බටහිර රටවල් කොතරම් කුමන්ත‍්‍රණ කළත්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් 2014 වසර වනතෙක් බලයේ රැඳී සිටිනු ඇතැයි ඉරානය පවසයි.
ඉරානය මේ බව කියා සිටියේ සිරියානු කැරැලිකරුවන්ට ආහාර හ ඖෂධ ලබා දීමට ඇමෙරිකාව ඉකුත් සතියේ ගත් තීරණයත් සමඟය. සිරියානු රජය පවසන්නේ සහනාධාර දෙන මුවාවෙන් ඇමෙරිකාව සිරියානු කැරැලිකරුවන්ට අවි ආයුධ ලබා දෙන බවටය.
අරාබි වසන්තය හරහා සිරියානු අර්බුදය ආරම්භ වූයේ 2011 වසරේ මාර්තු මාසයේදීය. සිරියානු විපක්ෂ කණ්ඩායම්, මානව කි‍්‍රයාකාරීන් ආයුධ අතට ගෙන සිරියා රජයට එරෙහිව සටන් ආරම්භ කිරීමත් සමඟ සිරියා රජය එම කැරැලිකරුවන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්න විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වනවිට 70,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය එසේ පවසා ඇත්තේ සිරියානු මානව හිමිකම් සංවිධාන සහ එරට කැරැලිකරුවන් විසින් පිහිටුවනු ලැබූ ‘සිරියානු ජාතික පාලක මණ්ඩලය’ ලබා දුන් තොරතුරු පාදක කර ගනිමිනි. සිරියානු රජය පවසන්නේ ගැටුම්වලින් එතරම් පිරිසක් මියගොස් නැති බවය.
සිරියානු අර්බුදය විසඳීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරනු ලැබූ විශේෂ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි සාම යෝජනාවලියක් සකස් කර ඇති අතර ඒ සඳහා සිරියානු රජයේත්, කැරැලිකරුවන්ගේත් සිරියා රජයේ මිතුරා වන රුසියාවේ ද සහාය ඊට හිමිවිය.
ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ඊට එරෙහි වූ අතර ඔවුන් තරයේම කියා සිටින්නේ සිරියානු ජනපති අසාද් ජනපති ධුරය අත්හැරිය යුතුයි කියාය.