කියුබාව සහ ෆ්ලොරිඩාව අතර මුහුදු සීමාවේ, 1996 වසරේ දී, සිවිල් ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම දැමීම සහ එයින් ඇමෙරිකන් පුරවැසියන් ඇතුළු සිවුදෙනකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් හිටපු කියුබානු නායක රාවුල් කස්ත්‍රෝ ට මිනීමරුම් චෝදනා ඇතුළු බරපතළ අපරාධ චෝදනා රැසක් එල්ල වී ඇත.

94 වැනි වියේ පසුවන රාවුල් කස්ත්‍රෝ එම සිදුවීම සිදුවන අවස්ථාවේදී කියුබානු සන්නද්ධ බලකායන්හි ප්‍රධානියා ලෙස කටයුතු කළේය. රාවුල් කස්ත්‍රෝ යනු ෆිදෙල් කස්ත්‍රෝගේ බාල සොහොයුරාය. වෙඩි තබා බිම හෙලීම සිදුවූයේ ‘කියුබා-ඇමෙරිකා වැසියන්’ නමැති සංවිධානයකට අයත් ගුවන් යානා දකකි. මීට අදාළව කස්ත්‍රෝ ඇතුළු තවත් පස් දෙනකුට නිල වශයෙන් චෝදනා එල්ල වී ඇත.

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මියාමි නුවර, ‘ෆ්‍රීඩම් ටවර්‘ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇමෙරිකාවේ වැඩබලන නීතිපති ටොඩ් බ්ලැන්ච් ගුවන් යානාවල සිටි ඇමෙරිකන් කියුබා වැසියන් වන අර්මැන්ඩෝ ඇලෙජැන්ඩ්‍රේ, කාලෝස් ඇල්බර්ටෝ කොස්ටා, මාරියෝ මැනුවෙල් ඩි ලා පේනියා සහ පැබ්ලෝ මොරාලස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් මිනීමැරුම් චෝදනා හතරක් කස්ත්‍රෝට එරෙහිව ගොනු කර ඇති බවය.

මිනීමැරුම් චෝදනා සඳහා අමෙරිකානු නීතිය ඉදිරියේ උපරිම දඬුවම ලෙස මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය හැකි බව ද පැවැසෙයි.

ඇමෙරිකාව එල්ල කරන ලද මෙම චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට කියුබානු රජය පියවර ගෙන ඇත. වත්මන් කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් ප්‍රකාශ කළේ මෙය කිසිදු නීතිමය පදනමකින් තොර, හුදෙක් දේශපාලන වශයෙන් සිදු කරන පිළිගැනීමක් කියාය.

එදා එනම් 1996 වසරේ දී කියුබාව ක්‍රියා කළේ සිය දේශසීමා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ස්වයං-ආරක්ෂක පියවරක් ලෙස බවත්, ඇමෙරිකාව මෙම සිදුවීමට අදාළ කරුණු විකෘති කරමින් පවසන්නේ කියුබාවට එරෙහිව හමුදාමය ආක්‍රමණයක් දියත් කිරීමට අවශ්‍ය නීතිමය වටපිටාව සකස් කරගැනීමට බවත් කියුබා ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය කියුබාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින වටපිටාවක වීම ද විශේෂත්වයකි