(තිහගොඩ උපසේන ලියනගම)
විශ්‍රාමික ගුරු මාතාවක් වූ ඇය ඇතුගල්පුරයට නුදුරු නිවෙසක ජීවත්වූයේ සිය වැඩිමහල් පුතුගේ පවුලේ අය සමඟ  මහගෙදරය. වියපත්, සැමියා බාල දුවගේ දරුවන් බලා ගැනීමට කොළඹ ගොස් සිටියේය.


අක්කර තුනක් පමණ වූ පොල් ඉඩමේ පොල් කඩා ගොඩ ගැසූ පසු කොළඹ පොල් වෙළෙන්දකු මුදල් ගෙවා ඒවා ගෙන ගිය අතර මෙවර එහි ආ ඔහු පොල්වල වටිනවාකම අඩුවෙන් තක්සේරු කළ නිසා දීර්ඝ සාකච්ඡාවකින් පසු හිස් අතින් ආපසු ගියේ වෙළෙඳපොළේ මිල ගණන් බලා පසුව අන්තිම කැමැත්ත දෙන බව කියමින් තම දුරකථන අංකය ද ඇයට  දෙමිනි.


 සති ගණනක් ගියත් පිළිතුරක් නොලද නිසා තම ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා දෙන්නැයි ඇය මුනුපුරකුට කීවාය. ඔහුද ඇමතුම ලබා දුන්නේ කෙටියෙන් පණිවුඩය කියන ලෙස ඉල්ලමිනි.
“අර ගනුදෙනුව ගැන අන්තිම කැමැත්ත දෙන්න. නැත්නං මං වෙන අතක් බලා ගන්නවා” ඇය කීවත් පිළිතුරක් ලැබුණේ නැත.


 මොහොතකට පසු මුනුබුරාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි. කතා කළේ කොළඹ සිටි සීයාය. “උඹලාගෙ අත්තම්මට පිස්සුද බං බැඳල  අවුරුදු පනහකට  පස්සෙ මගෙන්  අන්තිම කැමැත්ත අහන්නෙ.” සීයා  කීවේ සිනාසෙමිනි. දුරකතන අංක දෙක පැටලී ඇති බව දැනගත් මුනුපුරා ආච්චිට ඒ ගැන කීවිට ඇය “හත් දෙයියනේ” කීවේ වමතින් කට වසාගෙනලු.