1965 ඩඞ්ලි සේනානායක රජයේ නියෝජ්‍ය ඇමැතිවරු, ඩඞ්ලි සේනානායක මහතාගේ වම් පසින් සිව් වැන්නා සී. ආර්. බෙලිගම්මන මහතා

 

වර්ෂ 1948 දී ලංකාවට නිදහස ලබා ගැනීමේ සටනේදී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු නායකයන් එක්සත්ව කටයුතු කළද නිදහසින් පසුව තම තමන්ගේ ජාතිය අනුව යමින් දේශපාලන පක්ෂ පිහිටුවා ගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබිණි. විශේෂයෙන් දෙමළ හා මුස්ලිම් දේශපාලනඥයන් තමන්ගේ ජාතිය ඉස්මතු කරමින් පක්ෂ පිහිටුවාගත් අතර සිංහල දේශපාලනඥයන් සිංහල නමින් දේශපාලන පක්ෂ පිහිටුවා නොගත්ත ද සිංහල දේශපාලනඥයින් කීප දෙනෙකු ප්‍රධාන දේශපාලන පක්ෂවල සිටිමින්ම සිංහල ජාතික වාදය ඉස්මතු කෙරෙන ආකාරයට ඇතැම් අවස්ථා වල කටයුතු කළ බවක් පෙනෙන්නට තිබිණි.


කේ. ඇම්. පී. රාජරත්න, සිරිල් මැතිව්, ගාමිණී ජයසූරිය ආදීහු ප්‍රධාන දේශපාලන පක්ෂ වල සිටිමින්ම සිංහලයින් වෙනුවෙන් පෙනීසිටියහ. එදා සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටි තවත් එවැනි දේශපලනඥයකු වූයේ මාවනැල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් උප ඇමැතිවරයකු වශයෙන් මෙන්ම නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයකු වශයෙන් ද සිටි සී. ආර්. බෙලිගම්මන මහතාය. 


රත්නායක මුදියන්සේලාගේ චන්ද්‍රසේන රත්නායක බෙලිගම්මන හෙවත් සී. ආර්. බෙලිගම්මන මහතා 1920 ඔක්තෝබර් මස 25 වැනි දින මාවනැල්ල රන්කොද්දිවල වලව්වේදී උපත ලැබීය. ඔහුට වැඩිමහල් සහෝදරයකු සහ බාල සහෝදරියක් ද සිටියහ. මාවනැල්ල ද්විභාෂා රජයේ පාසලෙන් (වර්තමාන මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයෙන්) මූලික අධ්‍යාපනය ලැබූ ඔහු කුණ්ඩසාලේ කෘෂිකර්ම අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වී කෘෂිකර්ම ඩිප්ලෝමා විභාගය සමත්වීමෙන් අනතුරුව ගන්නෝරුව රජයේ ගොවිපළේ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරියෙකු වශයෙන් වසර දෙකක් පමණ සේවය කළේය. ඒ අතරතුර දේශපාලනය කෙරෙහි සිත යොමුකළ බෙලිගම්මන මහතා නිදහසට පෙර 1947 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයට මාවනැල්ල ආසනයට ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වුවද එයින් පරාජයට පත්විය. එම මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ එච්. එල්. රත්වත්තේ මහතාය. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවන අවස්ථාවේ එම පක්ෂයට බෙලිගම්මන මහතා ද එකතු විය. ඔහු එම පක්ෂයේ සම කැඳවුම්කරුවන්ගෙන් ද කෙනෙකු විය. පසුව පක්ෂයේ සම ලේකම්වරුන්ගෙන් කෙනෙකු ද විය. බෙලිගම්මන මහතා 1952 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාවනැල්ල ආසනය තරග කළ අතර එම මැතිවරණය දින තුනක් තිස්සේ පැවැත්විණි. එහි පළමුදින මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ධුර 9ක් හිමි වූ අතර බෙලිගම්මන මහතා ද මාවනැල්ල ආසනය ජයග්‍රහණය කළේය. 
අද දක්වාම පැවැත්වෙන මාවනැල්ල වෙසක් පෙරහරට ඉංග්‍රීසි පාලන සමයේ සිටම බලපෑ නීතියක් අනුව මුස්ලිම් පල්ලි ඉදිරියෙන් ගමන් කරන විට නිහඬව ගමන් කළ යුතු බවට නීතියක් පැවතිණි. රඹුක්කන - මාවනැල්ල මාර්ගයේ පත්තම්පිටිය සිට මාවනැල්ල දක්වා ගමන් කළ වෙසක් පෙරහරට ද මාවනැල්ල මුස්ලිම් පල්ලියක් අසල දී එම පැරණි නීතිය හරස් විය. බෙලිගම්මන මහතා ද එම පෙරහරේ ගමන් කළ අතර පොලිසිය විසින් පෙරහරට වෙඩි තබනු ලැබීය. එහිදී පොලිස් වෙඩි පහරින් ඒක අයෙකු මිය ගියේය. පත්තම්පිටිය සිට මාවනැල්ලට පැමිණි වෙසක් පෙරහරට පෙර එවකට අගමැතිවරයා වූ සර් ජෝන් කොතලාවල මහතා, “මම පොලිසියෙන් එවනවා. අවශ්‍ය වුණොත් වෙඩි තියන්න බලය දීලා” යනුවෙන් කියා තිබිණි. 


එයට පසුව බෙලිගම්මන විහාරස්ථානයේ සිට කෙරමිණිය විහාරස්ථානය දක්වා ගමන් ගත් පෙරහරට ද මාවනැල්ල මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටින් ගමන් කරන විට පොලිසිය පැරණි නීතිය ඉදිරිපත් කොට නිහඬව ගමන් කරන ලෙසට දැන්වීය. එහිදී සී. ආර්. බෙලිගම්මන මහතා ඉදිරියට පැමිණ, “රජයේ නියෝගය අනුව පොලිසියෙන් වෙඩි තියනවා නම් පෙරහරට වෙඩි නොතියා මට වෙඩි තියන්න” යැයි කී නිසා බෙලිගම්මන මහතාගේ නම තවත් ප්‍රසිද්ධ විය. බෙලිගම්මන පවුලට එවකට සද්දන්ත හීලෑ අලියෙක් සිටියේය. එම අලියා බලපත්‍ර පිට වන අලි ඇල්ලීමට ගෙන ගොස් සිටියදී වෙඩි තැබීමකින් ඇති වූ කකුලේ තුවාලයක් නිසා 1920 දී මියගොස් ඇත. බෙලිගම්මන මහතා ද ශරීරයෙන් උස මහත පුද්ගලයකු වූ නිසා ඔහුට ද “බෙලිගමම්න ඇතා” යනුවෙන් හැඳින්වීමට ජනතාව පුරුදු වී සිටියහ. මේ නම 1965 මහ මැතිවරණයේදී වඩාත් ප්‍රචලිත විය. කෙසේ වුවද 1953 දී බෞද්ධ පෙරහර වලට මුස්ලිම් පල්ලි ඉදිරියෙන් නිහඬව ගමන් කළ යුතු බවට වූ ඉංග්‍රීසි නීතිය කොතලාවල මහතා ලවාම වෙනස් කරවා ගැනීමට බෙලිගම්මන මහතා සමත් විය. 


1954 දී රූපවතී ගීතාංජලී විජේවර්ධන මෙනෙවිය සමග බෙලිගම්මන මහතා විවාහ විය. ඇගේ මව විමලා විජේවර්ධන වූ අතර පියා වූයේ දොන් චාර්ල්ස් විජේවර්ධනය. ඔහු හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මවගේ සහෝදරයාය. 1956 දී මහජන එක්සත් පෙරමුණෙන් මාවනැල්ල ආසනයට තරග කළ බෙලිගම්මන මහතා ඉන් ජයග්‍රහණය කර මාවනැල්ල මන්ත්‍රීවරයා වශයෙන් පත්විය. 

 


එවර ඔහු පළාත් පාලන හා සංස්කෘතික උප ඇමැතිවරයා විය. එකල එම අමාත්‍යවරයා වූයේ ජයවීර කුරුප්පු මහතාය. ජයවීර කුරුප්පු මහතා රෝගාතුරව පසුවූයෙන් බෙලිගම්මන මහතාට එම ඇමැති ධුරයේ වැඩබැලීමට ද සිදුවිය. 


1958 දී දෙමළ භාෂා සාධාරණ විධි විධාන පනතට විරුද්ධව කතාකොට බෙලිගම්මන මහතා පාර්ලිමේන්තුවේ දී එම පනතට විරුද්ධව ඡන්දය දුන්නේය. එයට පෙර බණ්ඩාරනායක මහතා කියා ඇත්තේ, “බෙලි, පනතට විරුද්ධ නම් ඡන්දය නොදී ඉන්න. විරුද්ධව ඡන්දය දුන්නොත් පක්ෂය ඔබ ගැන තීරණයක් ගනීවි. අසනීපයෙන් පසු වන ජයවීර කුරුප්පු ඇමැතිතුමාගෙන් පස්සේ ඔබට ඒ ඇමැතිකමත් ලැබෙනවා.” යනුවෙනි. එහෙත් මෙම පනත පිළිබඳව සී. ආර්. බෙලිගම්මන මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකදී ප්‍රදේශයේ මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීම ද අනුව බෙලිගම්මන මහතා සිය කැමැත්තෙන්ම එම පනතට විරුද්ධව ඡන්දය දුන්නේය. මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බලමණ්ඩලය සහ මහා සංඝරත්නය එක්ව ගත් තීරණයකට අනුව යයි කියා බෙලිගම්මන මහතා එම පනතට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේය. මෙහිදී බෙලිගම්මන මහතාගේ සමීපතමයකු වූ පසුව මාවනැල්ල ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරයා ද වූ පී. ආර්. රත්නායක මහතා බණ්ඩාරනායක මහතාට විදුලි පණිවිඩයක් යවමින් කියා ඇත්තේ, මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය බලමණ්ඩලයේ තීරණයට වඩා බෙලිගම්මන මහතාගේ දැඩි තීරණය අනුව දෙමළ භාෂා විධිවිධාන පතට විරුද්ධව ඡන්දය දුන් බවය. 


