විනෝදය සදහා පැහැරගැනීමකට ලක් වීමට කැමැති අයෙකුට සේවා සපයන ආයතනයක් ඇමරිකාවේ ඩිට්‍රොයිට්හි වේ.

මේ ආයතනයට ඩොලර් 1500 ක් ගෙවූ පසු ඔබ නොසිතන වේලාවකදී ඔබ ‘පැහැරගැනීමට‘ ලක් වේ.අනතුරුව චිත්‍රපටි වල ඇති ලෙස වද දිීමද,කප්පම් ඉල්ලා පවුලේ අයවලූන් බිය ගැන්වීමද සිදු කෙරේ.

වද දීමේදී කැමති වද බන්ධනයක් තෝරාගැනීමේ අවස්ථාව හිමිය.හිස පහතට සිටින සේ කකුල් වලින් එල්ලා පහර දීම, කස පහර දීම,හුස්ම හිර කිරීම, ආදී වද බන්ධන ලැයිස්තුවකින් කැමති එකක් තෝරා ගැනීමේ අවස්ථාව ‘පැහැර ගැනෙන්නාට‘ ලබාදේ. ‘පැහැරගැනුනු‘ පසු පෙර තෝරා ගනු ලැබූ වද බන්ධනය ලබා දෙයි.

මේ ආයතනයේ හිමිකරු පවසන හැටියට මේ ජීවිතයේ ත්‍රාසය සොයා යන්නවුන්ටම වෙන්වූවකි.මුදල් ගෙවීම හා වද බන්ධනය තොරා ගැනීම සිය සේවාදායකයා විසින් සිදුකළද පැහැර ගන්නා දිනය,ස්ථානය, ආදී දේ සැළැසුම් කරන්නේ තමා ඇතුළු කාර්යමණ්ඩලය බව ඔහු පවසයි.තම සේවාදායකයා කිසිත් අපේක්ෂා නොකරන මොහොතක පැහැර ගෙන යාම සිදුකරන බව ඔහු කියයි.අනතුරුව වද බන්ධන දී,පවුලේ අය  ‘බියපත්‘ කර චිත්‍රපටියක ජවනිකා පෙළක් සේ පැහැරගෙන යාමේ සිට නිදහස් කිරීම දක්වා කටයුතු සංවිධානය කරන බව ඔහු පවසයි.

මේ නිසා අකරතැබ්බයට පත්ව ඇත්තේ ප්‍රදේශයේ පොලිසියයි.සැබෑ පැහැරගන්නවුන් හා මුදල් ගෙවා පැහැරගන්නවුන් කවුදැයි හදුනාගැනීම දැන් තමන්ට ගැටලූවක් වී ඇතැයි ඔවුන් කියයි.පසුගියදාක තරුණ යුවළක් පැහැර ගැනීමට ලක් වී ඔවුන්ගේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබී ඇති අතර පසුව යුවළ නිවසට පැමිණ මේ උපන්දිනයක් වෙනුවෙන් කළ විහිළුවක් යැයි පවසා තිබේ.ඒ වන විටත් පොලිසිය ප්‍රදේශයම ආවරණය වනසේ පරීක්ෂණ අරඹා ඇත.