1994 වසරේ මැද භාගය පමණ වන විට එවකට සිටි ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමා තම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සමස්ත ඇමැති මණ්ඩලය කෙරෙහි සැකසංකා උපදවාගෙන සිටියේය. ඇතැම්විට ඔහු එසේ සිතන්නට ඇත්තේ තම ඇමැති මණ්ඩලයෙන් තමන්ට ලැබිය යුතු සහයෝගය නොලැබෙතැයි පෙනී ගිය නිසා විය හැකිය.


“හොඳයි එහෙනං අපි බලමුකෝ ඒ කට්ටිය ඔය සෙල්ලම කොයිතරං දුරට කරගෙන යාවිද කියල....” යි සිතූ ජනාධිපතිවරයා තම ඇමැති මණ්ඩලයෙන් හෝ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් කිසිදු අදහස් විමසීමක් නොකර එක්තරා දැඩි තීන්දුවක් ගෙන තිබුණේය. එනම් මෙරට මහ මැතිවරණ කැලැන්ඩරයට අනුව 1995 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය ඊට පෙර එනම් 1994 අගෝස්තු මාසයේ පැවැත්වීමට පියවර ගැනීමය.


‘හරියටම කියනවා නං පාර්ලිමේන්තු මැතිවරණයට කලින් පවත්වන්න නියමිතව තිබුණේ ජනාධිපතිවරණය. ඒත් විජේතුංග ජනාධිපතිතුමා තමන්ගේ තනි කැමැත්තට අර විදියේ තීන්දුවක් අරගෙන පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමේදී ප්‍රකාශයට පත් කරන කොට අපට පුදුමත් හිතුණා...’ යි කී එවකට පැවැති ආණ්ඩුවේ සිටි කැබිනට් ඇමැතිවරයෙකු මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ඇතැම් විට එය ජනාධිපතිතුමාගේ පෞද්ගලික දේශපාලන උපදේශක මණ්ඩලයේ උපදෙස් පරිදි ගන්නා ලද තීන්දුවක් විය හැකි බවය. අන්තිමේදී ඒ චෝදනාවට ලක්වූයේ හැරල්ඞ් සහ විල්සන් නමැති අදෘෂ්‍යමාන උපදේශකයන් දෙපළය.


ජනාධිපතිතුමා තමන්ගේ තනි කැමැත්තට එවැනි තීරණයක් ගත්තට ආණ්ඩුවේ කිසිම මැති ඇමැතිවරයෙක් ඒ මොහොත වෙනකොට මහ මැතිවරණයකට මුහුණදෙන්න තරම් සූදානමින් හිටියෙ නෑ. ඒත් අපට මැතිවරණයකට යන්න වුණා. ආරක්ෂක හේතු මත ජනාධිපතිතුමා ඉලෙක්ෂන් කැම්පේන් එකට වැඩිය සම්බන්ධ වුණෙත් නෑ. අනිත් කාරණේ තමයි ඒ වෙනකොට බස්නාහිර පළාතේ මහ ඇමැතිනිය වශයෙන් පත්වෙලා දකුණු පළාත් සභාවේ පාලන බලයත් පොදු පෙරමුණු සන්ධානයට ලබාගෙන හිටපු චන්ද්‍රිකා රටේ ඉහළින්ම ජනප්‍රිය වෙලා හිටපු කාලේ අපට කරට කර සටනක් දෙන්න අමාරු බව කල්තියාම තේරුණායි එම ඇමැතිවරයා කී අයුරින්ම 1994 අගෝස්තු මස 16 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් එජාපය පැරදුණේය.


එසේ වුවද දිස්ත්‍රික් සමානුපාතික ඡන්ද ක්‍රමය නිසා පොදු ජන එක්සත් පෙරමුණට මන්ත්‍රී ධුර 105 කුත්, එජාපයට මන්ත්‍රී ධුර 94 කුත් ලැබී තිබුණේය. ඊට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී මහජන විමුක්ති පෙරමුණ සහ තවත් ස්වාධීන කණ්ඩායම් දෙකකට මන්ත්‍රී ධුර 24 ක් ලැබී තිබුණෙන් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය සොයා ගැනීම සඳහා එම දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබාගැනීමට ප්‍රධාන පක්ෂ දෙකටම අවශ්‍ය විය.


මේ අතර එජාපය උත්සාහ කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ ස්වාධීන කණ්ඩායම්වල සහාය තමන් වෙත ලබාගෙන නව ආණ්ඩුවක් පිහිටුවීමටය. එහිදී එජාප අගමැති අපේක්ෂක ගාමිණී දිසානායක මහතා ඒ වන විට කල්මුණේ රැඳී සිටි ඒ. එච්. එම්. අෂ්රප් මහතාට දුරකථන ඇමතුමක් දී කියා සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය තමන්ට ලබාදී තම පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා උදවු කරන ලෙසය.


“හරි ඉතින් මොනව කරන්නත් මම කොළඹට එන්න එපා” යැයි කී අෂ්රප් මහතාට පැය දෙකක් ඇතුළත හෙලිකොප්ටර් යානයක් කල්මුණේට එවීමට ගාමිණී පොරොන්දු වූයේ දැඩි බලාපොරොත්තුවකිනි. ගාමිණී දිසානායක අෂ්රප්ට එම පොරොන්දුව දෙන විටත් තවත් පාර්ශ්වයක් ඔහුට කතා කර තිබුණේය.


