බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට අයත් හමුදා පොලිසියේ ප‍්‍රධානී මේජර් ජනරාල් අබ්දුල් අසීස් ජසෙම් අල් ෂල්ලාල් ඊයේ (27) කැරැලිකාර පාර්ශවයට එක් විය.
මාස 21 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය හමුවේ කැරැලිකරුවන්ට එක් වූ සිරියානු රජයේ ඉහළ පෙළේ ආරක්ෂක ප‍්‍රධානියා ලෙස ජනරාල් අබ්දුල් සැලකෙයි.
මේ වනවිට ජනරාල්වරයා සිරියාවෙන් පලා ගොස් අසල්වැසි තුර්කියට පැමිණ එහි සිටින සිරියානු විපක්ෂ කි‍්‍රයාකාරීන් සහ කැරැුලිකරුවන් සමඟ අත්වැල් බැඳගෙන සිටින බව විදෙස් පුවත් සේවා පවසයි.
ඔහු අරාබි රූපවාහිනී නාළිකාවක පෙනී සිටිමින් විශේෂ ප‍්‍රකාශයක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ සිරියා රජයේ ඝාතන තවත් ඉවසා සිටිය නොහැකි වූ හෙයින් සිරියානු වැසියන් ගැන සිතා තමා කැරැලිකරුවන් සමඟ එක් වීමට තීරණය කළ බවය.
නිදහස වෙනුවෙන් සටන් කරන සිරියානු වැසියන්ට තමන් සහාය වන බවත් සිරියා රජය ඔවුන්ට එල්ල කරන ප‍්‍රහාර තමා හෙළා දකින බවත් ජනරාල් අබ්දුල් වැඩි දුරටත් කියා සිටියේය.
ජනරාල්වරයා තමන්ට එක් වීම තමන් ලැබූ ජයග‍්‍රහණයක් බවත් ඔහු තමන්ට එක් වූයේ සිරියා රජයේ බිඳ වැටීම ආසන්න වූ නිසා බවත් කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන දේශපාලන හඬ ලෙස සැලකෙන සිරියානු ජාතික පාලක මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.

මේජර් ජනරාල් අබ්දුල් අසීස් ජසෙම් අල් ෂල්ලාල්