දිනෙන් දින දියුණු වන සමාජයේ අවශ්‍යතා වෙනුවෙන් වෙළඳපොළ සංවර්ධනය වන බව කවුරුත් පිළිගන්නා කරුණකි. ඒ නිසාම මහ මග මස් මාළු අලෙවි කරන කඩ ඕනෑ තරම් දැකගත හැකිය.
කෙසේ වෙතත් පැරණි ක්‍රමයට නම් යතුරුපැදියක හෝ මෝටර් සයිකලයක පෙට්ටියක් බැඳගෙන මාළු අලෙවි කිරීම් තවමත් ගම් වලින් ඈත්වී ගොස් නැත.
මේ පුවත වාර්තා වෙන්නේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක්තරා දුරින් පිහිටි ගම්මානයකිනි. සිද්ධිය වාර්තා වන අන්දමට වෙනදා ගමට පැමිණෙන මාළු වෙළෙන්දා මාළු කපා දී මුදල් ලබාගන්නේ මාළුන්ගේ බර ද ටිකක් වැඩියෙන් කිරා දීය.


මේ වෙළෙන්දාගෙන් කලක් තිස්සේ මාළු ලබාගන්නා කාන්තාවක පුරුදු පරිදි මාළු ඉල්ලා ඇති අතර මාළු වෙළෙන්දා ද සිනාමුසු මුහුණින් කියා ඇත්තේ අදනම් වැව් මාළු තියෙනවා අලුත්ම ඒවා. අද කපලා දෙන්න නම් විදිහක් නෑ අක්කට ඉතින් කපාගන්න පුලුවන්නේ.
වෙනදා කපාදෙන මාළු ලබාගත් මේ කාන්තාව ද දිග දුර නොසිතා මාළු වෙළෙන්දාගෙන් මාළු ලබාගෙන මුදල් ද ගෙවා ලබාගත් මාළු නිවසේ දී කපන විට හසුවී ඇත්තේ මාළුන්ගේ බඩවල් වල ගල් කැට ඇති බවයි. මාළුවාගේ කටෙන් ඉතා සුක්ෂමව ඇතුළු කර ඇති මේ ගල් කැට නිසා මාළුවාගේ බර වැඩි වී ඇති බව ඇයට වැටහී ගොස් ඇත්තේ පසුවය.
ගමේ බොහෝ පිරිසක් එදා මාළු මිලදීගෙන ඇතත් මාළුන්ගේ බඩේ ගල් තිබූ බැව් පවසා ඇත්තේ අතළොස්සක් පමණි. කෙසේ වෙතත් මේ වෙළෙන්දා නම් එම ගම්මානයට කලක සිට නොපැමිණි බැව් ගමේ බොහෝ පිරිසක් කියා සිටියහ.

නාඋල - ඉන්දික අරුණ කුමාර