එක භාණ්ඩයක් මිලදී ගත් කෙනෙකුට එම වර්ගයේම තව භාණ්ඩයක් නොමිලයේ දෙන බවට ඉකුත්දා දකුණේ නගරයක ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට ලොකු දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කර තිබුණි.


මෙය දුටු අපේ ගමේ කෙනෙකු පැවසූ පැරණි සත්‍ය කතාවකි මේ.


ඒ වන විට මෙය පැරණි ගම්මානයකි. ගම්මානයේ විසූ ගැමියෝ ඉතා සතුටින් එකිනෙකාගේ දුක සැප බෙදා ගනිමින් සුහදව කාලය ගත කළහ. මේ අතර ඈත නගර බද ප්‍රදේශයකින් ටිකක් මැදි වයසේ කෙනෙක් මේ ගම්මානයට පැමිණියේය. ඔහු ගමේ ගෙදරක නවාතැන්ගෙන සිටි අතර, ඔහු ඉතා දක්ෂ යන්ත්‍ර මන්ත්‍රකරුවෙකි. ඉතාම ප්‍රියමනාප පුද්ගලයකු වූ ඔහු මේ ගමේ අයගේ ලෙඩ දුක් භූත දෝෂ ආදිය තම යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් සුවපත් කළේය. මේ නිසා ඔහු ඉතාම ඉක්මනින් ගමේ කා අතරත් ජනප්‍රිය පුද්ගලයකු වූ අතර ගමේ කොයි කාගේත් හොඳ හිත දිනාගැනීමට සමත් වූයේය.


ඔහු ටික දිනකින් ගමේ කාටත් සුබ ආරංචියක් දුන්නේය. ඒ එක් භාණ්ඩයක් ගෙනැවිත් දුන් කෙනෙකුට සති හතරකින් එවැනි භාණ්ඩ දෙකක් දෙන බව මේ ආරංචියයි. එසේ ගෙනැවිත් දෙනු ලබන භාණ්ඩය අනිවාර්යයෙන්ම රත්රන් විය යුතුය. එසේ නොවුණහොත් දෙන ලද භාණ්ඩයත් අහිමි වන්නේය.


මේ ආරංචිය ලද ගම්වැසි බොහෝ දෙනෙක් රන් භාණ්ඩ රැගෙන මොහු සොයා ආහ. එසේ ගම්වැසියකු රැගෙන එන රන් භාණ්ඩය ඔහු විසින්ම මන්ත්‍රකරු ඉදිරිපිට ඔහු ළඟ තිබෙන මුට්ටියට දැමිය යුතුය. ඊට පසු එම මුට්ටියේ කට ගැමියා ඉදිරියේදීම රෙදිකඩකින් වසා දමයි. මේ අයුරින් බොහෝ දෙනෙකු රත්රන් කරාබු, මුදු, රන් දම්වැල්, රත්රන් පෙන්ඩන් ආදිය රැගෙන විත් මන්ත්‍රකරු ළඟ ඇති මුට්ටියට ඒවා දමා රෙදිකඩින් බැඳ දමන තෙක් බලා සිට ආපසු ගියේ එකට දෙකක් ගැනීමේ ආසාවෙනි.


ඉන්පසු ඔවුන් දින ගනිමින් බලා සිටියේ එකට දෙක බැගින් ලබාගන්නා දිනය උදාවනතුරුය.


මේ අතර මන්ත්‍රකරුට ඈත පළාතක වැඩකට යන්නට සිදුවිය. ඔහු නිවැසියාට කතා කොට ඔහුගේ කාමරයේ වූ රෙදිකඩකින් වැසූ මුට්ටිය පෙන්වා එය තිබෙන තැනින් වෙනත් තැනකට රැගෙන නොයන ලෙසත්, එය නොසොල්වා එම ස්ථානයේම තිබෙන්නට හරින ලෙසත්, වෙනත් කිසිවකුට එම කාමරයට යන්නට නොදෙන ලෙසත් පවසා තමන් සතියකින් ආපසු පැමිණෙන බව කියා පිටත්ව ගියේය.


නිවසේ හිමියා මේ බව නිවසේ අනෙකුත් අයටද පවසා එම කාමරයේ දොරගුළු වසා ඉතා ආරක්ෂිත ලෙස තැබුවේය. ගමේ අය මන්ත්‍රකරු පිළිබඳව විමසන විට නිවැසියා මේ බව ඔවුන්ටද පැවසීය.


මන්ත්‍රකරු පිටත්ව ගොස් සතිය දෙක තුන කාලය ගත වුවත් ආවේ නැත. මේ අයුරින් කාලය ගෙවී යද්දී මේ ගැන විමසා බලන්නට ගම්වාසීහු කල්පනා කළහ. ගම්වාසීන් එක්ව නිවෙස් හිමියාට කීවේ මන්ත්‍රකරුගේ කාමරය විවෘත කර තමන් බඩු දැමූ මුට්ටිය බලන ලෙසටය.


ඒ අනුව ඔවුන් කවුරුත් එකතු වී කාමරය විවෘත කර මුට්ටිය ගෙන එහි වූ රෙදිකඩ ඉවත් කර බැලූහ. ඔවුන්ට තමන් කරගත් මෝඩකම වැටහුණේ එවිටය. මුට්ටිය තුළ වූයේ තිරිවානා ගල්කැට කීපයක් පමණි.
(සත්‍ය කතාවකි)

(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)