සිරියා කැරැලිකරුවන්ට ආයුධ ලබා දීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය ඊයේ (28) තීරණය කළේය.
සාමාජික රටවල් 27 කින් සමන්විත යුරෝපා සංගමය, සිරියා කැරැුලිකරුවන්ට පමණක් නොව, සිරියා රජයට එරෙහිව ද ආයුධ තහනමක් පනවා තිබුණේ මීට මාස කිහිපයක සිටය.
එම තහනම අනුව, සිරියා රජයට හෝ කැරැලිකරුවන්ට හෝ ආයුධ සැපැයීමට, යුරෝපා සංගමයට අයත් සාමාජික රටකට හැකියාව නොලැබුණි.
පැය 12 ක සාකච්ඡාවකින් පසු, යුරෝපා සංගමයේ සාමාජිකයන් තීරණය කළේ කැරැලිකරුවන්ට පමණක් ආයුධ ලබා දීමට එරෙහිව පැනැවූ තහනම ඉවත් කිරීමටය. සිරියානු රජයට ආයුධ ලබා දීමට එරෙහි තහනම දිගටම කි‍්‍රයාත්මක වෙයි.
ඒ අනුව සිරියානු කැරැලිකරුවන්ට සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දෙන බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශයට සෘජුවම, කැරැලිකරුවන්ට අවි ආයුධ දී ශක්තිමත් කළ හැකි වේ.
සිරියානු රජය චෝදනා කරන්නේ එම ආයුධ තහනම පැවැත්වෙද්දී පවා බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය කැරැලිකරුවන්ට අවි ආයුධ ලබා දීමට කටයුතු කළ බවය.
සිරියානු කැරැලිකරුවන්ට ආයුධ ලබා දිය යුතු යැයි පවසමින් යුරෝපා සංගමයේ සාමාජික රටවල් කැමැති කර ගත්තේ බි‍්‍රතාන්‍යය රජයයි. එහි මැදහත්කරු ලෙස කටයුතු කළේ බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්ය.
යුරෝපා සංගමය මෙම තීරණය ගත්තේ, සිරියානු රජයේ හමුදා ප‍්‍රහාර හමුවේ කැරැලිකරුවන් දැඩි ලෙස පසුබෑමකට ලක් වී සිටින අවස්ථාවකදීය.
කැරැලිකරුවන්ට එරෙහි සටනේදී, සිරියානු රජයේ හමුදාවලට සහාය පළ කිරීමට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී සංවිධානය ද එක් වී සිටින බව පැවැසෙයි.
හිස්බුල්ලා සංවිධානය පවසා ඇත්තේ සිරියානු යුද්ධය තමන්ගේ යුද්ධයක් සේ සළකා සටනට එක්වුණු බවය. හිස්බුල්ලා සංවිධානය සිරියානු රජයට සහාය දැක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි දෝෂ දර්ශනයට හේතුවක් වී ඇත.
සිරියානු අර්බුදයට හිස්බුල්ලා සංවිධානය සම්බන්ධ වීම හරහා සිදුවන්නේ සිරියානු අර්බුදය තවත් අවුල් ජාලයක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් වැඩි දුරටත් කියා ඇත.