(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි) 
ආයතන ප්‍රධානියාගේ හදිසි රාජකාරියක් නිසා දවල් ආහාරයද ඒවා ගෙනා භාජනද නැතිව ගෙදර යන්නට සිදුවූ නිලදරුවකු බිරියට දෙන උත්තර සොයමින් පසවූ පුවතක් පසුගියදා කොලොම් තොටේ කාර්යාලයකින් අසන්නට ලැබිණි. 


නිවසේ සිට දිනපතා රාජකාරියට එන කොළඹ අග නගරයේ කාර්යාලයක සේවය කරන නිලදරුවෙකි. අලුයම අවදිවන බිරිය ඔහුට දිවා ආහාරය සකසා දීම සිරිතය. බත් හා ව්‍යංජන වෙන වෙනම අසුරා දීම ඇය පුරුද්දක් කරගෙන සිටියාය. ඒ සැමියාගේ දිවා ආහාරය ලබා ගැනීමේදී ඔහු තෘප්තිමත් කරන අදහසිනි. 


ප්ලාස්ටික් ඇසුරුමක බත් අසුරන අතර ව්‍යංජන කිහිපයක් පුංචි බෝතල්වල අසුරා හුරුබුහටි පාර්සලයක් සේ සකසා දෙන්නේ සැමියාටත් කරදරයක් නොවන පරිදිය. දිවා ආහාරය ගැනීමෙන් පසු ඒ සියල්ල සෝදා පිරිසුදුකර ආපසු අසුරාගෙන යාම සැමියාගේ සිරිත වූයේය.


පසුගිය දිනක දිවා ආහාරය ලබා ගනිමින් සිටියදී ඔහුට ප්‍රධානියාගෙන් හදිසි කැඳවීමක් ලැබිණි. උඩින් පල්ලෙන් ආහාරය ලබා ගත් හෙතෙම භාජන සියල්ල පසෙක තබා ප්‍රධානියා හමුවට ගියේ ඒවා පසුව සෝදා අස්කර ගන්නා අදහස ඇතිවය. 


ප්‍රධානියා හමුවීමෙන් පසු පැවැරුණු හදිසි රාජකාරිය ඉටු කර පැය කිහිපයකින් ඔහු කෑම කාමරයට ගියේ භාජන සෝදන අදහසිනි. 


එහෙත් ඔහුගේ සියලු බලාපොරොත්තු බීඳී ගියේය. තමන්ගේ භාජන එකක්වත් තිබූ තැන පෙනෙන්නට නැත. වට පිට බලද්දී සවස තේ සකසන කාන්තාව එහි ආයේය. ඇයි මහත්තයා ඇය විමසුවාය. ඔහු කාරණය කීවේය.


අනේ මහත්තයා මං ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මම මෙතන තිබිච්ච ඒවා සේරම කසළ භාජනයට දාලා අස්කළා ඇය කීවේ බයාදු ගතියෙනි. ඔහු කසළ බදුන බැලුවේය. එකි නෙකාගේ ඉදුල් අතරින් තම බදුන් තිබෙනු ඔහු දුටුවේය.


මහත්තයා මම ඒවා අරගෙන දෙන්නද තේ සකසන කාන්තාව විමසුවාය. එපායි කී ඔහු ආපසු ගියේ ඒ ආකාරයේම බඳුන් කෙසේ සොයා ගන්නද මෙන්ම බිරියගේ ප්‍රශ්න පත්‍රයට දෙන උත්තර ගැන සිතමිනි.