ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා අප්‍රිකා සංචාරයක් ආරම්භ කර ඇත. එම සංචාරයේ පළමු අදියර යටතේ පාප්තුමා ඇල්ජීරියාවට පැමිණ සිටී. පාප්තුමා ඇල්ජියර්ස් අනුවර සිට ඇන්නාබා දක්වා ගුවන් ගමනක යෙදුණු අතර, ශාන්ත ඔගස්ටින් මුනිඳුන් වසර 30කට අධික කාලයක් රදගුරු පදවිය දැරූ ඓතිහාසික හිපෝ පුරාවිද්‍යා භූමිය නැරඹීමට ද අමතක කළේ නැත.

සාමයේ සංකේතයක් ලෙස නටබුන් අසල ඔලීව පැළයක් රෝපණය කිරීමට ද උන්වහන්සේ කටයුතු කළ බව වතිකානය පවසයි. යුද්ධය, ප්‍රචණ්ඩත්වය සහ අසාධාරණය හමුවේ දෙවියන් වහන්සේගේ හදවත කැබලිවලට කැඩී යන බවත්, උන්වහන්සේ කිසිවිටෙකත් උද්ධච්ච හෝ දුෂ්ට මිනිසුන් සමඟ නොසිටින බවත් අවධාරණය කළේය.

පාප්තුමා ශාන්ත ඔගස්ටින් බැසිලිකාවේ දිව්‍ය පූජාවක් ද පැවැත්වීය. මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක වෙසෙන සුළුතර කිතුනු ප්‍රජාව වෙත සමීප බව සහ සහයෝගය පළ කිරීමක් ලෙස මෙම පූජාව පැවැත්වුණු අතර, ඒ සඳහා ලොව පුරා විවිධ රටවලින් පැමිණි බැතිමතුන් බෙහෝ දෙනෙක් එක්ව සිටියහ. 14 වැනි ලියෝ පාප්තුමා ඇමෙරිකානු ජාතිකයෙකි.