කළ යුත්තේ කුමක්ද කියන ප්‍රකාශය දේශපාලන ඉතිහාසයේ ඉතාමත් වැදගත් ප්‍රකාශයක්ය. මේ අදහස සම්භාව්‍ය දේශපාලනයට පැමිණියේ වී.අයි. ලෙනින් විසින් ලියන ලද What is to be doneයන නමින් යුත් කෘතිය හේතුවෙන්ය.  මා මේ සටහනින් බලාපොරොත්තු වන්නේ ලෙනින්ගේ පොත ගැන කීමට නොව අපේ රටේ දේශපාලනයේ වැදගත් අවස්ථාවක් වන ඉදිරි  ජනාධිපතිවරණයේ අප කළ යුත්තේ කුමක් ද කියන කාරණය ගැන කථා කිරීමටය.

මෙවර ජනාධිපතිවරණයට තව ඇත්තේ දවස් නවයක් පමණක්ය. දසවෙනි දිනය උදාවෙන්නේ මේ රටේ මීළඟ ජනාධිපතිවරයා කවරෙක් ද යන කාරණය නිශ්චිතව මේ රටේ ජනතාවට දැන ගැනීමට ලැබීමෙන්ය. ඒ නිසා මේ ජනාධිපතිවරණයේ දී ජනතාව සිතිය යුත්තේ කුමන දිසාවටදැයි පැහැදිලි කරගැනීම ඉතාමත් වැදගත්ය. සරලවම කිවහොත් මා කථා කරන්නේ මීළඟ ජන්දයේ දී ජනතාව කළ යුත්තේ කුමක් ද යන කාරණය පිළිබඳව ය.

පළමුවෙන්ම අපේ අවධානයට ගත යුතු කාරණය වන්නේ මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන බලවේග දෙකෙහි සිටින අපේක්ෂකයන් දෙදෙනා නිවැරැදිව ඒ ඒ අය නියෝජනය කරන ස්ථාන දේශපාලනිකව තේරුම් ගැනීමය. මේ කාරණය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වන්නේ සමහර අපේක්ෂකයන් තමන් සිටින තැන වැසෙන පරිදි විවිධ රංගනයන්හි යොදන බැවින්ය. මේ නිසා මූලික වශයෙන්ම මෙහිදී අපගේ අවධානයට ගත යුතු කාරණය වන්නේ මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් එක් අයකු වන සජිත් ප්‍රේමදාස මහතා පවතින ආණ්ඩුවේ කණ්ඩායම නියෝජනය කරන අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන්නේ මේ රටේ වත්මන් විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම බවයි. මේ ආණ්ඩුවේ වසර පහක පමණ ක්‍රියාකාරීත්වය නිවැරැදි නම් හා මේ රටේ දේශපාලනයට මේ වසර පහ තුළ සිදුවුණේ ධනාත්මක දේවල් යැයි සිතනවා නම් එසේ සිතන අයට ගැළපෙන අපේක්ෂකයා වන්නේ සජිත් මහතා යැයි කීමේ වැරැද්දක් නැත. එසේ පසුගිය වසර පහ කියන්නේම මේ රටේ දේශපාලනයේ අදූරදර්ශී හා අකාර්යක්ෂම  පාලනය යැයි සිතන කණ්ඩායම්වලට සහ මේ අකාර්යක්ෂම පාලනය පරාජය කළ යුතු යැයි සිතන අයට ඡන්දය දිය හැකි අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාටය.

දෙවනුව අප කළ යුත්තේ මේ ජනාධිපතිවරණයට සාපේක්ෂව ප්‍රමුඛ වෙන මාතෘකා කීපය තෝරා ගනිමින් යම් ආකාරයක සාකච්ජාවක් කිරීමය. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධානතම මාතෘකා ලෙසින් මා තේරුම් ගන්නේ ජාතික ආරක්ෂාව හා ආර්ථික සංවර්ධනය පිළිබඳවය. අප කවුරුත් දන්නා පරිදි මහින්ද රාජපක්ෂ මහතා 2005 බාර ගත්තේ ජාතික ආරක්ෂාව අර්බුදයට ගොස් තිබූ සහ ආර්ථිකය ඉතාමත් බරපතළ ආකාරයකට කඩා වැටී තිබූ රටක්ය.

