ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ලෝක බලවතුන් සහ ඉරාන නියෝජිතයන් අතර පෙරේදා (27) කසක්ස්ථානයේ ඔල්මාටි නුවරදී පැවැත්වුණු සාකච්ඡා අසාර්ථක වූ බවත් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක තව දුරටත් කි‍්‍රයාත්මක වන බවත් ඇමෙරිකාව පවසයි.
එම සාකච්ඡා ආරම්භ කරමින්, ඇමෙරිකාව කියා සිටියේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු පාලනයකින් සිදු කිරීමට එකඟ වුවහොත්, එරටට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට තමන් පියවර ගන්නා බවය.
ඉකුත් 26 වැනිදා ආරම්භ වුණු එම සමුළුවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනා වන ඇමෙරිකාවට, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය, රුසියාව, චීනය මෙන්ම ජර්මන් නියෝජිතයෝද සහභාගී වූහ.
තම න්‍යෂ්ටික වැඩසටහන යටතේ, න්‍යෂ්ටික අවි නිපදවීමට තමන්ට කිසිම අවශ්‍යතාවක් නැති බවත් එසේ කිරීමට අවශ්‍ය නම්, කිසිම රටකට ඊට හරස් විය නොහැකි බවත් ඉරානය එම සමුළුවේදී ද අවධාරණය කළේය.
ඉරාන නියෝජිතයන් සමඟ මීළඟ සාකච්ඡා වටය මාර්තු 10 වැනිදා ඉස්තාම්බුල් නුවරදී පැවැත් වෙනු ඇත.
ඉරානය පවසන්නේ තම න්‍යෂ්ටික වැඩසටහන යටතේ න්‍යෂ්ටික අවි නිපදන්නේ නැති බවත් බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස එම වැඩසටහන ආරම්භ කළ බවත්ය. 
එම අවස්ථාවේදී ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මෙන්ම ඊශ‍්‍රායලය ද  තරයේ කියා සිටින්නේ ඉරානය ඔවුන්ගේ ‘හිතුවක්කාරී’ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී ලොවට වින කරන න්‍යෂ්ටික අවි නිපදවන බවය. 
ඉරානයට එරෙහිව ඇමෙරිකාව, එක්සත් ජාතීනන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පැනැවීමට කටයුතු කළේ ඒ අනුවය.
සම්බාධක යොදා ලොවෙන් හුදෙකලා වී සිටියත් ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනින් පමණක් නොව අභ්‍යවකාශ වැඩසටහනින් ද විශාල ප‍්‍රගතියක් ලබා සිටී. 
මේ අතර න්‍යෂ්ටික වැඩසටහන යටතේ බලගැන්වූ යුරේනියම් න්‍යෂ්ටික බලාගාරවල ප‍්‍රතිකි‍්‍රයාකාරක බල ගැන්වීමට ඉන්ධන ලෙස යොදා ගැනීමට ද ඉරානය තීරණය කර තිබේ.

සමුළුවට සහභාගී වූ ඉරාන විදේශ කටයුතු ඇමැති අලී අක්බාර් සාලේ (වමේ) එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් හමුවෙමින්...