණා දමා කුලියාපිටියේ දර්ශන නිවස අලුත්වැඩියා කොට පදිංචිය සඳහා තෝරා ගන්නා ලදී. 1972 දී  කුලියාපිටිය ආසනය අහිමි විමෙන් පසු එතුමා නිතර නිතර අසනීප තත්ත්වයෙන් පසු වූ බැවින් කොළඹ කුලී නිවෙස්වල පදිංචිවීමට සිදුවිය. මනුතාපය පොතෙන් පමණක් එවකට මුදලින් රුපියල් ලක්ෂ හතරකට වැඩි මුදලක් ගුණසේන සමාගමෙන් ලබා ගත් බව වාර්තා විය. එම මුදල් ද දේශපාලන සඳහා වැය කර තිබිණි. අවුරුදු දෙකක ඇවෑමෙන් පසු නැවතත් කුලියාපිටිය ආසනය සංවිධාන කිරීමේ බලාපොරොත්තුවෙන් 1973 ජනවාරි මස 07 දින කුලියාපිටියට පැමිණ දිවා ආහාරය ගැනීමෙන් පසු උපන් ගම වූ ඊරියගොල්ලට ගිය අතර තම සහෝදරිය හමුවීමෙන් පසු එහිදී ඇති වූ හෘදයාබාධයකින් පසු කුලියාපිටිය රෝහලට ඇතුළත් වීමට පෙර අභාවප්‍රාප්ත විය.
අවසන් කටයුතු 1973 ජනවාරි මස 10 දින කුලියාපිටිය පල්ලපිටිය පොදු සුසාන භූමියේදී සිදු විය.


(***)
වයඹ විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික ලේඛකාධිකාරී
ජී.ඩබ්ලිව්. කාරියවසම්