ඇමෙරිකා හමුදා ලේකම් ඩෑන්  සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ හමුදා ලේකම් ඩෑන් ඩ්‍රිස්කෝල්, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙග්සිත් ඩ්‍රිස්කෝල්  අතරේ මත ගැටුම් පැවැති බවත්, එම මත ගැටුම් හේතුවෙන් ඩ්‍රිස්කෝල් සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත්ය.

ඩෑන් ඩ්‍රිස්කෝල් ඇමෙරිකා හමුදා ලේකම් ධුරය හෙබවූයේ මාස 18 ක කාලයක් සඳහා පමණි. 41 හැවිරිදි ඇමෙරිකා හමුදා ලේකම් ධුරයට පත් වුණු ළාබාලතම තැනැත්තාය. 

ඩ්‍රිස්කෝල්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා ඉතා ඵලදායී කාර්යභාරයක් ඉටු කළ බවත්, හමුදා මෙහෙයුම්වලදී විශිෂ්ට නායකත්වයක් ලබාදුන් බවත්, ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඩෑන් ඩ්‍රිස්කෝල් ප්‍රසිද්ධියක් උසුලන්නේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘ඩ්‍රෝන විශේෂඥයා’ ලෙසය. ඇමෙරිකාව ඉරානයට එරෙහිව පහර දෙද්දී, ඊට නව තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කළේ ඩ්‍රිස්කෝල් යැයි ධවල මන්දිරය වැඩි දුරටත් තහවුරු කර ඇත.

ඩ්‍රිස්කෝල් සහ ආරක්ෂක ලේකම් පීටර් හෙග්සිත් අතර මත ගැටුමක් නිර්මාණය වී ඇත්තේ ද ඇමෙරිකන් ඉරාන යුද්ධය හේතුවෙනි. 

පසුගිය මාසවලදී ඇමෙරිකන් හමුදා ප්‍රධානීන් රැසක් ද මීට පෙර අවස්ථා කීපයකදී ඉල්ලා අස්වූයේ ද ආරක්ෂක ලේකම් හෙග්සිත්ගේ ඇතැම් තීන්දු තීරණවලට විරෝධය දැක්වූ බැවිනි. 

එසේ ඉල්ලා අස්වූ හමුදා ප්‍රධානීන් අතරේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කීප දෙනෙක් වෙති.

පීටර් හෙග්සෙත්, ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දස දෙනෙකුට වැඩි පිරිසක් ධුරවලින් ඉවත් වූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රුසියා යුක්රේන යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡාවලදී ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ අතර, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඇතුළු විදේශීය නායකයන් හමුවීමට ද කටයුතු කළේ ඩ්‍රිස්කෝල් ය. 2007 දී ඇමෙරිකා යුද හමුදාවට එක් වුණු ඩ්‍රිස්කෝල් 2009 දී  ඉරාක යුද්ධයට ද සම්බන්ධ විය.