පෝද්දල සරත් ආනන්ද ගමගේ
විශ්‍රාම ලැබූ මහජන සම්බන්ධතා නිලධාරියකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට අවසාන මොහොතේ ඔහු සහභාගි නොවී එය මගහැර ගිය පුවතක් පිළිබඳව අපූරු කතාවක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා විය.
මෙම ගමේම පදිංචිකරුවකු වන අදාළ නිලධාරියා ඉතා කඩවසම් පුද්ගලයකු වූ අතර විවාහ දිවිය ද අතරමග කැඩීයාම නිසා හේ තනිකඩයකු ලෙස ජීවත් විය.
පෙනුමෙන් ද තරුණයකුගේ හැඩරුව ඇති මොහුගේ වයස අවුරුදු හතළිහක හතළිස් පහක පමණ පෙනුම ඇත්තෙකි. ලොකු කුඩා බාල මහලු හැමදෙනාගේම නොමඳ ගෞරවයට ප්‍රාප්තව සිටි මෙම තැනැත්තාට විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයෙන් දැඩි පිළිගැනීමක් ඇතැයි ද කියති.
මෙම කොට්ඨාසයේම ගම්මාන කිහිපයකම රාජකාරී කර ඇති මෙම නිලධාරියා රාජකාරියට එහා යමින් සේවය කළ අතර නගරාසන්න කොට්ඨාසයක සේවය කරමින් සිටිය දී පසුගියදා විශ්‍රාම ලැබීය.
ඔහු වෙනුවෙන් උපහාර උත්සවයක් සංවිධානය කරමු යැයි කතිකා කරගත් මිතුරන් පිරිසක් විසින් ඒ සඳහා ප්‍රදේශයේ ප්‍රජාශාලාව ද වෙන්කරවා ගෙන දිනයක් ද යොදාගෙන උත්සවයේ කටයුතු සංවිධානය කළේය. මෙම උත්සව කටයුත්ත පිළිබඳ කන වැකුණු අදාළ නිලධාරියා සංවිධායක මිතුරන්ට කතා කර ඔය කටයුත්ත නතර කරන ලෙසත් උත්සවය සංවිධානය කළ ද තමා එයට සහභාගී නොවන බවත් පවසා ඇත. ඔහු විහිළුවට එසේ ප්‍රකාශ කරන්නේ යැයි සිතූ මිතුරන් උත්සවයේ සංවිධාන කටයුතු දිගටම කරගෙන ගොස් ඇත. ඒ සඳහා විහාරාධිපති නාහිමියන්ට ද ආරාධනා කර පිළිගැනීමේ අවස්ථාවට නැටුම් කණ්ඩායමකට ද ඇරයුම් කළේය.
උත්සවය පැවැත්වෙන දිනයේ පෙරවරුවේ ප්‍රධාන සංවිධායක මිතුරාට දුරකතන ඇමතුමක් දෙමින් විශ්‍රාමික නිලධාරි මිතුරා කියා ඇත්තේ “ඔය පිස්සු වැඩේ නවත්තපල්ලා. මම ඕකට එන්නෙ නෑ ” කියා ය. “අවුලක් නෑ ඕකා නාවොත් අපි ගෙදෙට්ට ගිහිල්ලා බලෙන් හරි ගේමු” යැයි කියමින් සංවිධායකයෝ උත්සවයට සූදානම් වූහ.
නියමිත වේලාවට උත්සවය ආරම්භ කිරීමට ප්‍රධාන ආරාධිතයා වන විශ්‍රාමික නිලධාරියා නොපැමිණි නිසා යහළුවෝ දෙදෙනෙක් වෑන් රථයකින් ඔහුගේ නිවසට ගියෝ ය. නිවසේ සිටි ඔහුගේ සොයුරිය පවසා ඇත්තේ අයියා උදේම කොළඹ යන බව කියමින් නිවසින් පිටව ගිය බවය.
පසුව පිරිස පැමිණ ආරාධිතයාට හදිසි කටයුත්තකට කොළඹ යාමට සිදුව ඇතැයි දැනුම්දෙමින් ඔහු නොමැතිව සමුදීමේ උත්සවය කෙටියෙන් පැවැත්විය. ඔහුට පිරිනැමීමට ගෙනා ත්‍යාග ද ඔහුගේ සහෝදරයකු ගෙන්වා ගෙන ඔහුට ලබා දී උත්සවය අවසන් කර ඇත.
ඔහු උත්සවයට සහභාගි නොවීම පිළිබඳව සැබෑ කතාව ළඟම මිතුරන් දෙදෙනකුට පවසා ඇත. ” ඔය උත්සවේට ගිහිල්ල ගන්න ටේබල් ෆෑන් එක වගේ නෙවෙයි බං මම පැන්ෂන් ගියා කියල ආරංචි වුණොත් මට මේ ගමේ මොන තරම් දේවල් නැති වෙනවද, කොල්ල වගේ ඉන්න මං දැන් පැන්ෂන් ගියා කියල කියන්නේ කොහොමද දැන් ලැබෙන තෑගි රුපියල් සතවලින් මනින්න බැහැනේ බං” යනුවෙන් සැබෑ හේතුව පවසා ඇත.යහළුවන් දෙදෙනාගේ කටින් පිටව ගිය සැබෑ කතාව දැන් ගමේ බොහෝ දෙනෙකු දන්නා බව පැවසෙන අතර විශ්‍රාම ලැබුව ද ඔහුගේ සේවය ඉදිරියටත් සේවාදායකයින්ට ලැබේ යැයි ඔවුන් පවසනවා ලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd