අඟහරු ග‍්‍රහයා මත ඉදිකිරීමට නියමිත ජනාවාසයක මුල් පදිංචිකරුවන් තෝරාගැනීම සදහා අයදුම්පත් කැදැවීමට ‘‘මාර්ස් වන්නම් ඩෙන්මාර්ක පර්යේෂණ ආයතනයක් සැරසේ.

අයදුම්පත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අය වයස අවුරුදු 18 ට වඩා වැඩි විය යුතු අතර හොඳ සමාජ සම්බන්ධතා පවත්වාගැනීමටත් අන් අය සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් නොපසුබට උත්සාහයෙන් අරමුණු කරා ළගා වීමටත් හැකි අය විය යුතු බව මාර්ස් වන් ආයතනය කියයි.

ලැබෙන අයදුම්පත් ප‍්‍රාසාංගික රූපවාහිනී වැඩසටහනක ට යොමුකර ගමනට සහභාගී කර ගැනීමට බලාපොරොත්තු වන 24 දෙනෙක් තෝරා ගැනීමට නියමිතය.ව්‍යාපෘතිය සදහා වැය වන අතිවිශාල පිරිවැය සපයා ගැනීමද මේ වැඩසටහනේ තවත් අරමුණක් වේ.මේ 24 දෙනා වරකට 4 දෙනෙකු බැගින් අවුරුදු 10 ක දී අඟහරු මත ගොඩ බැස්වීමට සැළැසුම් කර ඇතැයි සදහන් වේ.

අඟහරු මතට ප‍්‍රථම යානය පිටත් කිරීමට නියමිතව ඇත්තේ 2023 වසරේදීය.තෝරා ගන්නවුන්ට අවුරුදු 8 ක පුහුණු කාලසීමාවකටද යටත් වීමට සිදුවේ.අඟහරු ග‍්‍රහයා මතුපිටදී කටයුතු කළ යුතු ආකාරය හා ගමන අතරතුරදී කටයුතු කළ යුතු ආකාරය පිළිබද පුහුණුවක් මේ කාලසීමාව ඇතුලදී ලබා දීමට නියමිතය.අඟහරු ග‍්‍රහයා මතට පිටත්කෙරෙන මේ පුද්ගලයන් ආපසු ගෙන්වාගැනීමක් සිදුනොකරන බව පවසන මාර්ස් වන් ආයතනය මෙය අඟහරු ග‍්‍රහයා මත ස්ථිර ජනාවාස ඇති කිරීමේ අරමුණින් සිදු කෙරෙනා ව්‍යාපෘතියක් නිසා ගගනගාමින් ආපසු ගෙන්වාගැනීමට බලාපොරොත්තු නොවන බව පවසයි.අයදුම්කරුවන් මේ කරුණ ගැනත් සැළැකිලිමත් විය යුතුය.

 

පෘථිවියේ සිට සැතැපුම් හාරකෝටියක් පමණ දුරින් පිහිටා ඇති අඟහරු ග‍්‍රහයා වෙතට ළගා වීමට දින 200 ක් පමණ ගත වේ.මේ කාලය අතරතුරදී සිය ගමන් සගයන් සමග සහයොගයෙන් කටයුතු කිරීමට මේ ගගනගාමීන්ට සිදුවනු ඇත.අඟහරු ග‍්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සිට සෙල්සියස් අංශක සෘණ 135 අතර පරාසයක විහිදෙන බව සොයාගෙන ඇති අතර වායුගෝලය සැදී ඇත්තේ ස්වසනයට නුසුදුසු කාබන් ඩයොක්සයිඞ් වායුවෙනි.අඟහරු මතට ගොඩබැසීමෙන් අනතුරුව ඔවුනට ජනාවාස ඉදිකිරීමේ වගකීම පැවරෙන අතර එහිදී අඟහරුගේ කර්කෂ පරිසරයට එරෙහිව සටන් වැදීමටද සිදුවනු ඇත.