මේ අඹු සැමි යුවළ ගැන වාර්තාවෙන්නේ ඇතුගල් පුරයෙන් දෙදෙනාම ඉතාම සමගියෙන් සිටියත් දරුවන් නැත. ඒ අඩුපාඩුව හුඟක්ම දැනුණෙන් බිරිඳටයි. වත්තක මුර වැඩට යන සැමියා රෑට නැති නිසා ඇයගේ පාළුව තනිකම නැති කර සතුට ලබාදීමට නිවසට මඳක් ඈතින් සිටින තනිකඩ පුද්ගලයෙක් සූදානම් වූයේය.


රෑට රෑට මේ ගෙදරට රිංගන මොහුගේ වැඩේ මුරකරුට අල්ලා ගැනීමට බැරි විය.


උදැසන නිවසට එන ඔහුට බිරිඳගෙන් අඩුපාඩුවක් කන්දොස්කිරියාවක් වූයේද නැත. ඔහු දිනක් ආහාර ගනිමින් සිටියදී දක්නට ලැබුණේ ඇඳ මත බැනියමකි. මේක නම් මගෙ එකක් නොවෙයි. මම වැඩිය බැනියම් අඳින්නෙත් නෑ’ එසේ සිතූ ඔහු බිරිඳගෙන් මේ ගැන විමසුවේය.


මේක  ඔයාගෙ පරණ බැනියමක්නෙ. මම අර කබඩ්එක ඇතුළෙ තිබිල එළියට දැම්මා’’


ඇයගේ පිළිතුරෙන් හිත හදාගත් ඔහු ආහාර ගැනීම අවසන් කළේය. බිරිඳගේ දුරකතනයට ඇමතුමක් ආවේ මේ අතරය. කුස්සියේ සිටි ඇයගේ වචන ඔහුට ඇසුණි.


‘‘බැනියම අපේ මනුස්සයට අහුවුණා අනේ. යන්තම් ඒක මම ෂේප් කර ගත්ත. මායම් දන්න නිසා හොඳයි. රෑ වැඩට ගිහින් දැන් ඔන්න නිදි’’​


මේ වදන් ඇසෙනවාත් සමගම දුවගෙන ආ සැමියා මම අහගෙනයි හිටියෙ උඹේ තරම මම නිදි කියල නේද හිතුවෙ මම දන්නව බං උඹට වැඩිය මායම්  ඕකව මම අල්ල ගන්නව. ආයෙ මේ පැත්තෙ නොඑන්න වැඩේ  කරන්නම් කියා බැනියමද අතට ගෙන තහනම් ගහේ ගෙඩි කෑ අය සොයා ගියේ දුරකතන සංවාදය අනුවය.


මව සහ පියා සමග ගෙදර සිටි ඔහු සොයා ගොඩ වැදුනේ අකුණ ගසන්නා ලෙසිනි. පුතාගේ වැඩේට මව් පිය දෙපලද ලැජ්ජාවට පත් වූ අතර  ඔහු ඉන්පසුව ඒ පැත්ත පළාතේ පස් පෑගුවේ නැත. ඉන් පසුව සැමියා තම බිරිඳගේ තනිකම පාළුව නැති කරන්නට වග බලාගත්තේය.

කරුණාදාස සපුතන්ත්‍රි
නිකදළුපොත