සිරියාවට එරෙහිව යුරෝපා සංගමය පනවා ඇති ආයුධ තහනම ඉවත් කිරීමත්, සිරියා කැරැලිකරුවන්ට පමණක් ආයුධ දීමට බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය තීරණය කිරීමත් ගැන දෙවරක් සිතා බලන්නැයි එම සංගමයේ විදේශ ප‍්‍රතිපත්ති පිළිබඳ කමිටුවේ ප‍්‍රධානී කැතරීන් ඈෂ්ටන් පවසයි.
ඇය මේ බව කියා සිටියේ පසුගියදා නිමාවට පත් වූ යුරෝපා සංගම් සැසිවාරයේදී කැරැලිකරුවන්ට පමණක් ආයුධ දීමට බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය සූදානමින් සිටින බව පැවැසූ අවස්ථාවේදීය.
බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය වැඩි දුරටත් කියා ඇත්තේ යුරෝපා සංගමයේ සෙසු රටවල් කුමන තීරණයක් ගත්තත් තමන් සිරියා කැරැලිකරුවන්ට ආයුධ දී ඔවුන් ශක්තිමත් කරන බවය.
මේ අතර බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට දිගින් දිගටම අවි ආයුධ දෙන බව ඉරානය නිවේදනය කර ඇත. ඉරානය ඒ බව කියා සිටියේ බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ඔවුන්ගේ තීරණය දැනුම් දුන් අවස්ථාවේ ඊට ප‍්‍රතිචාර දක්වමිනි.
කැරැලිකාරුවන් සමඟ සටනේ දී සිරියානු රජයට ඉරාන හිස්බුල්ලා සටන්කාමීන්ගේ සහාය ද ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.
මීට අමතරව පවතින අර්බුදයට ස්ථිරසාර විසඳුමක් සෙවීමේ අරමුණ ඇතිව ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට සිරියානු රජය යළිත් වරක් සූදානම් බව එරට විදේශ ඇමැති වලීඞ් අල් මුවාලීම් නිවේදනය කර තිබේ. ඊට රුසියාවේද සහාය හිමිවෙයි.