සිරියාවත් ඊශ්‍රායලයත් අතර පිහිටි ගෝලාන් කඳුබිමේ සේවය කරමින් සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භටයන් විසි දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ප්‍රාණ ඇපකරුවන ලෙසට අත්අඩංගුවට ගත් බව සිරියා  කැරලිකරුවෝ පිරිසක් පවසති. සිරියාවත් ඉස්රායලයත් අතර නිර්දේශකර ඇති සටන් විරාමය නිරීක්ෂණය කිරීම එම සාම සාධක හමුදා ඛණ්ඩයේ රාජකාරිය විය.

අත් අඩංගුවට පත්ව ඇත්තේ පිලිපීන ජාතික භට පිරිසක් බවද වාර්තාවී ඇත.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ " යමූක් විරුවෝ" නම්වූ අලුත් කැරලිකාර  කණ්ඩායමක් විසිනි.

එම ප්‍රාණ අප කරුවන්  නිදහස් කිරීම සඳහා කොන්දේසි ඉදිරිපත්කර ඇති සටන්කාමීන් කියන්නේ සිරියා  රජයේ හමුදා ගෝලාන් උස්බිම ආසන්නයේ පිහිටි ජමියා නගරයෙන් ඉවත්කර ගත යුතු බවයි. 

මෙම ආරංචිය සැලවූ විගසින්ම වෙනත්  සාම සාධක හමුදා කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා ඇති බවද වාර්තාවිය.

කෙසේවුවද මෙම සිද්ධියට සම්බන්ධ කැරලිකාර කණ්ඩායම සිරියා  රජයට එරෙහිව සටන්කරන ප්‍රධාන කණ්ඩායම වන නිදහස් සිරියන් හමුදාවට කිසිම සම්බන්ධකමක් නැති බවටද වාර්තා වී ඇත. 

නිදහස් සිරියන් හමුදාව මෙම පැහැර ගැනීම තරයේ හෙළා දකින බවද කියා ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලය මෙම පැහැරගැනීම පිළිබඳව ඔවුන්ගේ දැඩි විරෝධතාවය ප්‍රකාශ කර ඇති අතර එම හමුදා සෙබළුන් කොන්දේසි විරහිතව වහාම නිදහස් කරන ලෙසටද ඉල්ලීමක් කර ඇත.