එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් සහ අරාබි ලීගය සමඟ එක්වී සකස් කළ සාම සැලැස්මට අනුව සිරියා රජය කටයුතු නොකරන බවට ඇමෙරිකාව චෝදනා කරයි. සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය අකමැත්තෙන් වුව ද එම සාම සැලැස්මට එකඟ වූයේ ඉකුත් සතියේය. ඒ අනුව සටන් විරාමයකට යෑමට සිරියා රජය පමණක් නොව රජයට එරෙහිව සටන් වදින විපක්ෂ කි‍්‍රයාකාරීහු ද කැමැත්ත පළ කළහ. සාම සැලැස්මට යටතේ ඊයේ (10) වනවිට සිරියාවේ ප‍්‍රධාන නගරවලින් හමුදා ඉවත් කර ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දී තිබුණි. ඇමෙරිකාව ඊයේ (10) කියා සිටියේ මේ වනවිටත් සිරියා රජය, නගරවලින් සහ ජනාකීර්ණ ප‍්‍රදේශවලින් තම හමුදා ඉවත් කර ගෙන නොමැති බවය. මේ අතර සිරියාවේ පවතින ගැටුම්වලට බියේ පණ බේරා ගෙන දේශසීමා හරහා අසල්වැසි තුර්කියට පලා ගිය සිරියා සරණාගතයන් පිරිසකට සිරියා හමුදාව වෙඩි තැබූ බව ද වාර්තා වේ.