කෝටි 700 ක් ( රුපියල් ) වන ලෝක ජනගහනයෙන් කෝටි 600 යකටම ජංගම දුරකථන පැවැතියද වැසිකිළි ඇතුළු සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීමට හැකියාව තිබෙන්නේ කෝටී 450 ක්  බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දියත් නවතම සමීක්ෂණයකින් හෙළිව තිබේ.

මේ සමීක්ෂණය දියත් කැර ඇත්තේ 2015 වසර වන විට ලෝකවාසී සියලූ දෙනාට සතුටුදායක මට්ටමේසනීපාරක්ෂක පහසුකම් ඇති කරනු පිණිස ලෝකයේ රටවල් දැනුම්වත් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙනයන වැඩපිළිවෙලක පියවරක් හැටියටය.දැනට තත්ත්වය මෙසේ නම් අරමුණ සපුරා ගැනීමට 2075 වසර පමණ වන තෙක් බලා සිටීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය ලේකම් ජෙනරල් ජෑන් එලියසන් පවසයි.මේ සමික්ෂණයෙන් ලෝකයේ ඇතැම් රටවල් වල රටවැසියන් අතර ධනය බෙදා යෑමේ විෂමතාවය හොදින් පෙන්වා දෙන බවද හෙතෙම කියයි.

ලෝක වාසීන්ගේ ජීවන තත්ත්වය හා සනීපාරක්ෂාව ඉහළ නැංවීමට මේ වැඩපිළිවෙලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු වේ.නිසි වැසිකිළි නොමැති කමින් එළිමහනේ මල පහ හා මුත්‍රා කිරීමට පුරුදුව සිටිනා පුද්ගලයින් නිසා වසංගත රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානමද මෙහිදී සැළැකිල්ලට ගැනේ.ඇතැම් රටවල පාචනය වැනි රෝග වසංගත තත්ත්වයෙන් පැතිර යෑමට හේතුව මෙසේ එළිමහනේ මළපහ කිරීම බවද හෙළිව තිබේ.එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව පාචනයට ගොදුරුව මියයන කුඩා දරුවන්ගේ සංඛ්‍යාව පමණක් වාර්ෂිකව 750,000 ඉක්මවයි.එළිමහනේ මළපහ කරන්නන් සිටින රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව වන අතර ඊට පසුපසින් චීනය,නේපාලය,පාකිස්ථානය,සුඩානය වැනි රටවල් සිටින බව එක්සත් ජාතීන් ඉදිරිපත් කරනා වාර්තාවල සදහන් වේ.

ඉතා අඩු මුදලකට මිලදී ගත හැකි වීමත්,සේවා ගාස්තු සාපේක්ෂව පහළ යාමත් ලෝකයේ මෙසේ ජංගම දුරකථන භාවිතය ඉහළ යෑමට හේතු වී ඇතැයි පවසන ජෑන් එලියසන් මිනිසුන් ජංගම දුරකථනයක් මිලදී ගැනීම හා සමාන වුවමනාවක් තමන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් නොදැක්වීම කණගාටුවට කරුණක් බව කියයි.