බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා ඊයේ (13) ‘සුකුඞ්’ කෙටි දුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් ඇලෙප්පෝ නුවර අල්ලා ගැනීමට උත්සහ ගන්නා කැරැලිකරුවන්ට ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කළේය. ප‍්‍රහාරයෙන් කැරැලිකරුවන් 50 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවත් 74 දෙනකු තුවාල ලැබූ බවත් සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකරුවන් නියෝජනය කරන සිරියානු අන්තර්වාර පාලක මණ්ඩලය පවසයි. ‘සුකුඞ්’ කෙටි දුර බැලැස්ටික් මිසයිලවලට කිලෝ මීටර් 200 ක හෝ ඊට වැඩි දුරක ඇති ඉලක්කයක් කරා යා හැකිය. සෝවියට් යුගයේදී නිර්මාණය කෙරුණු ‘සුකුඞ්’ මිසයිල වඩාත් ප‍්‍රසිද්ධියට පත් වූයේ පළමු ගල්ෆ් යුද සමයේදීය. සදාම් හුසේන්ගේ ඉරාක හමුදාව ඊශ‍්‍රායලයට පහර දුන්නේ එම මිසයිල යොදා ගනිමිනි. තමන් කෙටි දුර බැලැස්ටික මිසයිල යොදා ගනිමින් ප‍්‍රහාරයක් එල්ල කළ බව සිරියානු රජය මෙතෙක් පිළිගෙන නැත. කෙසේ නමුත් ඔවුන් පවසා ඇත්තේ ඇලෙප්පෝ නුවර අත්පත් කරා ගැනීමට උත්සහ ගන්නා ජිහාඞ් සටන්කාමීන්ට දිගින් දිගටම පහර දෙන බවයි. ජිහාඞ් සටන්කාමීන් යනු අල් කයිඩාවට සම්බන්ධ ඉරාකයෙන් සිරියාවට පැමිණ සිටින සටන්කාමීන්ය. ඔවුන් මේ වනවිට සිරියා කැරැලිකරුවන් සමඟ එක් වී සිරියානු රජයට එරෙහිව සටන් කරන බව ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශය ද අනාවරණය කරගෙන ඇත. කැරැලිකරුවන්ට සහාය දක්වමින් අසාද්ගේ රජයට එරෙහි සටන් වැදීමට පැමිණ සිටින අල් කයිඩා සටන්කාමීන්ගේ සහාය නොගන්නා ලෙස ජනපති ඔබාමා ද සිරියා කැරැලිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ජනපති ඔබාමා එම ඉල්ලීම කළේ සිරියානු කැරැලිකරුවන් සහ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් පිහිටුවා ගනු ලැබූ ‘සිරියානු ජාතික පාලක මණ්ඩලය’ සිරියානු වැසියන්ගේ සැබෑ හඬ යැයි පවසමින් ඔවුන් නිල වශයෙන් පිළිගත් අවස්ථාවේදීය. සිරියානු ජනාධිපති අසාද්ගේ රජය රසායනික අවි යොදා ගනිමින් ද ප‍්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකා ජනපතිවරයා බිය පළ කරයි.