විපක්ෂ දේශපාලන පක්ෂවල ඉල්ලීම සැළැකිල්ලට ගෙන, දේශපාලන සිරකරුවන් මුදා හැරීමට උතුරු සුඩානයේ ජනපති ඔාමාර් හසන් අල් බෂීර් ඊයේ (2) තීරණය කළේය.
ජනපතිවරයා එම තීරණය ගත්තේ උතුර සහ දකුණ ලෙස සුඩානය, රටවල් දෙකක් බවට පත් වීමෙන් පසු හටගත් මතභේද විසඳීමට තීරණය කිරීමත් සමඟය.
”දේශපාලන සිරකරුවන් සියල්ලන්ම නිදහස් කිරීමට මා තීරණය කළා. එදිරිවාදිකම් අතහැර විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමටත් දකුණු සුඩානය සමඟ පවතින අර්බුදයට දේශපාලනික විසඳුම් සෙවීමටත් මා පියවර ගන්නවා” යැයි ජනපති අල් බෂීර් ඊයේ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
බෂීර් බලයේ රැඳී සිටින්නේ 1989 වසරේ සිටය. එදා මෙදා ඔහුගේ අණ පරිදි අත්අඩංගුවට ගත් සිරකරුවන් ගණන කොපමණදැයි මෙතෙක් අනාවරණය වී නැත.