කරන්දෙණිය එම්.සුසිල් පියන්ත



සිය කුරුඳු ඉඩම සොරුන්ගෙන් බේරා ගන්න කවුරුත් නොසිතූ උපක්‍රමයක් භාවිත කළ ඉඩම්හිමි වැවිලිකරුවකු පිළිබඳ කතාවක් කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
ඉඩම්හිමි වැවිලිකරු කොළඹය. ඔහුගේ කුරුඳු ඉඩම් ටික තිබුණේ දකුණේය. දකුණේ කොනේ ගම්මානයකය. ප්‍රශ්නයවී තිබුණේ තමන් කුරුඳු අස්වැන්න නෙළාගන්න කලියෙන් නිලනොලත් අයිතිකරුවන් අස්වැන්න නෙළා ගැනීමය. කුරුඳු ඉඩම සඳහා පොහොර ඉඩම්හිමියාගෙන්ය. වල් නෙළීම සහ අනෙකුත් නඩත්තු කටයුතුත් ඔහුගෙන්ය. නිලනොලත් අයිතිකරුවන්ට මේ කිසිදෙයක් සඳහා මුදල් වැය නොවේ. ඔවුන් කරනුයේ රාත්‍රියට මේ කුරුඳු ඉඩමට පැන සිත්සේ කුරුඳු ටික කපාගෙන ඒවා හොර රහසේම මිලදී ගන්නා අයකුටදී මුදල් කර ගැනීමය.
මේ නිසාම කුරුඳු ඉඩම්හිමියාට සිය ඉඩමෙන් ලැබුණේ පුස්සය. මදය නිලනොලත් අයිතිකරුවන්ටය. මෙය ඔහුට ඉවසිය නොහැකි දෙයක්විය. ඉතාම පාඩුදායක දෙයක් විය. මේ නිසාම ඉඩම්හිමියා මේ සම්බන්ධයෙන් සිතුවේය. ඒ සිතිවිල්ලට අනුව ඔහුට අලු‍ත් අදහසක් ආවේය. ඔහු එය ක්‍රියාත්මක කළේය.
ඉඩම්හිමියා සිය ඉඩමේ කුරුඳු හොරෙන් කපන නිලනොලත් අයිතිකරුවන් කවුදැයි යන්න නිලනොලත් ආකාරයට ගමෙන් සොයා බැලු‍වේය. ඒ ඔස්සේ හෝඩුවාවක් සොයා ගත්තේය. ඒ හෝඩුවාව අනුව ඉඩම්හිමියා සිය කුරුඳු ඉඩමේ නිලනොලත් අයිතිකරුවන්ගේ නායකයා හමුවීමට නිවස සොයා ගියේය. ඒ සමගම නිවැසියා කලබලවූවේය. මෙතුමා එන්නට ඇත්තේ ඔහුගේ කුරුඳු ඉඩමට තමා ඇතුළු කණ්ඩායම කළ හානිය ගැන වන්නටයි ඔහු සිතුවේය. ඔහුගේ සිතුවිල්ල පුස්සක්වි ගියේ ටික වේලාවකින්ය.


මම මේ මහත්තයා හමුවෙන්න ආවේ වැදගත් කාරණයක් ගැන කතා කරන්නයි. මම ඔබතුමාට රස්සාවක් දෙන්නයි ආවේ. ඔයා තමයි මේ රැකියාවට ගැළපෙනම කෙනා යයි ඉඩම්හිමියා කියාගෙන කියාගෙන ගියේය. ඔහුගේ තුන් මුහුණේම දාඩියය. මහත්තයා එන්නේ මොකාටදැයි ඔහුට නොතේරුණේය. නැවතත් කතා කළ ඉඩම්හිමියා ඔබතුමා මගේ කුරුඳු ඉඩම ආරක්ෂා කරලා දෙන්න ඕන කුරුඳු හොරුන්ගෙන්. මම ඒකට සැලකිය යුතු මාසික වැටුපක් දෙනවා. අද ඉදලා රස්සාව භාර ගන්න යයි ඉඩම්හිමියා තමා දෙන මාසික වැටුපද කියා නිම කළේය.
ඔහුගේ ඉහේ මලක් පිපුණේය. ඔහු එම රැකියාව භාර ගත්තේය. එම ඉඩමේ කුරුඳු අස්වැන්න නිලනොලත් අයිතිකරුවන් අතට පත්වීම එදායින් පසු කම්මුතු වුණාලු‍.