සී. ආර්. බෙලිගම්මන මහතා කීවේ, අපි මැතිවරණයේදී බලය ඉල්ලුවේ පැය 24 න් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට ජනතාවට පෙරොන්දුවක් දීලයි. ඒ නිසා මේ පනතට පක්ෂ වෙන්න අපට පුළුවන් කමක් නෑ. කියායි. වැලිමඩ මන්ත්‍රී කේ. එම්. පී. රාජරත්න මහතා ද එදා මෙම මතයම දැරුවේය. 


මහජන එක්සත් පෙරමුණු රජයෙන් වෙන්ව 1958 දී ‘සිංහල ජාතික සංගමය’ නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවාගත් බෙලිගම්මන මහතා 1960 මාර්තු මහ මැතිවරණයට එම පක්ෂයේ ලන්තෑරුම ලකුණ යටතේ මාවනැල්ල ආසනයට තරග කළේය. එම ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය පළමුවැනි තැනට තේරී පත් වූ අතර සී. ආර්. බෙලිගම්මන මහතාට දෙවැනි තැන හිමිවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවූයේ තුන්වැනි තැනයි. 1960 ජූලි මහ මැතිවරණයට ද එම පක්ෂයෙන්ම මාවනැල්ල ආසනයට තරග කළ බෙලිගම්මන මහතා ජයග්‍රහණය කළේය. එක්සත් ජාතික පක්ෂයට දෙවැනි තැනි හිමිවූ අතර බෙලිගම්මන මහතාගේ සිංහල ජාතික සංගමයට තුන්වැනි තැන හිමිවිය. 1965 මහ මැතිවරණයේදී ඩඞ්ලි සේනානායක මහතාගේ ඉල්ලීම අනුව බෙලිගම්මන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මාවනැල්ල ආසනයට තරගකර ඉන් ජයග්‍රහණය කළේය. එවර ඔහු ඩඞ්ලි සේනානායක රජයේ කම්කරු හා රැකී රක්ෂා උප ඇමැති හා ස්වදේශ කටයුතු උප ඇමැතිවරයා වශයෙන් ද පත්විය. 1970 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් මාවනැල්ල ආසනය තරග කළ බෙලිගම්මන මහතා එම මහ මැතිවරණයෙන් පරාජයට පත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා වූ පී. ආර්. රත්නායක මහතා ජයග්‍රහණය කළේය. බෙලිගම්මන මහතාගේ පැරණි සමීප මිතුරකු වූ පී. ආර්. රත්නායක මහතා කලින් බෙලිගම්මන මහතා දෙමළ භාෂා සාධාරණ විධි විධාන පනතට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අවස්ථාවේදී බණ්ඩාරනායක මහතාට විදුලි පුවතකින් බෙලිගම්මන මහතා ගැන දන්වා යැවූ පුද්ගලයාය. 


නැවත 1977 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් මාවනැල්ල ආසනයට තරග කළ බෙලිගම්මන මහතා එම මැතිවරණයෙන් ජයග්‍රහණය කළේය. එවර ඔහුට නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය හිමි වුවද දින කීපයකින් ඔහු එම තනතුරින් ඉල්ලා අස්විය. අනතුරුව ඔහු 1980 සැප්තැම්බර් 20 වැනිදා අභාවප්‍රාප්ත විය. 


බෙලිගම්මන මහතාට දරුවන් තිදෙනෙකු සිටිති. ඒ පුතකු හා දියණියන් දෙදෙනකු වශයෙනි. පුතා වන අරුණ බෙලිගම්මන මහතා 1991 පැවති මාවනැල්ල ප්‍රාදේශීය සභා මැතිවරණයට ස්වාධීන කණ්ඩායමකින් තරගකර එයින් ජයග්‍රහණය කර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් සේවය කළේය. ඔහු එයට පසුව දේශපාලකයෙන් ඉවත් විය. සී. ආර්. බෙලිගම්මන මහතා ද අතීතයේ සිටි මෙරට බොහෝ දේශපාලනඥයන් මෙන්ම දේශපාලනයෙන් හම්බකරගත් දෙයක් නැත. ඔහු තමන් නියෝජනය කළ දේශපාලන පක්ෂයට වඩා තමන්ගේ හිතට එකඟව අවංකව ක්‍රියාකළ දේශපාලනඥයකු වශයෙන් ජනතාව අතර අදටත් නමක් දිනාගත් පුද්ගලයෙකි.

 

 


සටහන / ඡායාරූප :
කෑගල්ල කරුණාරත්න අතුකෝරාල