නේපාලය සහ ටිබෙටය කැලඹූ මහා ජල ගැල්මට හසුවී අතුරුදන් වූවන් අතරේ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියා යුවළක් සහ ඔවුන්ගේ කුඩා පුතුන් දෙදෙනා ද ද සිටින ඔස්ට්‍රේලියා මාධ්‍ය පවසයි.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ සිඩ්නි නුවර පදිංචිව සිටි 47 හැවිරිදි චන්ද්‍රසේකරන් මුරලිදරන්, ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ෂයිලජා මුරලිදරන් සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන 14 හැවිරිදි අශ්වින් සහ 11 හැවිරිදි ආරුෂ් ය.

චන්ද්‍රසේකරන් මහතා යාපනයේ කෝපායි ප්‍රදේශයේ උපත ලබා පසුව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවෙකු වන අතර, ඔවුන්ගේ දරුවන් දෙදෙනා ඔස්ට්‍රේලියාවේ උපත ලැබූවන් බව පැවැසෙයි.

ජල ගැල්මට හසුවෙද්දී, චන්ද්‍රසේකරන් මහතා, බිරිඳ සහ දරුවෝ ඉන්දියාවේ සිට පැමිණි වන්දනා නඩයක් සමග එක් වී, නේපාලයේ ​​​‘කෛලාශය කූට’ පර්වතය වන්දනා කිරීමට යමින් සිටියහ. හිමාල අඩවියේ  කෛලාශ පර්වතය සහ මානසසරෝවර විල පාදක කර ගනිමින්,සිදුකෙරෙන ‘කෛලාශ - මානසසරෝවර වන්දනාව’ ආසියාවේ පවතින දුෂ්කර මෙන්ම අතිශය පූජනීය සංස්කෘතික හා ආගමික වන්දනා ගමනකි.

චන්ද්‍රසේකරන් මහතා, බිරිඳ සහ දරුවන් ගැන මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ඕස්ට්‍රේලියා බලධාරීහු මාධ්‍ය හමුවේ පවසා ඇත. මොවුන්, එම ඉන්දීය වන්දනා නඩයට එක් වී ඇත්තේ, ‘හිමාලයන් ග්ලැසියර් ඇඩ්වෙන්චර්ස්’ ආයතනය හරහාය.

චන්ද්‍රසේකරන් පවුල සමග ‘කෛලාශය කූට’ පර්වතය වන්දනා කිරීම තවත් ඉන්දියානුවන් 15 දෙනකු නේපාලයට ගිය බව ද වාර්තා වේ. පිරිස ජල ගැල්මට හසුවන්න ඇත්තේ, නේපාල - චීන දේශසීමාවට ආසන්නයේ  ‘රසුවගාධි’ ප්‍රදේශයේ දී යැයි සැක කෙරේ. නේපාලය ජල ගැල්මට හසුවුණු සමස්ත ඕස්ට්‍රේලියා සංචාරකයන් ගණන 43 කි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නේපාලය සහ ටිබෙටය කැලැඹූ එම මහා ජල ගැල්මට බිලිවුණු ගණන 1,000 පසු කළ බවය. අතුරුදන් වූ ගණන 4,000 කට ආසන්නය.