බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ඉදිරිපත් කළ, කරුණු තුනකින් සමන්විත නව දේශපාලන යෝජනාවලියට යුරෝපා සංගමයෙන් ද විරෝධයක් එල්ල වී ඇති අතර යුරෝපා සංගමය පවසන්නේ  සිරියා අර්බුදය විසඳීමට නම් අසාද් වහාම බලයෙන් ඉවත් විය යුතුයි කියාය.
මාස 21 කට වැඩි කාලයක් තිස්සේ රටේ පවතින අර්බුදය විසඳීමට අසාද් ඉදිරිපත් කළ යෝජනාවලට හැකියාවක් නැතැයි සිරියානු විපක්ෂ කණ්ඩායම් ද පවසා ඇත. එම යෝජනාවලට ඇමෙරිකාවෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.
ජනපති අසාද් එම යෝජනාවලිය හඳුන්වා දෙමින් කියා සිටියේ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමටත්, නව රජයක් ස්ථාපිත කිරීමටත් ජාතික සංහිදියාවක් ඇති කිරීමටත් තමන් බලාපොරොත්තු වන බවය. ජනතාව හමුවේ පෙනී සිටිමින්  අසාද් එම නව දේශපාලන යෝජනාවලිය ඉදිරිපත් කරමින් වැදගත් කරුණු කාරණා රැසක් එළිදැක්වීය.
අසාද් ඉදිරිපත් කළ යෝජනාවලියේ පළමු කාරණාව  අල් කයිඩාවේ සහාය ලැබෙන සිරියා කැරැලිකරුවන්ට බටහිර රටවල් ලබා දෙන ආධාර වහා නැවැත්විය යුතු බවය.