හෝමූස් සමුද්‍ර සන්ධියේ යළිත් වරක් නාවික අභ්‍යාසයක් පැවැත්වීමට තමන් සූදානම් යැයි ඉරාන විප්ලවීය හමුදාව පවසයි.
‘ෆජා 91’ නමින් නම් කළ එම යුද අභ්‍යාසය අද ආරම්භ කිරීමට නියමිත බවත් එය සිව් දිනක් තිස්සේ පැවැත්වෙනු ඇති බවත් ඉරාන විප්ලවීය හමුදාවේ අද්මිරාල් අලීසාර් නසේරී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවැසීය.
යුද නැව් සහ සබ්මැරීන යොදා ගනිමින් මිසයිල ආරක්ෂක පද්ධතිවල කි‍්‍රයාකාරිත්වය සිදුවන අයුරු අත්හදා බැලීම මෙම යුද අභ්‍යාසයේ අරමුණ යැයි ඉරාන රජය ද පවසා ඇත.
ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය කරන්නේ හෝමූස්’ සමුද්‍ර සන්ධිය හරහාය. ලෝකයේ තෙල් ප‍්‍රවාහන කටයුතුවලින් වැඩි ප‍්‍රමාණයක් සිදුවන්නේ එම සමුද්‍ර සන්ධිය හරහා වීම නිසා එය ලොව ප‍්‍රධාන පෙළේ තෙල් ප‍්‍රවාහන මාර්ගයක් ලෙස ද සැලකෙයි.
ඉරානය පිහිටා ඇත්තේ,  ඕමාන් බොක්කත් පර්සියානු බොක්කත් අතර පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධියට උතුරින්ය. හෝමූස් සමුද්‍ර සන්ධියේ දකුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්,  ඕමානයත් පිහිටයි. සමුද්‍ර සන්ධියෙහි පටුම කොටස කි.මී. 54 කි. ඉරානය තර්ජනය කරන්නේ ඔවුන්ගේ නාවික හමුදාව යොදා එම කි.මී. 54 ක් පළල කොටස හරස් කරමින් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන්ට ශක්තියක් ඇති බවය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට තම ශක්තිය පෙන්විය හැකි ඉරානයේ අවසන් තුරුම්පුව වන්නේ ද මෙයයි.
පර්සියානු බොක්කේ තෙල් නිෂ්පාදන රටවලට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ මේ කලාපය හරහා වන බැවින් හෝමූස් සමුද්‍ර සන්ධිය තෙල් වෙළඳාම සම්බන්ධයෙන් ඉතා වැදගත් තැනක් ගනියි.
ඉරානය මීට පෙර ද හෝමූස් සමුද්‍ර සන්ධියේ යුද අභ්‍යාස පවත්වා ඇත. ඒ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. ‘වෙලායෙට් ඊ 90’ යනුවෙන් නම් කළ එම නාවික අභ්‍යාසය ඇරැුඹුණේ ඉකුත් වසරේ දෙසැම්බර්  24 වැනිදාය. එය දින 10 ක් තිස්සේ පැවැත්විණි. ඊට ඉරාන විප්ලවීය හමුදාව ද සම්බන්ධ විය. එහිදී දිගු සහ කෙටි දුර මිසයිල පවා අත්හදා බැලූ බව ඉරාන නාවික හමුදාව පැවැසීය.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලය එක් වී ඉරානයට චෝදනා කරන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය.
එම අවස්ථාවේදී ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ හිතවතා සහ ‘මැදපෙරදිග පොලිස්කාරයා’ යනුවෙන් ද හැඳින්වෙන ඊශ‍්‍රායලය මැසිවිලි නගන්න වූයේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට එයින් බාධා එල්ල වූ බවය.
එම බාධා නැවැත්වීමට තමා මැදිහත් වන බව ඇමෙරිකාව පැවැසීම ඉරාන විප්ලවීය හමුදාවේ දැඩි විරෝධයට හේතුවක් විය. ඉරානය, සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ඉරාන හමුදාවට පහර දී අඩපණ කිරීමට තම පස්වැනි බල ඇණිය සීරුවෙන් තැබීමට ද ඇමෙරිකාව පියවර ගත්තේය.
හෙට දිනයේ ආරම්භ වීමට නියමිත යුද අභ්‍යාසය සම්බන්ධයෙන් ද ඇමෙරිකාව ඊශ‍්‍රායලය ඇතුළු රටවලින් ඉරානය දැඩි විරෝධයක් එල්ල වනු ඇත.