ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට තමන් ප‍්‍රහාර එල්ල කළේ සිය සංවිධානයේ දෙවැනි නායකයා මරා දැමීමට කළ පළිගැනීමක් ලෙස බව යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය කියා සිටී. මෙසේ එම ප‍්‍රහාරයේ වගකීම බාරගත් අල් කයිඩා සංවිධානය මැදපෙරදිග සහ අපි‍්‍රකානු කලාපයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම රටවල පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලවලට අඛණ්ඩව ප‍්‍රහාර එල්ල කරන ලෙසයි. ඉස්ලාම් ආගමට නිගරු වන අන්දමින් ඇමෙරිකා/ඊශ‍්‍රායල ජාතිකයකු නිෂ්පාදනය කළ ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ නමැති චිත‍්‍රපටය ලිබියාවේ පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලටය එල්ල වූ ප‍්‍රහාරයට හේතු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එම ප‍්‍රහාරයෙන් ලිබියාවේ ඇමෙරිකා තානාපති කි‍්‍රස් ස්ටීවන්ස් ඇතුළු ඇමෙරිකානුවෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මෙම ප‍්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව ඉස්ලාම් විරෝධී චිත‍්‍රපටයට විරෝධය පෑ මැදපෙරදිග කලාපයේ රටවල දහස් ගණන් වූ මුස්ලිම් ජනයා තම රටවල සිටින ඇමෙරිකා තානාපති නිලධාරීන්ට රටෙන් පිටවන්නැයි බල කර සිටියහ. මේ අතර ඊජිප්තුව සුඩානය, ටියුනීසියාව, යේමනය, ලෙබනනය වැනි රටවල පැවැති විරෝධතා ප‍්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත් අතර එම පිරිස් තානාපති කාර්යාල තුළට කඩාවැදී දේපළ හානි සිදු කළ බවද වාර්තාවේ. මෙසේ ප‍්‍රහාර එල්ල වූයේ තානාපති කාර්යාලවලට පමණක් නොව පාසල් සහ ක්ෂණික ආහාර සපයන ඇමෙරිකා බහුජාතික සමාගම්වලට අයත් අවන්හල්වලටද විරෝධතාකරුවෝ පහර දුන්හ. මේ වන විට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව අනෙක් රටවල සිටින සිය තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බව එරට රජය සඳහන් කළේය. අරාබි ලෝකය කැලඹූ විරෝධතාවන්ට තුඩු දුන් චිත‍්‍රපටය නිෂ්පාදනය කළ පුද්ගලයාගෙන් මේ වන විට ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීහු ප‍්‍රශ්න කර තිබෙන බව වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ රටවල පිහිටි ඇමෙරිකා තානාපති සහ කොන්සල් කාර්යාලවලට එල්ල වන ප‍්‍රහාර ඇමෙරිකානු ආධිපත්‍යයෙන් අරාබි භූමිය නිදහස් කර ගැනීමට ඉවහල් වනු ඇති බව ද යේමන අල් කයිඩාව සඳහන් කළේය. මේ වන විට උද්ගතව ඇති ප‍්‍රචණ්ඩකි‍්‍රයා මැඬලීමට ලිබියාවට සහ යේමනයට යවා ඇති ත‍්‍රස්ත මර්දන හමුදා සේනාංකවලට හැකි වනු ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පැවැසීය. මීට අමතරව ප‍්‍රහාරක යුද නෞකා දෙකක් ද උතුරු අපි‍්‍රකානු වෙරළ තීරයේ ස්ථානගත කර තිබේ. සුඩානයේ පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ද පසුගියදා විරෝධතාකරුවන් වැටලූ අතර ඊට ගල්මුල් ප‍්‍රහාර එල්ල කළේය. මේ තත්ත්වය යටතේ ආරක්ෂක භට පිරිසක් සුඩානයට එවීමට ඇමෙරිකාව සූදානම් වූවද  සුඩාන විදේශ අමාත්‍යවරයා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.