ඒ තත්ත්වයෙන් රට ගලවා ගත්තේ භයානක ත්‍රස්තවාදයක් ද පරාජයට පත් කරමින්ය. ආර්ථික තලයේ සිදුවූ සංවර්ධනය 2010 සිට 2015 දක්වා කාර්තුව දෙස බැලීමෙන් ඉතාමත් පැහැදිලි වන කාරණයක්ය. ඒත් මේ සියල්ල 2015 පැමිණි යහපාලනය යැයි කියා ගන්නා කාණ්ඩය විසින් අර්බුදයට යැවූ බව ඇස් පනා පිට පෙන්නුම් කරමින් තිබෙන බව ද පිළිගත හැකි කාරණයක්ය. ඒ නිසාම මේ වාරයේ දේශපාලනයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය වන්නේ මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙතින් රටේ ජාතික ආරක්ෂාව ගොඩනැගිය හැකි හා ආර්ථිකය සංවර්ධනය කළ හැකි අපේක්ෂකයා කවරෙක් ද යන කාරණයයි. මගේ තේරුම් ගැනීම වන්නේ මේ කාරණය ගැන පමණක් සිතා වුව රටේ ඡන්දදායකයන්ගේ බහුතරය ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ මීළඟ ජනාධිපතිවරයා බවට පත් කිරීමට තීරණය කළ යුතු බවය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන වැඩපිළිවෙළ ලෙසින් ඉදිරිපත් වී ඇති ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහන මගින් යෝජනා කරන්නේ මේ රටේ ඉදිරි දේශපාලන කටයුතු ප්‍රධාන එළඹුම් දෙකක් හරහා සිදුකළ යුතු බවයි. ඒ එළඹුම් දෙක වන්නේ (1) සංවර්ධනාත්මක එළඹුම (Developmental Approach) සහ (2) ප්‍රතිසංස්කරණාත්මක එළඹුම (Reformist Approach) යන දෙකයි” මේ දෙඅංශය හරහා විවිධ ක්ෂේත්‍රවල සිදුකරන වැඩසටහන් රාශියක් එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉදිරිපත් වෙන අතර ඒ මගින් යෝජනා වන්නේ ප්‍රායෝගික වශයෙන් මේ රටේ පැළ කළ හැකි සංවර්ධන ක්‍රියාමාර්ගය.

තුන්වෙනුව මේ රටේ දේශපාලනයට වෘත්තීයභාවය එක් කිරීමේ අවශ්‍යතාවකින් මේ රටම පෙළෙන බව අප හැමෝටම පැහැදිලි වෙන කාරණයකි. ‘225 එපා’ යන සටන් පාඨය මතු වූයේ ද දේශපාලනයේ වෘත්තීයභාවය නොමැතිවී නිසාම බව සත්‍යයක්. ඒ අර්ථයෙන් ගත්විට ගෝඨාභය රාජපක්ෂ මහතා යනු මෙරට දේශපාලනයේ වෘත්තීයභාවයේ සංකේතයක් බව පිළිගැනීමේ වැරැද්දක් නැත. ඔහු ප්‍රශ්න දෙස දකින්නේ සහ ප්‍රශ්න විසඳන්නේ යම් ආකාරයක වෘත්තීයමය වූ පදනමකින් බව පසුගිය කාලයේ පෙන්නුම් කළ කාරණයක් විය. වියත්මඟ වැනි වෘත්තීය එකමුතුවක් හරහා මතු වී තිබෙන්නේ අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ දී වැදගත් වන කණ්ඩායමක අවශ්‍යතාවයි.

2015 බිහිවූ වත්මන් ආණ්ඩුව අසාර්ථකත්වයට බලපානු ලැබූ තවත් එක් කාරණයක් වූයේ රටක් ගොඩනගන්නට හැකි කණ්ඩායමක් මේ රජයට හෝ එය ක්‍රියාත්මක කරන නායකයන්ට නොමැති බවයි. ඒ අර්ථයෙන් ගත් විට මේ මැතිවරණයේ දී රටේ ජනතාවගේ අවධානය යොමු විය යුතු කාරණයක් ලෙසින් වෘත්තීයමය වූ කණ්ඩායමක් සතුවීම යන කාරණය සැලකිය යුතු බව මගේ අදහසය. විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කළ යුත්තේ 2015 දී මෙන් ‘කථා සාප්පුවක් දැමීමට නොව අදහසක් ක්‍රියාමාර්ගයක් බවට පත් කිරීමට’ බව මගේ අදහසය.
හතරවෙනුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව එජාපයේ ආණ්ඩුවේ තිබෙන කිඹුල් කඳුළු පිළිබඳව ද යමක් පැහැදිලි කළ යුතුය. අපේ රටේ දේශපාලන ඉතිහාසය බැලීමෙන් පැහැදිලි වන කාරණයක් වන්නේ එජාපය සහ ප්‍රජාතන්ත්‍රවාදය කවරදාවත් එකට ගමන් කළේ නැති බවය. 1977 පසු මේ රටේ තත්ත්වය දන්නා අයට මේ ගැන විශේෂයෙන් කීමේ අවශ්‍යතාවක් ද නැත. එහෙත් මේ දිනවල එජාපයේ මැතිවරණ වේදිකාවේ ඇසෙන දේවල් නිසා මේ පිළිබඳව යම් අතීතාවර්ජනයක් සිදු කිරීමේ වැරැද්දක් ද නැත.

