බලයෙන් ඉවත් වුවහොත් හෝ බලය අහිමි වුවහොත් හෝ සිරියා ජනපති බෂීර් අල් අසාද්ට සහ ඔහුගේ පවුලේ අයට දේශපාලන රැකවල් ලබා දී, ඔවුන් ආරක්ෂා කිරීමට තමන් කැමැති යැයි ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එක්වදෝරය පවසයි. එක්වදෝර ජනපති රෆායෙල් කොරයා මේ බව කියා සිටියේ ඊයේ (11) එරට ජාතික පුවත්පතක් වන ‘ෆෝලා දේ සා ඕ පාවුලෝ’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිණි. සිරියානු නියෝජ්‍ය විදේශ ඇමැති ෆයිසාල් මෙක්ඩාඞ් මීට සති දෙකකට පෙර එක්වදෝරයේ ක්වෙටා නුවර සංචාරය කළේය. ජනපති අසාද්ට රැකවරණ ලබා දෙන මෙන් එක්වදෝර රජයෙන් ඉල්ලීමක් කළේ ඔහුය. ඇමෙරිකාවේ හමුදා සහ රාජ්‍ය රහස් ලොවට හෙළි කිරීමේ වරදට ඇමෙරිකාවේ උදහසට ලක් වී ස්වීඩනයට පිටුවහල් කිරීමෙන් වැළැකී බි‍්‍රතාන්‍යයේ සිටින විකිලීක්ස් වෙබ් අඩවි නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ්ට ද රැකවරණ දීමට එක්වදෝරය කැමැත්ත පළ කර ඇත. මේ වනවිටත් බි‍්‍රතාන්‍ය පොලිසියෙන් බේරී ඇසෙන්ජ් සැඟවී සිටින්නේ ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයේය. ඔහුට එක්වදෝරයට පැමිණීමට එන්වදෝර රජය අවසර දී ඇති නමුත් ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටතට යෑමට හැකියාවක් ලැබී නැත. ඊට හේතු වී ඇත්තේ ඔහු පිටතට පැමිණියහොත් අත්අඩංගුවට ගෙන ස්වීඩනයට උදර්පණය කිරීමට බි‍්‍රතාන්‍ය බලධාරීන් සීරුවෙන් සිටීමය.