තම ගැබිනි බිරියට බස් රථයේදී අසුනක් ලබා දුන් විට තමන්ටත් අසුනක් ඉල්ලූ සැමියකු පිළිබඳ කතා පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 
කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක පදිංචි තවමත් මැදිවියට  ආසන්නව සිටින යුවළකි. මෙම යුවළේ බිරිඳ ගැබිනියකව සිටි අතර සැමියා සමඟ නගරයට බෙහෙත් ගැනීම සඳහා ගොස් පැමිණෙමින් සිටියාය.
මෙම ගම්මානය සඳහා ඇත්තේ එක් බස් රථයක් නිසාම බස් රථයම  මගීන්ගෙන්  පිරී ගොස් තිබිණ. වෙනත් බස් රථයක් නොමැති නිසා කෙසේ හෝ මෙම බස් රථයේම ගමන් කළ යුතු නිසා සිය ගැබිනි බිරිඳ සමඟ ඔහු බස් රථයට ගොඩ විය.  


මේ වන විටත්  බස් රථයේ විශාල පිරිසක් හිටගෙන සිටියහ. මේ වනවිට බස් රථයේ වාඩි වී සිටියේ  රෝගීන් මෙන්ම ආබාධ සහිත වූවන් සහ වයෝවෘද්ධ පුද්ගලයින් පමණකි. 
කෙසේ නමුත් ගැබිනි මවක පැමිණි බැවින් තරමක් අමාරුවෙන් හෝ වයෝවෘද්ධ පුද්ගලයෙක් නැගිට ගැබිනි මවට අසුනක් ලබා දුන්නේය.  මෙම අසුනේ බිරිඳ වාඩි වීමෙන් පසුව සැමියාද ඊළඟ අසුනේ වාඩි වී සිටි තවත් වයෝවෘද්ධ පුද්ගලයකු අමතා අන්කල් මටත් පොඩ්ඩක් අමාරුයි ඔය සීට් මට එක ටිකකට දෙනවද යැයි හයියෙන්ම  ඇසීය.
 මෙම කතාව බස් රථය පුරා ඇසිණි. මගීහු සියලු‍ දෙනාම මෙම පුද්ගලයා දෙස බැලූහ. බිරිඳ ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය. පිටුපස හිට  ගෙන සිටි තරුණයෙකු ඇයි අංකල්  අංකල්ටත් බබෙක් හම්බ වෙන්නදැයි ඇසුවේ මුළු  බස්  රථයම සිනා ගන්වමිනි. එතැන් පටන් මෙම යුවළ බස් රථයෙන් බසිනතුරුම බස් රථයේ මගීන්ට මෙම සිද්ධිය තලු‍ මර මරා කතා කළ හැකි මාතෘකාවක් බවට පත්ව තිබිණ.

හාරිස්පත්තුවේ  - මොහොමඩ් ආසික්