අපි ඔබතුමාට මුදල් අමාත්‍යංශයයි විදේශ අමාත්‍යාංශයයි හැර වෙනත් ඕනෑම අමාත්‍යංශයක් දෙන්නම්. ඔබතුමාගේ පක්ෂයේ සහයෝගය අපට දෙන්න අපි තව නියෝජ්‍ය ඇමැතිකමකුත් දෙන්නම් යි කියමින් ඔහුට ඊට විනාඩි ගණනකට පෙර කතා කර තිබුණේ පොදුජන එක්සත් පෙරමුණු සන්ධානයේ මහ ලේකම් දි. මු. ජයරත්නය.
ලේකම්තුමා මට ඉතාම අවශ්‍යයි ඔලුවිල් වරාය හදාගන්න. ඒ වැඬේ මටම කරගන්න පුළුවන් අමාත්‍යංශයක් මට දෙනවනං ආයෙ මගේ වචන දෙකක් නෑ.


හරි නායකතුමා මට තව විනාඩි පහක් දෙන්න. මම ලොකු මැඩම්ගෙනුත් අහලා ඒ ගැන වචනයක් දෙන්නං”යි කියමින් දුරකථනය විසන්ධි කළ ඔහු තවත් විනාඩි දෙකක් ගෙවී යාමටත් මත්තෙන් යළි අෂ්රප්ට ඇමතුමක් දෙමින් ඊට එකඟත්වය පළ කළේය.


‘එහෙමනං නායකතුමා පුළුවන් තරං ඉක්මනින් කොළඹට ඇවිත් රොස්මිඞ් එකට එන්න. අපි මගබලාගෙන ඉන්නවා”යි දි. මු. කී විට අෂ්රප් මහතා බලාපොරොත්තු වූයේ පසුදා උදේ රැයින්ම කොළඹට ඒමටය.


එහෙත් ඊට සුළු වේලාවකට පසු ඔහුට කතා කළ ගාමිණී දිසානායක තම පොරොන්දුව අකුරටම ඉටුකර තිබුණේ හෙලිකොප්ටර් යානයක් කල්මුණේ වෙත එවමිනි. තම සමීප හිතවතුන් දෙදෙනෙකුද සමග හෙලිකොප්ටරයට ගොඩවූ අෂ්රප් මුලින් බලාපොරොත්තු වූයේ ගාමිණී දිසානායක සමග ගොස් ජනාධිපතිතුමා සමග තමන්ගේ ඉල්ලීම් ගැන සාකච්ඡා කිරීමටය. එහෙත් එම හෙලිකොප්ටර් යානය කොළඹ හැව්ලොක් පිටියට සේන්දුවූ වහාම එහි දුවගෙන ආ සගයෙකුගෙන් අසන්නට ලැබුණේ අලුත්ම ආරංචියකි. එම අලුත්ම ආරංචිය වූ කලී එතෙක් වේලා භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත්වීමටත් පෙර අග්‍රාමාත්‍ය නිල මැදුරවූ අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය බවය. එම ආරංචියත් සමග ඔහුගේ සිත කීරි ගැසී ගියේය.


එහෙම නං ඉතින් මම මොකටද ආයෙත් ගාමිණී මුණගැහෙන්න යන්නේ, රනිලුත් පරාජය පිළිගත්ත නිසානේ අරලියගහ මන්දිරයෙනුත් යන්න ගියේ යි තමන්ටම කියාගත් අෂ්රප් මහතා තමන් එතෙක් වේලා රැඳී සිටි ස්ථාවරය මොහොතකින් වෙනස් කළේය. ඊළඟ තත්පරයේ මුලින් ගත් තීරණය වෙනස් කළ අෂ්රප් රොස්මිඞ් මැදුරට යද්දී ඔහුට පෙනී ගියේ මැතිනියගේ පාර්ශ්වය නව ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය සකස් කරමින් සිටින අයුරුය.


‘ආ එන්න එන්න නායකතුමා’ යි කියමින් ඔහු හරසරින් පිළිගත් දි. මු. ජයරත්න මහතා උඩුමහලට කැඳවාගෙන ගොස් මැතිනියට හඳුන්වා දුන්නේය. තම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන් සියලුම දෙනාගේ සහයෝගය පොදුජන එක්සත් පෙරමුණට ලබාදෙන බවට ලිඛිත ප්‍රකාශයක් ලබාදුන් අෂ්රප් මහතා ඉන් අනතුරුව තම නිවසට ගොස් තිබුණේ සැහැල්ලු සිතකින් යුතුවය. ඉන් ටික දිනකට පසු අභිනවයෙන් පත්වූ පොදු පෙරමුණු ආණ්ඩුවේ නාවික, වරාය, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු භාර කැබිනට් ඇමැතිවරයා වශයෙන් ඔහු දිවුරුම්දීම එම ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය විය. ඒ අනුව තමන් බලාපොරොත්තුවූ අයුරින්ම ඔලුවිල් වරාය ඉදිකිරීමේ කාර්යභාරය ද අෂ්රප් මහතාටම පැවරී තිබුණේය.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප : අන්තර්ජාලයෙනි