සිරියා අර්බුදය විසදිය හැක්කේ රජයේත් විපක්ෂයෙත් නියෝජිතයන් සහභාගී කරගෙන සංක‍්‍රාන්තික රජයක් පිහිටුවීමෙන් පමණක් යැයි සිරියාව වෙනුවෙන් පත් කර සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කොෆී අනන් පවසයි. එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයකු ද වන කොෆී අනන් සිරියාවට සංක‍්‍රාන්ති රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් යෝජනාවලියක් සකස් කර ඇති අතර එය සිරියා ජනපති බෂීර් අල් අසාද්ට සහ කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන සිරියා ජාතික පාලක මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සාහ ගන්නේ සිරියා අර්බුදයට හැකි ඉක්මනින් විසඳුමක් ලබා දීමටය. ඔවුන්ගේ වාර්තාවල දැක්වෙන්නේ සිරියාවේ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 15,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් ව සිටින බවය.