1982 පැවති සංවර්ධන සභා ඡන්දයෙන් එවක සිටි එජාප දේශපාලනය විසින් ආරම්භ කරන ලද මැතිවරණ දූෂණ  ක්‍රියාදාමය නිමාවට පත්වූයේ මුළු රටම ගිනි ගන්නා යුද්ධයක් ඇති කරමින් බව යළි සිහිපත් කළ යුත්තේ එම උතුරේ ගින්නෙන් මුළු රටේම ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම දැවී ගිය නිසාවෙන්ය. ඒ වගේම 1989 ජනාධිපතිවරණය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මැතිවරණ සිතියම තුවක්කුවෙන් යටපත් කළ ප්‍රධාන ධාරා දෙකක් මහ පාරේ සිදු කළ මිනී මැරෙන දේශපාලනයක් බව පැරණි හැමෝටම මතක කාරණයක්ය. මේ නිසාම 1983 සිට 2009 දක්වා සියලු මැතිවරණ ක්‍රියාදාම තීරණය කළේ කැලේ නීතිය හා හිංසාවාදයේ බලපෑම විසින් යැයි කීමේ වැරැද්දක් ද නැත.  ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයෙන් රට නිදහස් වුණේ සහ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නව පණක් ලැබුණේ 2009 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් 2005 පැමිණි රජය විසින් ඒ ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම හේතුවෙන් බව සමහරුන්ට දැන් අමතකය.

2010 සිට 2015 දක්වා ගෙවී ගියේ ත්‍රස්තවාදයෙන් පීඩාවට විනාශ වී ගිය රට යළි ගොඩනැගීමේ කාර්යය පදනම් කරගත් පාලනයක් යැයි කීමේ වැරැද්දක් නැත. එහෙත් ඒ කාලය පිළිබඳව අලංකාරික දේශපාලනයක් සිදුකළ සමහර කණ්ඩායම් 2015 ජනාධිපතිවරණයේ සිටම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස පිළිබඳව බොරු බේගල් ඇද දමමින් ජනමනස මුළා කළා මිස ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරැකීමට සිදුකළ විශේෂ දෙයක් නැති ගාණය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා රටම අවුල් වූවා යැයි අද කියන්නේත් රජයේම සිටින ප්‍රධානීන්ය. වත්මන් රජයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කථාව හා කෙරුවාව අතර ඇත්තේ විශාල වෙනසක් බව තේරුම් ගැනීමට බරපතළ ඥානයක් අවශ්‍ය නැති බව මගේ අදහසය. පසුගිය වසරේ පැවති පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ නියමිත කාලයට වඩා වසර එකහමාරක් පමණ ගතවූවාටත් පසුව වන අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය මේ වන විට ඇත්තේ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරලාය. පළාත් සභා ඡන්දය පවත්වන දිනය ගැන දන්නා කිසිවකු පාර්ලිමේන්තුවේ තියා මේ මිහිපිටවත් නැති බව ඉතාමත් පැහැදිලිය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන පරිදි ඔහු ජනාධිපතිවරයා ලෙසින් පත්වන ඉදිරි රජයක් තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතන ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග රාශියක් ගන්නා බව ඉතාමත් පැහැදිලිය. ඒවා අතරින් පහත සඳහන් කාරණා ඉතාමත් වැදගත් බව මගේ අදහසය.

(1) රටේ ජනතාව සතු ඡන්ද අයිතිය අවහිර කිරීම හෝ ඡන්ද නොපවත්වා සිටීමට එරෙහිව ඍජුව පෙනී සිටිමින් සර්වජන ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම (2) පවතින ව්‍යවස්ථාවේ පිළිගත් සියලුම ප්‍රජාතන්ත්‍රීය ආයතන හා කොමිෂන් සභා නිසි කළමනාකාරිත්වයක් යටතේ පවත්වාගෙන යාම (3) දැනට දින නියමයක් නොමැතිව කල් යන පරිදි යොදා ඇති පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු  කිරීම (4) රටට ගැළපෙන මැතිවරණ ක්‍රමයක් ගෙන ඒම සඳහා මීළඟ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් ඇති කිරීම වැනි දේවල් ඒ අතර ප්‍රධානත්වයෙන් සැලකිය හැකිය.
මේ තත්ත්වය තුළ මේ මැතිවරණයේ දී කළ යුත්තේ කුමක් ද යන කාරණය ඉතාමත් නිශ්චිත බව මගේ යෝජනාවය. මේ රටේ වත්මන් පාලනය මේ ආකාරයෙන්ම තවත් වසර පහකට ගෙනයාම ප්‍රතික්ෂේප කිරීම හැර වෙනත් මගක් මෙහිදී නැති බව මගේ කල්පනාවය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්