‘2012 ඞීඒ 14’ නමැති ග‍්‍රහකය ඉකුත් 15 වැනිදා පෘථිවිය අසලින් ගමන් කිරීමට පැය කිහිපයකට පෙර, මධ්‍යම රුසියාවේ චිල්බින්ක්ස් නගරයට පතිත වූ උල්කා වර්ෂාවෙන් තුවාල ලැබූවන්ගේ ගණන 1,200 ඉක්මවූ බව අලූත්ම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
වායුගෝලයේදී පිළිස්සී නොගිය උල්කා කැබැලි හේතුවෙන් නගරයේ නිවාස සහ ගොඩනැගිලි කිහිපයකට හානි විය. නගර වැසියන්ට තුවාල සිදුවූයේ ගොඩනැගිලි සහ නිවාසවල වීදුරු කැඞී විසිවී යෑමෙනි.
ඊයේ (17) දිනය වනවිට චිල්බින්ක්ස් නගරය යළි යථා තත්ත්වයට පත් වූ බවත් නගරය පුරා විසිරී ගිය වීදුරු කැබැලි ඉවත් කිරීම සිදුවූ බවත් වාර්තා විය. 
තුවාල ලැබූවන් කිසිවකුගේ තත්ත්වය බරපතළ නොවන බව රුසියානු මාධ්‍ය වාර්තා පැවැසීය. 
උල්කා වරුසාවෙන් පෘථිවි කක්ෂයේ රැඳවූ තම චන්ද්‍රිකාවලට ද බාධා එල්ල වූ බවත් පැය කීපයකට පසු ඒවා යථා තත්ත්වයට පත් වූ බවත් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ජනතාව අමතමින් කියා සිටියේය.
මීටර් 45 ක් පළල ‘2012 ඞීඒ 14’ යනුවෙන් නම් කෙරුණු එම ග‍්‍රහකය, ගමන් කළේ පෘථිවියේ සිට කිලෝ මීටර් 27,681 ක් දුරිනි. එහි ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වූයේ නම් එය පෘථිවියේ ගැටීමට ඉඩක් ඇති බවත් විද්‍යාඥයෝ බිය පළ කළහ. ග‍්‍රහකය පෘථිවියේ නොගැටෙන බවට ඇමෙරිකාවේ නාසා ආයතනය සහතික වී තිබුණි.
‘2012 ඞීඒ 14’ ග‍්‍රහකය ශ්‍රී ලංකාවට ඉහළින් ගමන්  කළේ 16 වැනිදා අලූයම 12.56ටය.